දශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිරිය මිනිසුන් දෙදෙනෙක් පසුගියදා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අපට මුණගැසුණි. අසුන්දරබිම සුන්දර කළ ඒ සොඳුරු මිනිසුන්ගේ කතාවයි මේ .
1980 වර්ෂයේ ක්‍රියාත්මක වූ ගිංගඟ සංවර්ධන යෝජනා ක්‍රමය නම්වූ අසාර්ථක ව්‍යාපෘතියට ගොදුරුව ප්‍රදේශයේ වගාබිම් රැසක් නිසරුවී මුඩුබිම් බවට පත්වූ අතර බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ ද අක්කරයකටත් වැඩි භූමි ප්‍රදේශයක් මෙසේ කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අතහැරදමා තිබුණි. වල් හබරල වැවී වසර 45 ක් තිස්සේ අතහැර දමා තිබුණු මෙම නිසරුබිම ඉසුරු බිමක් කිරීමේ අරමුණ පෙරදැරිව එය මිළදී ගන්නේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වූ අනුර බටුවත්ත මහතාය. ඒ සඳහා ඔහු ප්‍රදේශයේ සාර්ථක ගොවියෙකු වන එන්.ඩබ්.ධර්මදාස ( කිරි අයියා) මහතාද හවුල් කරගෙන ඇත . වගුරු බිම කිසිදු ගොඩකිරීමකින් තොරව "සෝජාන් ක්‍රමය"ට එළවලු වගාකිරීමට ඔවුන් සමත්වී සිටිති .
වගුරු සහිත භූමිවල සාර්ථකව වගාකිරීම සඳහා මේ සෝජාන් ක්‍රමය අද ලෝකය පුරා ඉතා සාර්ථක ක්‍රමයක් වී ඇත. එහි මූලික ලක්ෂණය වන්නේ ඇල මාර්ග ඉදිකර දෙපස බීජ වගාකර වගා භූමිය ජලයට ඉහලින් ඉදිකිරීමයි. එහිදී බීජ නෙළාගැනීම සිදුකරන්නේ ඇල මාර්ගය දිගේ ගොස් බෝට්ටුව ආධාරයෙනි.
මේ වනවිට මෙහි පතෝලා, වැටකොළු , පිපිඥ්ඥා යන සෝජාන් ක්‍රමයට වගා කරන ලද එළවලු වර්ග වල ඵල දරමින් ඇත. ඊට අමතරව වහා භූමියේ ඇති බණ්ඩක්කා,වම්බටු, මාලු මිරිස් ඇතුලු මිරිස් වර්ග,බෝංචි ,මෑකරල්,තම්පලා, තක්කාලි, නිවිති කරිවිල ආදියද කන්කුන් ආදී පලා කොළද අස්වැන්න නෙලමින් තිබේ. ඊට අමතරව ගස්ලබු හා කෙසෙල් අස්වැන්නද ඵල දරමින් ඇත. මීට අමතරව අන්නාසි, ඩ්‍රගන් ෆුට් හා පැෂන් ෆුට් වැනි පළතුරුද වගා බිමේ සිටුවා ඇත.
මෙම ඉසුරු බිමේ හිමිකරු වන අනුර බටුවත්ත මහතා සිය ව්‍යායායාමය පිළිබඳව අප හා මෙසේ අදහස් දැක්වීය.
"මම කුඩා කාලෙ ඉඳලම මේ භූමියේ හබරල ගාලක් තමයි දකින්න ලැබුණෙ. මේ භූමියෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් කියන විශ්වාසයෙන් තමයි මම මේ ඉඩම මිළදී ගන්නෙ. ඒ සඳහා මම බද්දේගම ප්‍රදේශයේ දක්ෂ ගොවියෙක් වන කිරි අයියා හවුල් කර ගන්නවා. අපි දෙන්නා සහ අපේ සේවක පිරිස එක්ක එකතු වෙලා අද වනවිට ඉතාමත් සාර්ථක එළවලු වගාබිමක් නිර්මාණය කරගන්න අපි අද සමත් වෙලා තියෙනව.
මෙහි සවිකර තිබෙන ස්වයංක්‍රීය ජල සම්පාදන ක්‍රියාවලියටත් එක්ක ලක්ෂ අටක පමණ මුදලක් වැය වෙලා තියෙනව. කිරි අය්යාගෙ උපදෙස් අනුව ඔහුගේ දැක්මට තමයි මේ සියලු වගාවන් කරල තියෙන්නෙ . ඔහුගේ සහායට තවත් සේවකයින් හතර දෙනෙක් ඉන්නව. ඔවුන්ගේ ශ්‍රමයේ ඵලය තමයි අද මේ දකින්න තියෙන්නෙ.
මේක සම්පූර්ණයෙන්ම කාබනික වගාවක් කියල බොරු කියන්න මම කැමති නැහැ. අපිට රසායනික පොහොරත් යම් ප්‍රමාණයක් යොදවන්න සිද්ධ වුණා. එහෙම නැතුව අපි බලාපොරොත්තු වන ඵලදාව ලබාගන්න බැහැ.
මෙහි නෙලන අස්වැන්න දිනපතා අලෙවි කරනවා. උදෑසන ඉඳලම නැවුම් එළවලු මිළදී ගන්න ප්‍රදේශයේ ජනතාව පැමිණෙනවා. මේවා අලෙවියෙන් ලැබෙන මුදලින් අද ගොවිපළ නඩත්තු කිරීමට හැකියාව ලැබිල තියෙනව.
ඉදිරියෙදි මෙහි සුරතල් මත්ස්‍ය වගාවක් ආරම්භ කිරීමට දැන් සියලු කටයුතු සූදානම් කරල තියෙන්නෙ. ඒ වගේම හෙට දවසෙදි දේශීය හා විදේශීය සංචාරකයින් කැඳවන, ඔවුන්‍ට නැවුම් එළවලු වගේම බද්දේගම ප්‍රදේශයේ සියලු නිශ්පාදන මිළදී ගතහැකි අලෙවි මධ්‍යස්ථානයක්ද මේ ආශ්‍රිතව ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එළවලු වගාව ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක්බව මම අත්දැකීමෙන් ඔප්පු කළා" යැයි පැවසීය.
වගා බිමේ ගොවි රජා එන්. ඩබි. ධර්මදාස (කිරි අයියා) මහතා මෙසේ පැවසීය.
" මේ පොළවෙ තියෙන්නෙ තනිකරම කිරිමැටි.එහි දිය හබරල ඇත්තෝර වැනි ගස් පමණයි හැදෙන්නෙ. වෙනත් වගාවක් කරන්න නම් ඊට යෝග්‍ය වන පසක් නිර්මාණය කරන්න ඕන. ඒත් මේකට පස්දාන්න තහනම්. ඒ නිසා අපි කලේ බීජ රෝපණය කළයුතු තැන්වල අඩි දෙකේ දෙකේ ප්‍රමාණයෙන් කිරිමැටි ඉවත් කරල මතුපිට පස්, කොම්පෝස්ට් පොහොර ,කොහුබත්, කර දහයියා හා කුකුල්පොහොර මිශ්‍රණයකින් ඒ වලවල් පුරවල ඒ තැනවල බීජ රෝපණය කරපු එක. සමහර බීජ මේ මිශ්‍රණයෙත් පැලවෙන්නෙ නෑ. ඉතිං දිගින් දිගට පරීක්ෂණ කරමින් තමයි අපි සාර්ථකත්වය අත්කර ගත්තෙ.
ඉතාම සැලසුම් සහගතව තමයි වගා භූමිය සකස්කරල තියෙන්නෙ. ප්‍රධාන මාර්ග දෙකකට මායිම්ව තමයි භූමිය පිහිටල තියෙන්නෙ. අනිත් මායිම් දෙකට පුවක් පැල සිටුවල තියෙන්නෙ . ඊට මෙහා මායිම අන්නාසි හා ඩ්‍රගන් ෆුට් වගාවක්. මාර්ගයේ එක පැත්තක තියෙන ගල් බැම්ම කරිවිල වගාවක්. ගොවි පොලේ පිවිසුම ආරුක්කු වැල් දොඩම් වගාවක්.අපේ ලැගුම්හල කටුමැටි පැලක්.
බටුවත්ත මහත්තය මට සම්පූර්ණ නිදහස දීල තියෙන්නෙ මට අවශ්‍ය පරිදි කටයුතු කරන්න. ඒ සඳහා මගේ සහෝදර සේවකයො හතර දෙනා උපරිම සහය ලබා දෙනව. මේ වගා බිමෙන් අපි ලබන ආත්ම තෘප්තිය වචන වලින් විස්තර කරන්න බැහැ මහත්තයෝ" යැයි පැවසීය.
බද්දේගම සරත් ආනන්ද ගමගේ
Leave a Reply