ආසන්න කාලසීමාවේදී ආර්ථික ගෝලීයකරණය වෙත එල්ල වූ දරුණුතම බලපෑමක් වූයේ ප්‍රති-ගෝලීයකරණය (anti-globalization) පිළිබඳ වන මතවාදයයි. එහිදී ඇතැම් බටහිර රාජ්‍යයන් අනුගමනය කළ ප්‍රාග්ධනය, කර්මාන්ත සහ රැකියා නැවතත් සිය රට වෙතට ගෙන්වා ගැනීමේ ප්‍රතිපත්ති මෙන්ම, 'ජාතික ආරකෂාව' මූලික කරගනිමින් විදේශීය ව්‍යවසායන් ප්‍රතික්ෂේප කිරීමත් ඊට හේතු විය. 

ඊටත් අමතරව ඇතැම් බටහිර මාධ්‍යයන් මගින් චීනයේ විවෘතවීම පිළිබඳව බොහෝ චෝදනා එල්ල කළ අතර, චීනයේ වෙළෙඳ පොළ තත්ත්වයන් පිළිබඳ අවබෝධයද ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් මෙහි ඇති ගැටලුව වන්නේ චීනය කොපමණ ප්‍රමාණයකින් විවෘත වී ඇත්ද යන්න නොවේ, ඉන් පෙන්නුම් කරන්නේ චීනය කිසිදු ලෙසකින්වත් බටහිර අවශ්‍යතාවන් සම්පූර්ණ නොකරන බවයි.

බටහිර චෝදනා කරන ආකාරයට චීනය සිය විවෘත වීම අඩු කර තිබේද?

නැත. පහත දත්ත දෙස බැලීමේදී එය අසත්‍යයක් බව මනාව තේරුම් යයි.  චීනය මේ වනවිට ලොව විශාලතම භාණ්ඩ ගනුදෙනු රාජ්‍යය ලෙස පිටපිට හත්වැනි වසරටත් පළමු ස්ථානයට පත්ව සිටියි. 2024 වසරේ පළමු අර්ධය වනවිට චීනයේ මෝටර් රථ, නෞකා, සහ පරිපථ ඇතුළු නිෂ්පාදනවල අපනයන වටිනාකම් පෙර වසරේ එම කාලයට සාපේක්ෂව පිළීවෙලින් 22.2%ක්, 91.1%ක් සහ 25.6%ක් ලෙස වරධනය වී තිබේ.

එ‍සේම චීනය මේ වනවිට ගෝලීය ආර්ථික සහ වෙළෙඳ සහයෝගිතාවට ඇතුළත් සිය මිතුරු රාජ්‍යයන් සංඛ්‍යාවද සක්‍රීයව පුළුල් කරගනිමින් සිටියි. එහිදී 2024 පළමු අර්ධය වනවිට තීරයක් සහ මාවතක් (BRI – Belt and Road Initiative) වැඩපිළිවෙල යටතේ වන හවුල්කාර රාජ්‍යයන් සමගින් පවතින වෙළෙඳාම, පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 7.2%කින් ඉහළ ගොස් තිබේ. 

මීට අමතරව චීන දුම්රිය සේවාවේ අධිවේගී භාණ්ඩ ප්‍රවාහන ගමන්වාර ඉලක්කය වන ගමන් වාර 10,000 ඉක්මවා යාමටද සමත්ව සිටියි. එය පෙර වසරේදී එම ඉලක්කය පසු කළ දිනට දින 19කට පෙරාතුව වීම විශේෂත්වයයි. එහිදී මෙම කාලසීමාව තුළ සිදු කර ඇති සමස්ත භාණ්ඩ ප්‍රවාහන ධාරිතාව 11%කින් ඉහළ නැග තිබේ.

මෙ අතර චීනය විසින් තවත් රටවල් රැසකටම වීසා නිදහස් පහසුකම් ලබාදී තිබේ. 2024 පළමු අර්ධය වනවිට විදේශිකයන් මිලියන 14කට අධික සංඛ්‍යාවක් චීනය වෙත පැමිණ තිබේ. එය මෙම පහසුකම බුක්ති විඳිමින් පසුගිය වසරෙ එම කාලසීමාවේදී චීනයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මෙන්ම දෙගුණයකට ආසන්න අගයකි. විශේෂයෙනම ඉතාමත් ක්‍රමානුකූලව හඳුන්වා දෙන නව නීති හරහා චීනය සිය ක්ෂේත්‍ර රැසක්ම විවෘත කරමින් සිටියි. ඒ හරහා විදේශ ආයෝජන සඳහා චීනය තුළ අවස්ථාවන් නිර්මාණය කිරීමත් සිදු කරයි.

ඒ අනුව ප්‍රති-ගෝලීයකරණ මතවාදයන්ට බැහැරව, චීනය තවදුරටත් සිය දොරටු වඩාත් පුළුල්ව විවෘත කරන බව මින් පැහැදිලි වෙයි. පසුගියදා පැවැත් වුණු චීන කමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කමිටු රැස්වීමේ තෙවැනි පූර්ණ සභාවාරයේ පැවැත්වුණු සාකච්ඡා යටතේ 'විවෘතවීම' යන්න චීනයේ නවීකරණයේ මූලික ලක්ෂණයක් ලෙස අර්ථගන්වා තිබේ. 

ඒ අනුව පිටත ලෝකය වෙත විවෘතවීම සඳහා වන මූලික රාජ්‍ය ප්‍රතිපත්ති වෙත තවදුරටත් දායකත්වය ලබා දෙමින් සහ විවෘත වන අතරතුරදීම ප්‍රතිසංස්කරණ සඳහා උනන්දු කරවීමත් වැදගත් බවත් එහි සඳහන්ව තිබේ. 
“චීනය සතු සුවිශේෂී වෙළෙඳ පොළෙහි ශක්තිය තවදුරටත් උසස් කිරීම සඳහා අපි, අපගේ විවෘතවීමේ හැකියාවන් තවදුරටත් දියුණු කළ යුතු වෙනවා. ඒ අතරතුරදීම අනෙකුත් රාජ්‍යයන් වෙත ලබා දෙන සහයෝගිතාව පුළුල් කිරීම සහ විවෘත ආර්ථිකයක ඉහළ ගුණාත්මක භාවය සඳහා වන නව ආයතන පිහිටුවීමත් සිදුකළ යුතුයි. අපි තවදුරටත් ආයතනික මට්ටමෙන් විවෘතවීමට කටයුතු කරනවා. ඒ වගේම විදේශ වෙළෙඳාමේ සැකැස්ම ප්‍රතිසංස්කරණය කිරීමටත්, චීනය වෙත සහ චීනයෙන් පිටත සිදු කරන ආයෝජන සම්බන්ධයෙන් වන කළමනාකරණ පද්ධතියක් සඳහා වන ඉදිරි ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ද අප කටයුතු කරනවා. ඒ වගේම කලාපීය විවෘතවීම සඳහා වන සැලසුම් තවදුරටත් දියුණු කිරීම සිදු කළ යුතුයි. එහිදී තීරයක් සහ මාවතක් වැඩපිළිවෙල යටතේ වන ඉහළ - ගුණාත්මකබවකින් යුත් සහයෝගිතාවක් සඳහා වන යාන්ත්‍රයක් සැකසීම වැදගත්.” යනුවෙන් එහි සඳහන්ව ඇත.

විවෘතභාවය චීන සංස්කෘතියේම කොටසක්

චීනයේ විවෘත භාවය පිළිබඳ දර්ශනය ශිෂ්ඨාචාරගතවූ අවස්ථෘවේ සිටම පවත්වාගෙන එන්නක්. එසේත් නොමැතිව එය තරගකාරීත්වය තවදුරටත් තියුණු කිරීම සඳහා යොදා ගත්තක් නොවෙයි.
මෙම විවෘතවීම සහ සංවර්ධනය යනු චීන ජාතියේ සියල්ල ඇතුළත් වීමේ සහ සංකලනයවීමේ සම්ප්‍රදායේම ඇතුළත් වූ කාරණයකි. විශේෂයෙන්ම ගෝලීය මානව ශිෂ්ඨාචාරයේ දියුණුවේ පැහැදිලි රහස චීනයේ තිරසාර සංවර්ධනයයි. එහිදී චීනය ලෝකය වෙත විවෘත වීම සහ ලෝකය චීනය වෙත විවෘත වීම වැදගත් අවස්ථාවකි. 
ඒ හරහා නැගෙනහිර ඉගෙනුම් බටහිරටත්, අන්‍යෝන්‍ය ඉගෙනුම් නැගෙනහිර සහ බටහිර අතත් ව්‍යාප්ත විය. එසේම ගෝලීය උතුරු සහ දකුණ අතර අන්‍යෝන්‍ය ඇතුළත්වීම යනාදියත් චීනයේ මෙම විවෘතභාවය යන දැක්ම හරහා නිරන්තරයෙන් පරිණාමය වෙමින් පවතින්නකි.

එසේම චිනය සිය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගනිමින් සිදු කරන නැවත ප්‍රාණවත්වීමේ සංවර්ධනීය අවස්ථාවන් සමගින්ම ජාත්‍යන්තර ප්‍රජාව වෙත වඩාත් වැඩියෙන් සහ වඩාත් ගුණාත්මක බවින් යුත් භාණ්ඩ සැපයීමේ අවස්ථාවද උදා වී තිබේ. මෙම සංවර්ධනය සෑම විටම ලෝකය යාවත්කාලීන කරවන බව චීනයේ දැක්ම වෙයි.
මීට අමතරව විවෘතවීම මගින් සමෘද්ධිය ළගා වන බවත් චීනය දැඩිව විශ්වාස කරන න්‍යායයකි. හුදෙකලාවීම මගින් සිදුවන්නේ තව තවත් අප පසුපසට යෑමයි. එහිදී  හොඳම උදාහරණය වන්නේ 19 වැනි සියවසේදී ඇතිවූ අබිං යුද්ධ (Opium Wars) පසුව උදා වූ සියවසේදී චීනය උගන් අමිහිරි පාඩම්ය. එහිදී චීනය ලෝකයා වෙත විවෘතවීම සම්බන්ධයෙන් පැවැති දුර්වලතා නිසා දරුණු ඵලවිපාක වෙත මුහුණ දුන්නේය.

මෙම 19 වැනි සියවසේදී චීනය යනු ස්වයංපෝෂිත, කුඩා පරිමාණ ආර්ථිකයන් සහිත වූ රටකි. ඒ හේතුවෙන් බටහිර පවත්වාගෙන ගිය විවෘත, කාර්මිකරණ ශිෂ්ඨාචාරය හමුවේ ඉතාමත් වේගයෙන් පරාජයට පත්වීමට චීනයට සිදු විය. නමුත් අද චීනය යනු සිය ව්‍යවස්ථාව සඳහා 'විවෘතවීම' ඇතුළත් කර ඇති ලොව ඇති එකම රාජ්‍යයද වෙයි. එසේම එය අද ජාතික ප්‍රතිපත්තියක් බවටද පත්ව තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සහ විවෘතවීමේ ප්‍රතිපත්තිය මගින් චීනයේ ජාතික තත්ත්වයන් සහ අවශ්‍යතාවන් නිසිලෙස සපුරාගැනීමේ නිවැරදි මාවත පිළිබිඹු කරයි.

ඒ අනුව චීනය චීනය තවදුරටත් වඩාත් ක්‍රියාකාරී විවෘතවීමේ ක්‍රමෝපාය හඳුන්වාදීමට ක්‍රියා කරමින් සිටියි. එසේම ඉහළ ගුණාත්මකබවකින් යුත් නිදහස් වෙළෙඳ කලාප ඇතුළත් ගෝලීය ජාලයක් බිහි කිරීමටත් කටයුතු යොදා තිබේ. ඒ හරහා නිදහස් වෙළෙඳ නියමු කලාප සංවර්ධනය වේගවත් කරවීම සැලසුමයි. එහිදී හයිනාන් නිදහස් වෙළෙඳ වරාය ඉදිකිරීම හරහා තීරයක් සහ මාවතක් වැඩසටහන ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන වේදිකාවක් සහ ජාත්‍යන්තර භාණ්ඩ හුවමාරුව සඳහා වඩාත් ජනප්‍රිය ස්ථානයක් බවට පත් කිරිමත් අපේක්ෂාවකි.

ඉහළ මට්ටමේ විවෘතවීමක් ක්‍රියාත්මකයි

චීනය මේ වනවිටත් සියලුම අංශවලින් සමන්විත ඉහළ මට්ටමේ විවෘතවීමක් ප්‍රවර්ධනය කිරීම සඳහා සක්‍රීයව කටයුතු කරමින් සිටියි. චීන කමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික සම්මේලනයේ සිට චීන ජනාධිපති ෂිං ජින්පින්ග් මෙම විවෘත වීමේ සංකල්පයට අදාළ ප්‍රතිසංස්කරණ ඉහළ නැංවීම සඳහා කටයුතු යොදමින් සිටියි. එහිදී ඉහළ මට්ටමේ ජාත්‍යන්තර වෙළෙඳ සහ ආර්ථික රීතීන් සමගින් සම්බන්ධවීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දෙයි. 

විශේෂයෙන්ම නියාමනය, කළමනාකරණය සහ ගුණාත්මකභාවය යනාදී  අංශ තුළ ආයතනික මට්ටමේ විවෘතවීමක් පුළුල්වියයුතු බව ඔහු විශ්වාස කරයි. මේ හරහා විවෘතභාවය සහ ඉහළ මට්ටමේ විවෘත ආර්ථිකයන් සංවර්ධනය සඳහා වන නව මිනුම් ලකුණක් ස්ථාපිත කිරීම අරමුණ වී තිබේ. 

මෙලෙස ඉහළ මට්ටමේ ආයතනික විවෘතවීම යනුවෙන් අදහස් කරන්නේ චීනයේ මෙම විවෘතවීම භාණ්ඩ වෙළඳාමේ සිට සේවා වෙළෙඳාම දක්වා මාරු වීමයි. ඒ හරහා පාරිභෝගික භාණ්ඩ සහ නිෂ්පාදන සාධක නියාමනයක් යටතේ වන ආයතනික විවෘතවීමක් සඳහා නිදහසේ ගලායෑමට සැලැස්වීමයි.

ආසන්න කාලසීමාවේදී චීනය යුරෝපා සංකගමයත් සමගින් ආයෝජන සඳහා වන සුවිශේෂී එකඟතාවක් (CAI – Comprehensive Agreement on Investment) සම්පූර්ණ කිරීමට කටයුතු යොදා තිබේ. ට්‍රාන්ස්-පැසිපික් හවුල්කාරීත්වය සඳහා වන සුවිශේෂී සහ ප්‍රගතිශීලී එකඟතාව (CPTPP) සමගින් මෙන්ම ඩිජිටල් ආර්ථික හවුල්කාරීත්ව එකඟතාව (DEPA) සමගින්ද සම්බන්ධවීමට චීනය දැනටමත් ඉල්ලුම් කර තිබේ.

මෙලෙස ආයතනිකව විවෘතවීම සඳහා වන ක්‍රමවේදීය ප්‍රතිසංස්කරණ මගින් චීනය ඉහළ මට්ටමේ ජාත්‍යන්තර ආර්ථික සහ වෙළෙඳ ප්‍රමිතියක් ඇති කිරීමේ සහ ජාත්‍යන්තර ආර්ථික සහ වෙළෙඳ නියාමන එකඟතාවන් සඳහා සක්‍රීයව දායකවීමේ උත්සාහයන් තවදුරටත් වේගවත් කරයි.

මෙවැනි ආකාරයේ ඉහළ මට්ටමේ විවෘතවීමක් සමගින් චීනයේ මෙම විවෘතවීම වඩාත් ස්වාධීන අවස්ථාවකට පත් වෙයි. ඒ අනුව තීරයක් සහ මාවතක් වැඩසටහන සහ චීන ජාත්‍යන්තර අපනයන ආනයන (CIIE) නියෝජනය කරමින්, චීනය අකර්මණ්‍ය විවෘතවීමක සිට සක්‍රිය විවෘතවීමක් දක්වා යාමට සූදානමින් සිටියි. ඒ හරහා විවෘත සංවර්ධනයක සිට සංවර්ධන-මූලික කරගත් විවෘතවීමක් මෙන්ම ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය සඳහා විවෘතවීමක් සහ ඉන් විවෘතවීම ප්‍රවර්ධනය කිරීමත් සැලසුම වී තිබේ.

මෙලෙස තීරයක් සහ මාවතක් වැනි චීනය මගින් යෝජනා කර ඇති වැඩසටහන් මගින් චීන ව්‍යවසායන් ගෝලීයව ව්‍යාප්තවීම පමණක් අපේක්ෂා නොකරයි. ඒ අතරම චීන නිෂ්පාදන, සේවා, අදහස් සහ මෙන්ම සංවර්ධන ආදර්ශද එම රටවලට නියමිත ලෙස ලැබීම අදහස වී තිබේ.

මෙම තීරයක් සහ මාවතක් වැඩසටහන මගින් චීනය සිය හවුල්කාර රාජ්‍යයන් සමගින් වඩාත් දියුණු සහයෝගිතාවක් පවත්වාගෙන යාමට කටයුතු කරමින් සිටියි. එහිදී එම රටවල සංවර්ධන උපායමාර්ග, ආයතනික යාන්ත්‍රණය, හුවමාරු වේදිකාවන්, ද්විපාර්ශ්වික සහ කලාපීය සහයෝගිතාව ප්‍රවර්ධනය යනාදිය වෙයි. උදාහරණයක් ලෙස රුසියාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක යුරේසියානු ආර්ථිකසංගමය, කසකස්තානයේ 'දිදුලන මාවත (Bright Road)' වැඩසටහන, ඉන්දුනීසියාවේ ගෝලීය සමුද්‍රීය උපස්තම්භ දැක්ම, දකුණු අප්‍රිකාවේ ආර්ථික ප්‍රතිනිර්මාණය සහ යථාවත්වීමේ සැලසුම් සහ ඊජිප්තුවේ සූවස් ඇල කොරිඩෝව සංවර්ධන ව්‍යාපෘතිය ඒ අතර වෙයි.

විශේෂයෙන්ම අදවනවිට ලෝකය තුළ හඳුනාගත හැකි මූලිකම ගැටලුවක් වන්නේ ගෝලීය උතුරු සහ දකුණ අතර පවතින ආර්ථික සංවර්ධනයේ අසමතුලිතතාවයි. මෙය ආර්ථික ගෝලීයකරණය මන්දගාමී කරවීම සහ රාජ්‍යයන් අතර ආර්ථික ප්‍රතිපත්තීන් විහිදීයාමේ කැපී පෙනෙන දුර්වලතා ඇති කරවයි. ඇමෙරිකාව සහ යුරෝපය සිය වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා සිය අපනයන පුළුල් කරමින් ආනයන සීමා කරමින් සිදු කරන පොදු ක්‍රියාදාමය හරහා මෙවැනි අවස්ථාවන් ඇති වෙයි. එහෙත් චීනය තවදුරටත් සිය ආනයන ඉහළ නැංවීමේ යෙදී සිටියි.

චීන ජනාධිපති ෂිං ජින්පින්ගේ නායකත්වයයටතේ චීන ජාත්‍යන්තර ආනයන අපනයනය (CIIE) මගින් ලෝකයේ පළමුවරට ආනයනය තේමා කරගත් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු යෙදීය. ඒ හරහා චීනයේ මෙන්ම ලොව අනෙකුත් රටවලත් පුළුල් දේශීය වෙළෙඳ ‍පොළ වෙත ජාත්‍යන්තර භාණ්ඩ වෙළෙඳාමේ ගෝලීය කොටසක් බවට පත්වීමේ අවස්ථාව උදා කර දුණි.

2023 වසරේදී පැවැත්වුණු හයවැනි CIIE ප්‍රදර්ශනයේදී ලොව රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන 72ක් මෙම ජාතික ප්‍රදර්ශනය වෙත සහභාගි විය. එසේම සාංගමික ප්‍රදර්ශන අතරතුරදී ලොව රටවල් සහ කලාප 128ක් නියෝජනයකළ ව්‍යවසායන් 3,486ක් මගින් නව නිෂ්පාදන, තාක්ෂණ සහ සේවා 442ක් ප්‍රදර්ශනයට එක්කර තිබුණි.

මීට අමතරව, චීන ජනාධීපතිවරයාගේ සැලසුමකට අනුව සේවා වෙළෙඳාම පිළිබඳ චීන ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් (CIFITS - China International Fair for Trade in Services) සහ චීන ජාත්‍යන්තර පාරිභෝගික නිෂ්පාදන අපනයන (CICPE) ප්‍රදර්ශනයක් පැවැත්වීමටත් කටයුතු යොදා ඇත. ඒ හරහා වෙළෙඳාම ලිහිල්කරණය සහ ආර්ථික ගෝලීයකරණය සඳහා වන සිය දැක්ම තවදුරටත් ස්ථාපිත කිරීම ඔහුගේ අදහස වී තිබේ.

විවෘත වීමේදී මූලධර්ම සහ සීමාවන්ට යටත්වීම

මෙලෙස විවෘතවීමේදී පවා චීනය සතුව මූලධර්ම සහ සීමාවන් පවතී. එහිදී ප්‍රධාන ජාතික අවශ්‍යතාවන් සහ එරට ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීම මෙම විවෘතවීමේ මූලික අපේක්ෂාවකි. එහෙත් එම අතරතුරදීම චීනය සිය ස්වෛරීත්වය සහ ජාතික ගෞරවය ආරක්ෂා කරගැනීමට කටයුතු කරයි.

එහෙත් මේ වනවිට එල්ලවන චෝදනාවක් වන්නේ චීනය සිය විවෘතවීම පසුපසට අදිමින් සිටින බවකි. චීනය සිය මූලධර්ම වෙත අනුගතවීමේ දී සහ හානි වළක්වා ගැනීමේදී මෙම චෝදනා එල්ල වන බව දැකගත හැකිය. මෙලෙස චීනය සිය විවෘතවීම් පසෙකට දමා ඇති බවට ඇතැම් බටහිර රාජ්‍යයන් එල්ල කරන චෝදනා ඔවුන් සිදු කරන පසුබැසීම් වසා ගැනීමේ උත්සාහයන් පමණකි.

එම බටහිර රාජ්‍යයන් සිය සැපයුම් දාමයන් දේශපාලනිකව සහ ආර්ථිකව %සුරක්ෂිත% හෝ %අඩු අවදානමක්% සහිත රාජ්‍යයන් වෙත සිදු කරමින් සිටින අතරතුරදීම ඔවුන් %ලෝකයේ කර්මාන්තශාලාව% ලෙස චීනය හිමිකරගෙන ඇති තත්ත්වය අවතක්සේරු කිරීමට උත්සාහ කරයි. එසේම ඔවුන් සිය නිෂ්පාදනයන් චීනයෙන් ඉවත් කර ඉන්දියාව සහ වියෙට්නාමය වැනි රටවලට රැගෙන යයි. මේ හරහා ගෝලීයසැපයුම් දාම ඔවුන්ගේ වුවමනාවට අනුව සකස් කිරීමටද ඔවුන් උත්සාහ කරයි. 

බටහිර සිදු කරන මෙවැනි චෝදනාවන්හි උත්සාහය වන්නේ චීනය සමගින් පවත්වන සබඳතා බිඳවැට්ටවීම සඳහා වන හේතු සොයා ගැනීමයි. එසේම ඒ හරහා %නව ගෝලීයකරණය% හෙවත් %අර්ධගෝලීය ගෝලීයකරණයක්% නිර්මාණය කිරීමයි.

චීන ජනාධිපතිවරයා පෙන්වා දෙන ආකාරයට චීනයේ යහපැවැත්ම මගින් ලෝකය වෙත ප්‍රතිලාභ හිමිවන බහුවිධ අවස්ථාවන් පවතී. ඒ අනුව ප්‍රති-ගෝලීයකරණ මතවාදයට විරුද්ධව, සිය ඉහළ මට්ටමේ විවෘතවීම් පවත්වාගෙන යාමටත්, ඉහළ-ගුණාත්මකබවින් යුත් ජාත්‍යන්තර ආර්ථික සහ වෙළෙඳ රීති වෙත සමපාත වීමත්, ආයතනික විවෘතවීම් වඩාත් ශක්තිමත්ව ප්‍රවර්ධනය කිරිමටත්, දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ පොළ සහ සම්පත් අතර අන්තර්ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමත්, විදේශීය වෙළෙඳාම සහ ආයෝජන සහසම්බන්ධ කිරීමත් සහ ජාත්‍යන්තර ආර්ථික සහයෝගිතාව සහ තරගකාරීත්වය තුළ නව ප්‍රතිලාභ සොයා යෑමටත් චීනය තවදුරටත් කටයුතු කරමින් සිටියි.
ඒ අනුව විවෘතවීම සහ සංවර්ධනය සම්බන්ධයෙන් වන චීනයේ දැක්ම මේ වනවිට අකර්මණ්‍ය අවස්ථාවේ සිට වඩාත් සක්‍රීය අවස්ථාවක් දක්වා පරිණාමය වී තිබේ. එය ගෝලීයකරණය ප්‍රවර්ධනය සඳහා වන චීනයේ විසඳුම සම්පාදනය කරයි.

(චීනයේ රෙන්මින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වැන්ග් යිවෙයි විසින් ලියන ලද ලිපියක පරිවර්තනයකි.  ඔහු මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳාම ප්‍රවර්ධනය සඳහා වන චීන කවුන්සිලයේ ප්‍රවීණයෙකු වන අතර, ටායිහේ ආයතනයේ ජ්‍යෙෂ්ට පර්යේෂකයෙකුද වෙයි.)

0 comments

Leave a Reply

Post Comment