නිවසට සම්බන්ධිත වහලයකින් ආවරණය වන විවෘත අවකාශය වැරෙන්ඩා ලෙස හැඳින් වේ. කෘෂිකාර්මික ජීවිත ගතකළ ලාංකික පවුලක නිවසේ ප්‍රධානියාට බොහෝවිට රාත්‍රිය පහන් කිරීමට සිදු වූයේද ඒ කාලයේ පිළ ලෙස හැඳින්වූ මෙවැනි අවකාශයකය. අද නිවසට එන අමුත්තන්ව නතර කර තබන අවකාශය වී ඇත්තේද එලෙස නිර්මාණය වූ ආලින්දයයි. මේ කුමන නම්වලින් හැඳින්වුවත් ඉස්තෝප්පුවක්, පිළක්, ආලින්දයක් යනු සරල අර්ථයෙන් නිවැසියන් එක් තැනකට ආකර්ෂණය කරන ස්ථානයයි.

වැරැන්ඩා හෙවත් ඉස්තෝප්පුව කියන්නේ නූතන නිවාස සංස්කෘතියට ආයාසයෙන් ඈඳාගත යුතු අංගයක් වුවත්, එය අපේ රටේ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අතිශය සුලබ සාධකයක් බව කිව යුතුයි. විශේෂයෙන් පර්චස් හයේ කුඩා භූමිවල සාදන නව නිවාසවලට වඩා විශාල ඉඩම්වල අතීතයේ නිර්මාණය වූ පැරණි නිවෙස්වලට ඉස්තෝප්පුවක් එක්කර ගැනීම එතරම් අපහසු කාරණයක් නොවන්නට ඇති.

ඉස්තෝප්පුව, ආලින්දය, පිළ වගේ විවිධ නම්වලින් හඳුන්වන වැරැන්ඩාවක් බොහෝදුරට නිර්මාණය වනුයේ නිවසක ඉදිරිපස වුවත් එහි භාවිතයට සමාන ලෙස නිවසක පිටුපස හෝ නිවසේ පසෙක හෝ තිබෙන්නට පුළුවන්. වහලයකින් ආවරණය වූ නිවසට සම්බන්ධ මෙම කොටස නිදහස් විවෘත අවකාශයක් ලෙසයි සැලකෙන්නේ.

නූතනයේ නිර්මාණය වන හතරැස් පෙට්ටි නිවාස සම්ප්‍රදායේදී වහලය අහෝසි වී ඇති නිසා එම නිවෙස්වල ඉස්තෝප්පුවක් නිර්මාණය වීම මගහැරී යයි. නමුත් පැරණි නිවාස සම්ප්‍රදායේදී වහලය නිවෙසට අත්‍යවශ්‍ය සාධකයක් වන බැවින් සහ උළු වහලවල ඇති තීව්‍ර ආනතිය නිසා ඉස්තෝප්පුවක් නිර්මාණය වන්නේ නිරායාසයෙන්. විශේෂයෙන්ම ඇලුමිනියම් වීදුරුවලින් යුත් දොර ජනෙල් නිර්මාණය අතීතයේ නොතිබුණු බැවින් නිවසේ ලී දොරජ නෙල් හා බිත්ති අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වීමට මෙවැනි ඉස්තෝප්පුවක් අත්‍යවශ්‍ය සාධකයක් වන්නට ඇති.

නමුත් වැදගත් වන්නේ එවැනි නිවසේ ආකෘතියේ අවශ්‍යතාව මත නිර්මාණය වන ඉස්තෝප්පුව නිවැසියන්ගේ ජීවිතයට කොතරම් සුසාධිත අවකාශයක් වන්නේද යන්න සිතා බැලීමයි. නිවස තුළට ආරාධනා කළ යුතු, නොකළ යුතු අය තීරණය කර ඔවුන්ව යම් කාලයකට රඳවන ස්ථානයක් ලෙස මෙම ඉස්තෝප්පුව එදා මෙන් අදටත් භාවිත වෙනවා. නමුත් ඊටත් වඩා නිවැසියන්ට නිදහස්කාමීව පරිසරය හා සම්බන්ධ වෙමින් විවේකීව ගතකරන ස්ථානයක් වීමෙන් ඉස්තෝප්පුවක්, ආලින්දයක්, නැතිනම් වැරැන්ඩාවක් නිවසක තිබීම කෙතරම් යහපත්ද යන්න ඔබට වැටහෙනු ඇති.

 නූතන නිවසක් වූ මෙහි ආකෘතිය ආනත වහල ඇතිවන ලෙස නිර්මාණය වී ඇත. මෙම නිවසේ වඩාත් ආකර්ෂණීයම අවකාශය වන්නේ මෙම ආලින්දයයි. නෙළුම්, පන් ආදී ජලජ ශාක සහිත කුඩා පොකුණක්ද නිර්මාණය කරමින් හුදු ආලින්දයකින් එහාට ගිය අරුමැසි අවකාශයක් ඒ තුළ මවාගෙන තිබේ.

පැරණි වලව් සම්ප්‍රදායේ නිවසක තල (පඩි) කිහිපයකට අනුව  ඉස්තෝප්පු නිර්මාණය වූ බව දක්නට පුළුවන්. එය බොහෝවිට කුලවාදය පවත්වා ගැනීමට උපක්‍රමශීලීව භාවිත කර ඇති බවද පෙනේ.

කෘෂිකාර්මික ජීවිතය ගතකළ මිනිසුන්ගේ කටුමැටි ගෙවල්වල නිර්මාණය වූ පිළ නූතන වැරැන්ඩා සංකල්පයේ මූලාරම්භයයි.

 

බෙවිස් බාවාගේ නිවස වන brief gardensහි සාලයෙන් මිදුලට බසින අවකාශය වෙනස්ම ආකාරයක වැරැන්ඩාවක අසිරිය මවයි. 

සටහන සහ ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

 

 

0 comments

Leave a Reply

Post Comment