දරුවන්ගේ ආවේගශීලීභාවයන් ඇතැම් දෙමවුපියන්ගේ සිතට මහත් කනස්සල්ලක් මෙන්ම පීඩාවක් එක්කරන්නකි. විශේෂයෙන් මුරණ්ඩු නැතහොත් චණ්ඩ ගති ස්වභාවයන් පෙන්නුම් කරන දරුවන් හේතුවෙන් මවුවරු දැඩි මානසික පීඩනයකට ලක්වෙති.

සත්‍ය වශයෙන්ම චණ්ඩ දරුවෙකු බවට තමන්ගේ දරුවා පත්වූයේ කෙසේද? එය මගහරවාගත හැක්කේ කෙසේද? යන්න පිළිබඳ තැවෙන මවුවරුන්ට මෙම උපදෙස් ගෙන එන්නේ මුල් ළමාවිය දරුවන් සම්බන්ධයෙන් හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධව අත්දැකීම් බහුල 'FLIP' foundation (focus on literacy improvement by practiced) අායතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ මහත්මිය විසිනි.

මුල් ළමාවිය දරුවන්ගේ ආවේගශීලී භාවය ළමුන් සමග කටයුතු කරන දෙමවුපියන්ට, ගුරුවරුන්ට මහත්වූ ගැටලුවකි. මෙය දෙපාර්ශ්වයටම අහිතකර චර්යා ලක්ෂණයක් වන අතර, දරුවාගේ පාර්ශ්වයෙන්ද මෙහිදී අන්තරාදායක බවක් විද්‍යාමාන කරයි.

“යම් ක්‍රියාවලියක් එය එල්ල කරනු ලැබූ තැනැත්තාට රිදවීම එහි අවසාන අරමුණ ලෙස සලකා ක්‍රියාත්මක කෙරේ නම් එවැනි ක්‍රියා චණ්ඩ වේ'' යැයි ඩොලාර්ඩ් සහ මිලර් දක්වා තිබේ.

චණ්ඩ දරුවා කෙනෙකුට කෙලින්ම ශාරීරික වේදනාවක් හෝ අගෞරවයක් කිරීමට පෙලඹේ. යම් පුද්ගලයෙකු, යම් ද්‍රව්‍යයක්, නායකත්වයක්, තමාට හිමිකර ගැනීමටද, යමක් ආරක්ෂා කර ගැනීමටද, යමකට විරුද්ධත්වයක් දැක්වීමටද, අනුන්ට හිරිහැර කරදර කිරීමේ අදහසින්ද ළමුන් චණ්ඩ බව උපයෝගී කරගනී.

වාචික හා කායිකව ළමයා තුළින් චණ්ඩතාව පෙන්නුම් කරයි. කෑගැසීම, තර්ජනය, අපහාසය, කෑ මොරදීම ආදිය වාචිකව සිදුවන අතර, ගැසීම, පයින් ගැසීම, අතට අසුවන දේ පොළොවේ ගැසීම, යමකින් පහරදීම ආදිය කායිකව සිදුවේ. මේ මගින් යමෙකුට වේදනාව ඇති වේ. තුවාල වේ. දේපළ විනාශ වේ. මේ සඳහා අභ්‍යන්තර හා බාහිර හේතු මුල්විය හැකිය.

සතුන්ගේ හා මිනිසුන්ගේ හෝමෝන සහ මොළයේ ක්‍රියාකාරකම් ඔවුන්ගේ චණ්ඩ චර්යා සඳහා ඇතැම් විට හේතුවන බව සඳහන් වේ. මෙලොව බිහිවන සිඟිත්තා පළමුව ඇඬීමෙන් කෝපය ප්‍රකාශ කරනුයේ ටික කාලයක් යෑමෙන් අනතුරුවය.

කුඩා දරුවන් නොසන්සුන් චර්යාවන් මගින් තම අවශ්‍යතා ඉටුකර ගැනීමට උත්සාහ දරයි. මෙලෙස නිරන්තරයෙන් චණ්ඩ ලක්ෂණ පෙන්වන දරුවන් අනුන්ට හිංසා කරන්නන් නොවේ. මන්ද යත් ඔවුන් බොහෝ විට ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ දරනුයේ තමන්ට වඩා වයසින් හා පෙනුමෙන් වැඩි ශක්තිමත් අය සමගය.

මෙම දරුවන් ගැටලුවලට මුහුණ දෙනුයේ ඔවුන් චණ්ඩ ලක්ෂණ දක්වන අය නිසාම නොවන අතර, යෝග්‍ය නොවන අවස්ථාවල එම ගති ලක්ෂණ දැක්වීම නිසාය. තවද ස්වයං ආරක්ෂාව සඳහාද එම චණ්ඩ ක්‍රියාවලීන් පෙන්නුම් කරනු ලැබේ.

කෑ ගැසීම
දබර කිරීම
එහා මෙහා පැනීම
බිම පෙරළීම
හුස්ම ඉහළට අල්ලා සිටීම
ගෙරවීම
පහුරු ගෑම
කෙළ ගැසීම
තල්ලු කිරීම
රවා බැලීම
භාණ්ඩ විසිකිරීම
සැපීම, ගැසීම
වාද කිරීම
සහයෝගය නොදීම

මෙවැනි විවිධ ලක්ෂණ මොවුන් පෙන්නුම් කරයි. සපා කෑම පහරදීම හෝ යමකින් දමා ගැසීම  සිදුකිරීමට වැඩුණු ළමයෙකුට හැකි වන්නේ තමාව අපහසුතාවට පත්කිරීමේ කෝප චේතනාව තවත් පුද්ගලයෙකු කෙරෙහි ඇති වූ විටය. (දරුවාව ඉච්චාභංගත්වයට පත්කිරීම)

ළදරුවා තේරුම් නොගෙන දරුවාගේ චර්යාවන් පිළිබඳ තේරුම් නොගෙන (කෝපය බොහෝවිට ඇතිවන අවස්ථා) කටයුතු නොකළහොත් තමන්ට සමාජයට ඉතාම අහිතකර කරදරකාරී චණ්ඩ ලක්ෂණ සහිත දරුවන් බිහිවිය හැකිය. ළමයා කෝපවීමට තුඩුදෙන කරුණු

ඔහු වයසින් වැඩෙත්ම ක්‍රමවත්ව වෙනස්වේ. ගුඩ් ඉනෆ් (Good Enough) විසින් කළ සමීක්ෂණයකින් පසුව ළමුන්ගේ කෝපය ඇවිස්සීමට හේතු ක්‍රමවත්ව දක්වා තිබේ.

අවුරුදු 1

  • දරුවා රැක බලාගන්නා සම්බන්ධ අවස්ථා (නෑවීම / ඇඳුම් ඇන්දවීම)
  • අන්‍යයන්ගේ අවධානය යොමු කරවා ගැනීම
  • සුළු සුළු ශාරීරික අපහසුකම්

අවුරුදු 2

  • ශාරීරික චර්යා ක්‍රම පුහුණු කරන්නට යෑමේදී
  • කෙනෙකුගේ පාලනය නුරුස්සන අවස්ථාවේදී
  • සමාජ සම්බන්ධතා ඇසුරෙන් පැන නගින ගැටලු

අවුරුදු 3

  • කෙනෙකුගේ පාලනයට විරුද්ධ වීම
  • දෛනික චර්යා ක්‍රම පුහුණු කිරීම,
  • ක්‍රීඩා සහකාරකයන් සමග ඇතිවන ආරවුල්

අවුරුදු 4

  •  ක්‍රීඩා සහකාරයා සමග එකඟ නොවීම
  •  සමාජ සම්බන්ධථාවලදී පැන නගින ගැටලු
  •  තමා පාලනය කිරීමට එරෙහිව පැන නගින ගැටලු

ඇතැම් ළමුන් කවර ස්ථානයක වුවද චණ්ඩ චර්යාවන් දක්වන අතර, ඇතැම් ළමයි යම් අවස්ථාවකට පමණක් සීමා වූ ස්ථානගත චර්යාවන් දැක්වීමට පෙලඹේ.

ආවේගශීලී දරුවන් සමග කටයුතු කිරීමේදී පහත කරුණු පිළිබඳ සැලකිල්ලක් දැක්වීමෙන් යම් සහනයක් ලබාගත හැකිවනු ඇත.

  • චණ්ඩතා දක්වන ළමුන් මේ අයුරින් චණ්ඩගත ලක්ෂණ බැහැරට පෙන්නුම් කිරීම සිදුකරනුයේ කවර අවස්ථාවලදී කවර හේතු නිසාද යැයි පළමුව සොයා බැලීම
  • දරුවන්ගේ හැසිරීම්වල ඇති අර්බුදකාරී රටාව හඳුනා ගැනීම
  • ආවේගශීලී වූ දරුවාගේ භෞතික වාතාරවණය හා මානසික වාතාවරණය ඉක්මනින් වෙනස් කිරීම
  • ක්‍රීඩාවේ නිරත වී සිටියදී කෝපය ඇති වේ නම් එවැනි සෙල්ලම් හා ක්‍රීඩාවෙන් ඉක්මන් ඉවතට රැගෙන අවධානය වෙන අතකට නැංවීම
  • චණ්ඩ ලක්ෂණ දක්වන දරුවන් රැකබලා ගැනීමේදී ඔවුන්ව සැලසුම්සහගත අයුරින් රැකබලා ගැනීම
  • දරුවන් නිතරම අනුකරණයේ යෙදෙන බැවින් දෙමාපියන්ගේ තරහ පාලනය කර ගැනීම.

නදීශානි පතිරණ

 

 
 

0 comments

Leave a Reply

Post Comment