මෙම වසරේදී පුජා භූමි 20ක් ගැසට් මගින් ප්‍රකාශය කිරීමට අපේක්ෂා කරන බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ මේ වනවිට පූජා භූමි 09ක් ගැසට් කර ඇති බවයි.
ඒ අනුව හම්බන්තොට උද්ධකන්දර රජමහා විහාරස්ථානය, කුරුණෑගල දඹදෙණිය රජමහා විහාරස්ථානය, මොනරාගල කොටසර පියංගල රජමහා විහාරස්ථානය, පුත්තලම වෙහෙරගල රජමහා විහාරස්ථානය, නුවරඑළිය බඹරකැලේ රජමහා විහාරස්ථානය, කොළඹ බටපොත ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරස්ථානය, හම්බන්තොට වාඳුරුප්ප ථේරපුත්තාභය රජමහා විහාරස්ථානය, කෑගල්ල කඩිගමුව ශ්‍රී නාගවනාරාමය සහ මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මැයි 21 දින සිට මැයි 27 දක්වා මාතලේ නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එහිදී මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාල සන්නස් පත්‍රය ලබා එහිදී දීමට නියමිතය.
මේ වනවිටත් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා හම්බන්තොට හේනේකඩුව රජමහා විහාරය සහ කුරුණෑගල ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ අත්සන සඳහාත්, ගම්පහ දඩගමුව සුමිත්ත ශ්‍රී සුන්දරාරාමය නීතිකෙටුම්පත් සම්පාදක වෙතත් යවා ඇති බව භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 03 ක් අනුව එය සිදු කෙරෙන බවයි. ජාතික වශයෙන් කාලපීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ස්ථාන මෙලෙස තෝරා ගැනේ.
පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒවායේ පවතින ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව විමර්ශනය කර ගැටළු විසදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ 2023 වසරේදී පූජා භූමි 19ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.
මේ වනවිට මෙරට පුජා භූමි 130 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මේ මාසයේදී මෙරට 130 වැනි පුජා භූමිය ලෙස මාතලේ ක්ෂේත්‍රාරාම රජමහා විහාරස්ථානය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.
පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.
Leave a Reply