ඉදිරියට නෙරා එන උදරය මැදිවියේ දිවි ගෙවන කාටත් හිසරදයක් වී තිබුණද එය අඩු කර ගැනීමට පිළියම් සොයමින් ඒවා ක්‍රියාත්මක කරනුයේ අතළොස්සකි. ඇතැමුන් තමන්ගේ නෙරා ආ උදරය පරම්පරාවෙන් එන්නක් ලෙස පවසා හිත හදා ගන්නට උත්සහ දරයි. නමුත් සත්‍ය වශයෙන්ම ඉදිරියට නෙරන උදරය අනාගතයේ ඔබ මුහුණ දෙන සෞඛමය අවදානම පිළිබඳව ඉඟි කරන්නකි.
මේ උදරය නෙරා ඒම හිසරදයක් වූ සියලු දෙනා වෙනුවෙන් වයඹ සරසවියේ මානව පෝෂණවේදය පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රේණුක සිල්වා මහතා විසින් දක්වනු ලබන විග්‍රහයකි.
“උදරයේ මේද තැන්පත් වීම හෙවත් බඩ ඉදිරියට නෙරා ඒම බොහෝ අවස්ථාවල ප්‍රශ්නයක් බවට පත්වෙන්නේ මැදිවියට පැමිණියාට පසුවයි. අවුරුදු තිස් ගණන් වනවිට බොහෝ දෙනා මුහුණදෙන ගැටලුවක් බවට මෙය පත්වෙනවා. උදරයේ අවට තිබෙන පටකවල මේදය තැන්පත් වීම වේගයෙන් සිදුවීම මීට හේතුවයි.
එයට බලපානු ලබන්නේ අපේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් කැලරි ප්‍රමාණයක් ශරීරයට ආහාර ලෙස ගත්තත් එම කැලරි ප්‍රමාණය දහනය වීමට අවශ්‍ය වන මට්ටමට ක්‍රියාකාරී නොවීමයි. කුඩා කාලයේ හෝ තරුණ කාලයේ සිහින්ව සිටින අය, මැදිවියට පැමිණි විට මෙලෙස බඩ ඉදිරියට නෙරා ඒමට බලපාන හේතු ගණනාවක් පවතී. ඉන් ප්‍රධාන හේතුව වන්නේ අතිරික්ත කැලරි තැන්පත් වීම සිදුවන්නේ මේදය ලෙස පමණක්ම වීමයි.
බඩ වැඩිද? මනින්නේ කොහොමද?
පුද්ගලයෙකුගේ නාභිය වටා යන ලෙස ටේප් පටියක් තබා ඉණේ වට ප්‍රමාණය මනින විට කාන්තාවකගේ එම මිම්ම අඟල් 35ට අඩු විය යුතු අතර, පිරිමි පුද්ගලයෙකුගේ එම අගය අඟල් 40ට අඩු විය යුතුවේ. එම අගයන් ඉක්මවා යන මට්ටමක පවතී නම් ඔබගේ ශරීරයේ අනවශ්‍ය මේදය බහුලව තැන්පත්ව තිබේ.
ඇයි මේ බඩේම මේද තැන්පත් වෙන්නේ.?
ආසියාකරයේ ජීවත්වන මිනිසුන්, නැත්නම් දකුණු ආසියාතිකයන්ට නොතිබිය යුතු ජානයක් පිහිටා තිබීම මෙයට හේතුවේ. මේ ජානය මගින් ශරීරයට ලබාදෙන පණිවිඩ වන්නේ මේදය තැන්පත් කරන්න යන පණිවිඩයයි. එය එසේ නම් සමහරුන්ට එසේ නොවන්නේ ඇයි? මැදිවියට කලින් මෙය සිදු නොවන්නේ ඇයි? යන ප්‍රශ්න මෙය දැනගත් පසු ඇතැමෙක්ට ඇති වීමට පුළුවන්.
ඇතැම් ජාන වර්ග ක්‍රියාත්මක වීමට හෝ ක්‍රියාත්මක නොවී සිටීමට ඔවුන් ලබාගන්නා පෝෂණය හේතුවීම එයට පිළිතුර ලෙස ලබා දිය හැකියි. එයට අපි Switch On / Switch Off තත්ත්වය කියලා කියනවා. අපේ මේ ජානය වැඩ කරන්නේ බල්බයක ස්විච්ය ක්‍රියාත්මක කිරීම හා ක්‍රියා විරහිත කිරීම යන්නට සමාන ආකාරයකටයි. එවිට ඇතැම් කෑම වර්ග ගත්තම මෙය ඉබේම ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. ඒ වගේම ඇතැම් කෑම වර්ග හා දිවි පැවැතුම් නිසා මේ ජානය ක්‍රියා නොකර තිබෙන්නත් පුළුවන්.
අවුරුදු 30-35 වෙද්දී මේ තත්ත්වයට පුද්ගලයන් බහුලව ගොදුරු වන්නේ පුද්ගලයෙක් රැකියාවක නිරත වී තමන් ආසා කරන දේවල් කෑමට ගන්න පරිසරයක් මෙම කාලය තුළ දැකගත හැකි නිසයි. ඒ අනුව මිල මුදල් අතේ ගැවසෙන විට, තමන් ප්‍රිය කරන දේවල් කෑමට ගන්නා විට, අතිරික්ත කැලරි මේද ලෙස තැන්පත් වීම සිදු වෙනවා.
එමෙන්ම දකුණු ආසියාතිකයින්ගේ උදරයේ ඉදිරියෙන් තිබෙන (පොළවට 90%ක සෘජුකෝණාශ්‍රව) පවතින මස්පිඬුවේ ඇදෙනසුලු බව වැඩිය. අපි යම් කෙනෙකුට බඩ හකුළන්නට කී විට සිදුවන්නේ මෙම මාංශපේශිය සෘජු කර ගැනීමය. නමුත් මේ පේශියේ පවතින පණ නැති නැත්නම් කඩා හැලෙන ස්වභාවය නිසාම බඩ ඉදිරියට නෙරා එයි. මීට අමතරව දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ගේ උදරය ඉදිරියට නෙරීමට හේතු වන්නේද මෙම පේශිය ඇදීම හෝ සිසේරියන් සැත්කමකට මුහුණදීමේදී පේශියට සිදුවන හානිය යථා තත්ත්වයට පත්වීමට යම්කිසි කාලයක් වැය වන බැවිනි.
මේ අතිරික්ත මේදය අපේ බඩේ තැන්පත් වන බව අප පවසද්දී බොහෝ අය සිතනුයේ මෙම මේද කොටස් අපේ සමට යටින් තැන්පත් වන බවයි. නමුත් මෙම මේදය හෘදය අවට, පෙණහලු අවට, වකුගඩු අවට හා ප්‍රධාන ඉන්ද්‍රියන් අවට තැන්පත් වීම සිදුවේ. මෙය ඉතා භයානක තත්ත්වයකි. හෘදයාබාධ, දියවැඩියා ඇතුළු බෝ නොවන රෝග රැසකට ගොදුරු වීමේ අවදානම මෙයින් අධික වේ. බොහෝ දෙනා උදරය ඉදිරියට නෙරා ආවිට සිය පෙනුමට ඇතිවන හානිය පිළිබඳ පමණක් කනස්සල්ලක් දක්වයි. නමුත් අපි සැමවිටම සිතිය යුත්තේ අපේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වයට ඉන් ඇතිකරන අහිතකර බලපෑම පිළිබඳවයි. උදරය ඉදිරියට නෙරා ඒම අනාගතයේ ලෙඩ රෝගවලට ගොදුරු වීමේ නිමිත්තක් ලෙස සිතීමට අප සියලුදෙනා හුරු විය යුතුයි.
කළ යුත්තේ කුමක්ද?
උදරය ඉදිරිය නෙරා ඒමට හේතුව අප විසින් දැන් අවබෝධ කරගෙන සිටින බැවින් මේ හේතුව ඉවත් කිරීමට අප විසින් උත්සාහ ගත යුතුයි. අපිට අපේ ජානය ඉවත් කිරීමට හැකියාවක් නොමැති නිසා එම ජානය Switch Off කර තැබීමට උත්සාහ ගත යුතුයි. ඒ සඳහා හොඳ ජීවන රටාවක් අවශ්‍ය වෙනවා. එසේ නොමැති වුවහොත් අපේ ඉණ වටා රැඳෙන මේද ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා.
කැමැති හෝ අකමැති හෝ වේවා මේ සඳහා අප දවසට පැය බැගින් සතියේ දින හතම හෝ අවම වශයෙන් දින පහක්වත් ව්‍යායාමයේ යෙදිය යුතුය. මේ සඳහා වේගයෙන් ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම ආදියේ යෙදිය හැකියි. එසේ නොමැති නම් සුදුසුකම් සහිත පුහුණුකරුවෙකු සිටින ව්‍යායාම් මධ්‍යස්ථානයකට ගොස් ව්‍යායාමයේ යෙදිය යුතුය.
මීළඟට කැලරි බහුල සීනි, පිටි,ගැඹුරු තෙලේ බදින ලද ආහාර පරිභෝජනය හැකි තරම් අවම කළ යුතුය. මෙය හිතේ තබාගෙන ක්‍රියාත්මක කළ යුතුයි. බොහෝ දෙනා නූඩ්ල්ස් වර්ග, ගැඹුරු තෙලේ බැදීමෙන් පසු නිෂ්පාදනය කරන්නක් බව නොදැන ආහාරයට ගන්නවා. එම නිසා එයද මතකයේ තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මාසයකට කිලෝග්‍රෑමයකට ආසන්න ප්‍රමාණයක් අඩුකර ගැනීමට අවශ්‍ය ආහාර පාලනයක් හා ව්‍යායාම්වල යෙදීමක් මෙහිදී ඔබට අනුගමනය කළ හැකියි.
ශ්‍රී ලාංකිකයන් සියලුම දෙනා බත් කන ප්‍රමාණයන්ද වැඩිය. එබැවින් දැන් කන ප්‍රමාණයන්ගෙන් හරි අඩක් අඩු කිරීමට වග බලාගත යුතුය. එසේ නම් එම අඩු කරන බත් ප්‍රමාණය වෙනුවට එළවළු හා පළා වර්ග වැඩි පුර ආහාරයට ගත යුතුය. එසේම මස්, මාළු හා බිත්තර වැනි ප්‍රෝටීන් බහුල ආහාර කෑම වේලට එකතු කරගත යුතුය. එසේම නිරෝගී භාවය පිළිබඳ වඩාත් සැලකිලිමත් වී උදෑසන ආහාරය සඳහා මුං ඇට, කවුපි, කඩල වැනි ඇට වර්ග ආහාරයට ගැනීමට හුරු විය යුතුය.
එසේ නැත්නම් කුඩා කල සිට ක්‍රීඩාවේ යෙදෙන පරිසරයකට දරුවන් හුරු කිරීමෙන් අනාගතයේ මෙම තත්ත්වයට ගොදුරුවන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කරගත හැකිය.
එසේම විවිධ ආකාරයේ ආහාර වට්ටෝරු බඩ අඩුකර ගැනීම සඳහා ඉදිරිපත් කරනු දැකගත හැකියි. නමුත් මේවායෙන් කෙටිකාලීන ප්‍ර‘යෝජන ලැබුණත් දීර්ඝකාලීනව ඒවා අනුගමනය කිරීමෙන් පෝෂණ ගැටලු රැසක් ඇතිවිය හැකියි. එවැනි ජනප්‍රිය ආහාර රටාවක් ලෙස %කීටෝ ඩයට්^ (keto diet) හඳුන්වා දිය හැකියි. මෙයින් කාබෝහයිඩ්‍රේට් සහිත ආහාර බින්දුවටම අඩු කර, ප්‍රෝටීන් වැඩි ආහාර එකතු කිරීම සිදුකරයි. මෙම ආහාර රටාව මාසයක් හෝ ඉතා කෙටි කාලයක් අනුගමනය කළ හැකි වුණත් දීර්ඝ කාලීනව සිදුකළ නොහැකිය.
ප්‍රධාන ආහාර වේලට එකතු කරගන්න ආහාර ප්‍රමාණය අඩු කර, අතරමැදි කෙටි ආහාර වේල් ලබාගත හැකිය. එම අතරමැදි ආහාර වේල් සඳහා රට කජු අත්ලක ප්‍රමාණයක්, පලතුරු හෝ ජලය වැඩි පිපිඥ්ඤා වැනි අමුවෙන් ආහාරයට ගත හැකි එළවළු වර්ගයක් ආහාරයට ගත හැකිය. එසේම බිස්කට් වර්ග ආහාරයට ගැනීමෙන් වැළකෙන්නට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා හුරු වීම ඉතා වටී. බිස්කට් එකක් වෙනුවට කෙසෙල් ගෙඩියක් ආහාරයට ගැනීමට හුරුවීම වැදගත් වේ. එසේම බඩ අඩු කරගැනීමට අවශ්‍ය නම් ක්ෂණික ප්‍රතිඵල ලබාදෙන බව පවසන ආහාර වට්ටෝරු අනුගමනය කිරීම හෝ ව්‍යායාම් අනුගමනය කිරීම නුවණට හුරු නොවේ.
නදීශානි පතිරණ
Leave a Reply