අල්ලස හා දූෂණය යනු සමස්ත සමාජයක පැවැත්ම විනාශ කරන්නෙකි. රටක් පරිහානියට ඇද දමන්නකි. ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් වරක්  දූෂණය පිළිකාවක් ලෙස හදුන්වා දෙන ලදී. ඔහු තවදුරටත් දැක්වුයේ, දුෂණය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුරවැසියාගේ  විශ්වාසය නැති කරවන බවයි. අල්ලස හා දුෂණය අප සමාජයේ මුල් බැසගත් පද්ධතිමය ගැටලුවකි. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය 2023 ඉදිරිපත් කල දූෂණ සංජානන දර්ශකය අනුව ශ්‍රී ලංකාව රටවල් 180කින් 115 වැනි ස්ථානයේ පවතී. ඒ 34%ක ලකුණු ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

ගෝලීය දුෂණ බැරෝ මීටරයට අනුව 79%ක් සිතන පරිදි රාජ්‍ය දුෂණය විශාල ගැටලුවකි.  ලංකාව වැනි අල්ලස, දුෂණය  නිසා පරිහානියට ලක්වූ රටකට අමුතුවෙන් අල්ලස හා දුෂණයේ ප්‍රතිවිපාක ගැන පැහැදිලි කිරීම අවශ්‍ය නොවේ. නමුත් එවන් සමාජයකට අල්ලස හා දුෂණය වැලැක්වීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම සදහා පෙළඹවීම හා මගපෙන්වීම අතිශයෙන් ම වැදගත් වේ.

අල්ලස් යනු බහුවිධ සහ බහු මුහුණුවර ඇති සංසිද්ධියකි. අල්ලස මුදල්, දේපල, වාහන,  ලිංගිකත්වය යනාදී ඕනෑම දෙයක් විය හැකිය.  අල්ලස යනු පුද්ගලයෙකුට මුදල්, තෑගි හෝ ඔවුන්ට අවශ්‍ය වෙනත් දෙයක් ලබා දීමෙන් යමෙකු ඔබ වෙනුවෙන් යමක් කිරීමට පොළඹවා ගැනීමකි.

විවිධ වූ අල්ලස්  අතර ලිංගික අල්ලස වඩාත් සංවේදී හා බැරෑරුම් සංසිද්ධියන් වන්නේය. ලිංගික අල්ලස හදුනා ගන්නේ කෙසේද යන්න පිලිබදව  නැන්සි හෙන්ඩ්‍රි වඩාත් සවිස්තරාත්මකව  පැහැදිලි කරයි. ඒ අනුව ලිංගික අල්ලසක් වීම සදහා ප්‍රධාන කරණා 4ක් අන්තර්ගත විය යුතුය. එනම් පළමුව, චුදිතයා  භාරකාර අධිකාරියක/ තනතුරක සිටින අයෙකු  විය  යුතුය; දෙවනුව එම පුද්ගලයා  යම් පුද්ගලික ප්‍රතිලාභයක් වෙනුවෙන් තම අධිකාරිමය බලය  ක්‍රියාත්මක කළ යුතුය. තෙවනුව, එම ප්‍රතිලාභය  තුල ලිංගික අදාලත්වයක්  තිබිය යුතුය; අවසාන වශයෙන්, ලිංගික ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා පුද්ගලයාට භෞතික බලය මත නොව අධිකාරියේ බලහත්කාරි  බලය මත විශ්වාසය තැබිය යුතුය. මේ සියලු සාධක අදාල වන්නේ නම් එවන් සිදුවීම්  ලිංගික අල්ලසක් ලෙස අර්ථකථනය කරගත හැකිය.

මෙම දූෂිත ලිංගික සූරාකෑම  මුදල් අල්ලසකට  වඩා බොහෝ විට වින්දිතයින්ට  අහිතකර බලපෑමක් ඇති කරයි. අතිශය පුද්ගලික යමෙකුගේ ශරීරය අල්ලසක් වශයෙන් ලබා දීම සංවේදී කරුණක් වන්නේය. ලිංගික අල්ලස ලබා දීම හෝ ලබා ගැනීම හරහා සමාජ අපකීර්තිය හා බැදුණු සමාජීය ප්‍රතිවිපාක රාශියකට මුහුණ පෑමට සිදුවේ. කාන්තා ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සංගමය විසින් ලිංගික අල්ලස මානව හිමිකම් උල්ලංඝනයක්, සාපරාධි වරදක් මෙන්ම දුෂණයේ එක්තරා අඳුරු පැතිකඩක් ලෙස හඳුන්වා දෙයි. එකී ලිංගික අල්ලස අනාරක්ෂිත ලිංගික ඇසුරක් වුවොත් සමාජ ගැටලුව තවත් බරපතල වන්නේය. අනවශ්‍ය ගැබ් ගැනීම්, ඒඩ්ස් (AIDS)වැනි සමාජ රෝගවල ගොදුරක් වීමේ අවධානම් සහගත තත්වයක් ද මේ සමගම පැමිණේ. ඒ හා බැදුණු නොයෙක් සමාජීය කොන් කිරීම, වින්දිතයන්ට දොස් පැවරීම සහ විවාහ අපේක්ෂාවන් අහිමි වීම, පවුල් සබදතා දෙදරා යාම වැනි තත්වන්ය මේ හා සමගාමිව අදාල වින්දිතයින්ට උරුම වේ.

සමාජය තුල සියලු සමාජ කණ්ඩායම් මෙකී ලිංගික අල්ලස්හි වින්දිතයින් විය හැකි අතර ඒ අතරින් LGBTQIA+  ප්‍රජාව වඩාත් වැඩියෙන් මෙවැනි සිදුවීම්හි වින්දිතයින් වීමේ ප්‍රවණතාවය ඉහළය. නෛතිකමය වශයෙන් සමරිසි සබදතා අපරාධ වරදක් වන රටක එමෙන්ම ආගමික හා සංස්කෘතික වශයෙන් සමරිසි වීම වරදක් ලෙස දකින සමාජයක LGBTQIA+  ප්‍රජාව නිරන්තර වෙනස්කර සැලකීම්වලට ලක්වේ. එකී වෙනස්කර සැලකීම් ඔවුන්ව ලිංගික අල්ලස් හි වින්දිතයින් වීමේ ප්‍රවණතාවය ඉහල නංවයි.

2021 දී,ට්‍රාන්ස්පේරන්සි  ඉන්ටර්නැෂනල් සංවිධානය  සමාන අයිතිවාසිකම් භාරය (Equal Rights Trust)සමඟ හවුල් වීඅල්ලස දුෂණය හා වෙනස්කොට සැලකීම අතර ඇති සම්බන්ධතාවය පිළිබද  අධ්‍යනයක් සිදු කල අතර, එම අධ්‍යනයෙන්  අල්ලස සහ වෙනස් කොට සැලකීම එකිනෙක වර්ධනය වන ප්‍රධාන අවස්ථා 4ක් ඉස්මතු කරන ලදී.

1.   වෙනස් කොට සැලකීම හරහා මිනිසුන් අල්ලසට වැඩි වශයෙන් නිරාවරණය වේ.

2.දුෂණයේ ඇතැම් ආකාර (ලිංගික අල්ලස් යනාදිය) නිසගයෙන් ම මිනිසුන් වෙනස්කොට සැලකීමට භාජනය කරයි.

3.වෙනස්කොට සැලකීමේ  ප්‍රතිපලයක් ලෙස අල්ලස, දූෂණයේ ප්‍රතිපල සමාජය පුරා අසමාන ලෙස පැතිර යයි. එය සමාජය තුල අසමානත්වය වර්ධනය කරවයි.

4.අවසාන වශයෙන් වෙනස් කොට සැලකීම නිසාවෙන්  අල්ලස් හි වින්දිතයින්ට යුක්තිය ලගාකර දීමට බාධක මතු කරන අතර, අදාල  වෙනස්කොට සැලකීම අල්ලස් ලබා ගැනීම සාධාරණිකරණය කරන වටපිටාවක් නිර්මාණය කරයි.

ප්‍රජාව තම ලිංගික දිශානතිය හෝ අනන්‍යතාවය  හේතුවෙන් වෙනස්කොට සැලකීම්වලට ලක්වන නිසාවෙන් අල්ලස හා දුෂණයේ ද ගොදුරක් වීමේ අවකාශය ඉහළය. එමෙන්ම එවැනි සිදුවීම් ඔවුන් විසින් වාර්තා කරන අවස්ථා ද විරලය. බිය කිරීම, තර්ජනය කිරීම හරහා ලිංගික අල්ලස් ලබා ගැනීම් බොහෝ විට සිදුවේ. LGBTQIA+  ප්‍රජාවට හිතකර නොවන  නීති ලිංගික අල්ලස් සාමාන්‍යකරණය  කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය  කරයි. අනෙක් අතට,  අදාල නීති හා නීති ක්‍රියාත්මක  කරන නිලධාරීන් පිළිබද විශ්වාසයක් නොමැති වීම හා එවැනි  සිදුවීම් වාර්තා කළහොත් තම ලිංගිකත්වය පදනම් කරගෙන අනවශ්‍ය ප්‍රශ්න  හා කරදරවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ඔවුන් බිය වේ. LGBTQIA+ ප්‍රජාව තුල පවතින සමාජ අපකීර්තිය පිළිබද හැගීම මෙම සිදුවීම් වාර්තා කිරීම අවම කරයි.

LGBTQIA+  ප්‍රජාව තුළ සිටින පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයට ලිංගික අල්ලස් දීම කල්පවත්නා බලපෑම් ඇති කළ හැකිය. සමාජයට නිරාවරණයට ඇති බිය, අයුක්ති සහගත ඉල්ලීම්වලට අනුකූල වීමට සිදුවීම නිසා ඇතිවන  පීඩනය, කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් මානසික සෞඛ්‍යය ගැටලු ඇති විය හැක. මෙය වින්දිතයන්ගේ යහපැවැත්ම අනතුරේ හෙලනු ලබයි.

ලිංගික අල්ලස් LGBTQIA+ ප්‍රජාව පිළිබඳ හානිකර ඒකාකෘති වර්ධනය  කරයි.   එය වෙනස් කොට සැලකීමේ ආකල්ප ඉවසා සිටීම පමණක් නොව ඒවා සාමාන්‍යකරණය  වන පරිසරයක් පෝෂණය කරයි.  එය වඩාත් අන්තර්කරණය වු සහ පිළිගත් සමාජයක් කරා යන ගමනට බාධා කරයි.

යෝග්‍යකර්තා  මූලධර්ම හි  28 වගන්තිය අනුව, ලිංගික දිශානතිය සහ ස්ත්‍රී  පුරුෂ සමාජභාවය මත පදනම් වූ  මානව හිමිකම් කඩවීමකදී  සෑම වින්දිතයෙකුටම ඵලදායී,ප්‍රමාණවත්  සහ සුදුසු පිළියම් සඳහා අයිතිය ඇත. නීතිය ක්‍රියාත්මක  කරන ආයතන හරහා නියමිත නීතිමය රැකවරණයක් පැතීමට අදාල ප්‍රජා  සාමාජිකයින්ට අයිතිය හිමි විය යුතුය. නමුත් ප්‍රයෝගිකත්වය  තුල සිදුවන්නේ LGBTQIA+  පුද්ගලයන් තමන්ට සිදුවන හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, සිරගත කිරීම් සහ ප්‍රචණ්ඩත්වයට  බියෙන් නීතිය  ක්‍රියාත්මක කරන ආයතන  සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටියි.

අවසාන වශයෙන් එහි ප්‍රතිවිපාක LGBTQIA¬LGBTQIA+ ප්‍රජාවට පමණක් නොව සමස්ත සමාජයටත් අත් විදීමට සිදුවේ. නීතිමය ආරක්ෂාවක් නොමැති සමාජවල, LGBTQIA¬  ප්‍රජාව  ප්‍රචණ්ඩත්වයට, දූෂිත නිලධාරීන්ගේ කප්පම් ගැනීම් සහ බැහැර කරන සේවා ස්ථාන පරිසරයන් හේතුවෙන් ඔවුන්ගේ ඵලදායිතාව අඩුවීමේ නිරන්තර තර්ජනයට ලක් වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, LGBTQIA+ පුද්ගලයින්ට එරෙහිව පවතින අධික ලෙස වෙනස් කොට සැලකීම  හේතුවෙන් ගෝලීය ආර්ථිකය වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 120 ක පාඩුවකට මුහුණ දෙයි.

ශ්‍රී ලංකාවේ ලිංගික අල්ලස් ආමන්ත්‍රණය කිරීම සඳහා පුළුල් සහ බහුමාන ප්‍රවේශයක් අවශ්‍ය වේ. ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම් නොවී, මිනිසුන්ගේ  අයිතිවාසිකම් සහ ගෞරවය ආරක්ෂා වන  පරිසරයක් නිර්මාණය කිරීමේදී නීති ප්‍රතිසංස්කරණය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. 1954 අල්ලස් පනතේ ලිංගික අල්ලස අපරාධයක් ලෙස පැහැදිලිව සදහන් කර නොතිබුණි.

(නමුත් පනතේ අන්තර්ගත ‘තෘප්තිය’ යටතට ලිංගික අල්ලස ද ඇතුලත් බව අධිකරණ තීන්දු හරහා අර්ථ දක්වා තිබුණි.) 2023  දූෂණ විරෝධී පනතේ 162 වගන්තිය හරහා ප්‍රථම වරට තෘප්තිමත් කිරීමේ ආකාරයක් ලෙස ‘ලිංගික අනුග්‍රහය’ පැහැදිලිව සඳහන් කර ඇති බැවින් යම් සේවාවක් ඉටු කිරීම සඳහා ලිංගික අනුග්‍රහයක්  ඉල්ලා සිටීම පළමු වරට අපරාධ වරදක් බවට සදහන් කර ඇත. මෙය  ප්‍රගතිශීලි පියවරක් ලෙස අගය කරන අතරම වින්දිතයා කේන්ද්‍ර  කරගත් නීතිමය ප්‍රවේශයක් තහවුරු කිරීමේ අවශ්‍යතාවය ද  මෙහිදී ඉස්මතු කල යුතුමය.

නීතිමය ප්‍රතිසංස්කරණවලදී,ලිංගික අල්ලස ඉල්ලන්නා මෙන්ම ලබා දෙන්නා යන දෙපාර්ශයම වැරදිකරුවන් නොකර, ලිංගික අල්ලස්වලින් බේරුණු අයගේ ආරක්ෂාව සහ සහයෝගය අවධාරණය කරමින් වින්දිතයන් කේන්ද්‍ර  කරගත් ප්‍රවේශයක්  අනුගමනය කළ යුතුය. එහි දී  වින්දිතයින්ට දොස් පවරනවාට වඩා අපරාධකරුවන් කෙරෙහි අවධානය යොමු කල  යුතුය. LGBTQIA+ ප්‍රජාවට විශේෂයෙන් ගැලපෙන උපකාරක සේවාවන් නිර්මාණය කිරීම ලිංගික අල්ලස්වලින් පසු අහිතකර බලපෑම්වලින් මිදීමට වැදගත් වේ. මේ හරහා නීති මග පෙන්වීම සහ මනෝ උපදේශන සහය ද  ලබා දිය හැකිය.

එයට අමතරව මෙම ප්‍රජාව සුවිශේෂී කර ගනිමින් පවත්නා සමරිසි විරෝධී නීති අවලංගු කිරීම අවශ්‍ය වන්නකි. එමගින් වෙනස්කොට සැලකීම අවම කර ගැනීමට හැකිවේ. නීතිමය බාධක ඉවත් කිරීමෙන්, පුද්ගලයන් ඔවුන්ගේ ලිංගික දිශානතිය හෝ සමාජභාවය මත පදනම්ව තර්ජනය කිරීම්වලට මුහුණ දීමට ඇති ඉඩකඩ අවම කල හැකිය.

නැපෝලියන් බොනපාට් වරක් ප්‍රකාශ කරේ, ලෝකය බෙහෙවින් පිඩා විදී. ඒ නරක මිනිසුන්ගේ නරක ක්‍රියාවලින්  නොවේ, හොද මිනිසුන්ගේ නිහඩත්වයෙනි යනුවෙනි. අල්ලසට එරෙහිව සටන් කිරීම ගැන කතා කරන විට තරුණ පරපුරේ මෙන්ම සිවිල් සමාජයේ කාර්යභාරය ඉතා වැදගත් වේ. දූෂණ විරෝධී ප්‍රයත්නයන්හිදී සිවිල් සමාජ සංවිධානවලට මුර බල්ලන් ලෙස වැදගත්  කාර්යභාරයක් ඉටු කළ හැකිය.

ලිංගිකත්වය පිළිබදව පොදුවේ සමාජයක් තුල කතා නොකරන වටපිටාවක් තුල මෙවැනි සිදුවීම් අනවරණය වන්නේ යයි අපට විශ්වාස කිරීම පවා අපහසු වන්නේය. මේ නිසාවෙන් රටක් ලෙස ජාතියක් ලෙස ලිංගික  අල්ලස පිටු දැකීම සදහා අවශ්‍ය සමාජීය කතිකාවතක්/ පෙළඹවීමක්  ඇති කිරීමට අත්‍යවශ්‍ය වේ. නීතිමය ක්‍රියාමාර්ගවලට අමතරව, විවිධ ලිංගික දිශානතින්  සහ ස්ත්‍රී  පුරුෂ සමාජභාවය පිළිබඳ තොරතුරු ඇතුළත් පුළුල් ලිංගික දැනුමක් පාසල් තුළ ලබා දීම  පරිවර්තනීය පියවරකි. දැනුම ලබා දීමෙන් සහ අවබෝධය පෝෂණය කිරීමෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත්  ඒකාකෘති වලට අභියෝග කිරීමට සහ සමාජ අපකීර්තිය අවම කිරීමට ප්‍රබල දායකත්වයක් ලැබේ.

අවසාන වශයෙන් ලිංගික අල්ලසට එරෙහිව සමාජයක් ලෙස එක්ව කටයුතු කිරීම හරහා අල්ලස් අවම කිරීම සහ පාලනය කිරීම සඳහා වැඩ කළ හැකි අතර, එය වඩාත් සාධාරණ සහ සියල්ලන් ඇතුළත් අන්තර්කරණය වූ  සමාජයක් සඳහා මග පාදයි. අපට සමාජයක් ලෙස එක් වුවහොත් අල්ලස හා දුෂණය පාලනය කල හැකිය, අවම කල හැකිය.

ලිංගික අල්ලස් පිළිබඳ සිද්ධියක් වාර්ථා කිරීමටල 1954 දුරකථන අංකය හෝ  [email protected]විද්‍යුත් තැපෑල හරහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC)අමතන්න

-සමානාත්මතාවය සහ යුක්තිය සඳහා වූ කේන්ද්‍රය වෙනුවෙන් හසිනි ජයමිණි

0 comments

Leave a Reply

Post Comment