ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු වන සෝමවීර සේනානායකයන් පසුගියදා අප අතරින් සමුගත්තේය. 1972 වසරේදී ‘මවකගේ ගීතය’ වෙනුවෙන්ද, 1983 වසරේදී ‘මැණික් නදිය ගලා බසී’ නවකතාව වෙනුවෙන්ද, 1977 වසරේදී ‘යශෝරාවය’ නවකතාව වෙනුවෙන්ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලද සාහිත්‍යවේදියෙකු වන හෙතෙම, හරවත්මාලා ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයකටද තිරනාටක රචකයෙකු ලෙස ප්‍රබල බලපෑමක් එල්ල කළ නිර්මාණවේදියෙකි. එනම් ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයෙන් හරවත් ටෙලිනාට්‍ය තිර රචනා කලාවකට පිවිසි ඔහු, එතැන් පටන් ‘පළිඟු මැණිකේ’, ‘රන් කහවණු’, ‘මිහිකතගේ දරුවෝ’, ‘අසල්වැසියෝ’, ‘මවකගේ ගීතය’, ‘මැණිකේ නදිය ගලා බසී’, ‘කන්දෙ ගෙදර’, ‘චරිත තුනක්’, ‘ගිරය’, ‘දූ දරුවෝ (කොටස් 230)’, ‘සඳළු තලය’, ‘අපේ ඇත්තෝ’, ‘සිටුවරයෝ’, ‘නෑදෑයෝ’, ‘සත්පුර වැසියෝ’, ‘සෙනහෙවන්තයෝ’, ‘මෙහෙව් රටේ’, ‘පාරමිතා’ ආදී ටෙලිනාට්‍ය නිර්මාණ රැසක් දායාද කිරීමට මුල් වූ ලේඛකයෙකි. එසේම ඔහු නිර්මාණය කළ ඒකාංගික ටෙලිනාට්‍ය සංඛ්‍යාව 220කට අධික වන අතර, ඔහු දැරූ මතය පිළිබඳ මේ සටහන තැබෙන්නේ එබැවිනි. යළි මතක් කිරීමකි.
‘නාට්‍යකරුවෙකු වූ සිය සීයාගේ ආභාසය නිසා කුඩා කල සිටම කියවීමට හුරු පුරුදු වූ හෙතෙම, ඒ නිසාම වයස අවුරුදු දහය වන විට පන්සිය පනස් ජාතක පොතම කියවා අවසන් කිරීමට තරම් සමත්කම් දැක්වීය. එය ලේඛනයට උත්තේජනයක් වන්නේ පාසලේ සිටි සුවිශේෂී ගුරුවරුන් දෙපළක් නිසාවෙනි.
ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට සමත් වූ පසු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය හිමි, ඒ.වී. සුරවීර, නන්දසේන රත්නපාල, මැන්දිස් රෝහණධීර වැනි මහාචාර්යවරුන්ගේ ආභාසයද ලද නිසා තව තවත් දැනුමින් සන්නද්ධ වූ සේනානායකයන්, මාර්ටින් වික්‍රමසිංහයන් හා ජී.බී. සේනානායකයන් ළඟින් ඇසුරු කළ, කලක් ‘නවයුගය’ සඟරාවේද කටයුතු කළ, ‘සිළුමිණ’ පුවත්පතේ උපකර්තෘවරයෙකුද වී සිටි මාධ්‍යවේදියෙකි.
2002 ‘සුමති ටෙලි සම්මාන’ උළෙලේදී හොඳම ටෙලිනාට්‍ය රචනය වෙනුවෙන් ‘උතුරු කුරු සටන’ සඳහා සම්මාන ලැබූ එතුමා, සිනමාවටද නෑකම් කියන්නෙකි. ඒ ‘ආරාධනා’, ‘සත්වෙනි දවස’, ‘මිහිඳුම් සිහින’, ‘වෑකන්දේ වලව්ව’ ‘අම්මාවරුනේ’ ආදී සිනමා කෘතිහි තිර රචකයා ලෙසිනි.
කෙටිකතා රචකයෙකු ලෙසද ‘සුද්දා පරාදයි’, ‘භවතු සබ්බ මංගලම්’, ‘වන්දනා ගමන’ වශයෙන් කෙටිකතා සංග්‍රහ තුනක් පළකර ඇති හෙතෙම, ‘ලස්සන වස්තුව’, ‘දඩ මං ඔස්සේ’, ‘ගඟ අද්දර කැලේ’, ‘දියෙන් උපන් කුමාරයා’ වශයෙන් ළමා පොත් රචකයෙකු ලෙසද නමක් දිනාගෙන ඇත. විචාරකයෙකු ලෙසද ‘නිර්මාණශීලී ලේඛනය’, ‘කෙටි කතා විචාරය සහ නිර්මාණය’, ‘කෙටි කතා කලාව’, ‘රූපවාහිනී රචනා කලාව’, ‘ජී.එච්. පෙරේරා නිර්මාණ විමර්ශනය’ ආදී විචාර කෘති රැසක් දායාද කළේය.
2002 වසරේදී අස්ගිරි මහා විහාරයෙන් ‘ධරම් සාහිත්‍ය කලා චූඩාමාණී’ ගෞරව නාම සම්මුතිය නමින්ද, 2000 වසරේදී ‘සබරගමු මහා කලාකරු’ (ඉඹුලාව ශ්‍රි සේන මහා විදුහල),1998 වසරේදී නිර්මාණ පද්ම සම්මානය - කොට්ටාව නිර්මාණ සහ සංස්කෘතික සංවිධානයෙන්ද, 2000 වසරේදී පිළියන්දල ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයෙන්ද, 1998 වසරේදී ‘National Temperance Award-Best Media Award’ද, 1999 වසරේදී විද්‍යෝදය විභූෂණ - විදුදය/ජ’පුර සහෘද සංසදයෙන්ද උපහාර ලද ඔහු, 1994දී ජාතික අමද්‍යප සම්මානයද, මත්ද්‍රව්‍ය නිවාරණ ස්වර්ණ පද්ම සම්මානයෙන්ද පිදුම් ලැබූවෙකි.’
වත්මන් නවකතාවේ ඛේදවාචකය
අද සෑම අවුරුද්දකම නවකතා සියයකට වඩා නිකුත් වෙනවා. විවිධත්වයකට පත්වෙලා තමයි. ඒත් උසස් නවකතා වගේම බටහිර අනුකරණත් දකින්න තියෙන බවයි කිව යුත්තේ. ඒ නිසා නවකතාවේ ප්‍රමාණාත්මකව වැඩිවීමක් සිදු වුණාට ගුණාත්මකව වැඩි වීමක් නොමැති බවයි අපට පේන්නේ. මොකද වර්තමානයේ පවතින්නේ මුදල් පසුපස හඹායන සමාජයක්. මේ නිසා මේ නවකතාව හොඳය, මේ නවකතාව හොඳ නැතිය කියලා ජනතාව අතර පොදු මතයක් ගොඩනගන්න අමාරුයි. ඒත් සම්මාන බලාපොරොත්තුවෙන් නවකතා ලියැවෙනවා නම්, ඒක එච්චර සුබ ලකුණක් නෙමෙයි. මොකද ලේඛකයාගේ අරමුණුවලට සම්මාන අදාළ වෙන්නේ නෑ. ඒත් සම්මාන නවකතාකරුවාගේ ඉදිරියට බලපානවා තමයි. පොත ගැන එයින් ප්‍රචාරයකුත් ලැබෙනවා. හැබයි හැටේ දශකයේදී නම් මෙම සම්මාන පිළිබඳ විග්‍රහයක් රැගත්, නවකතා පිළිබඳ සඟරා පවා පළ වුණා. එයින් පාඨකයා හොඳ නිර්මාණ පිළිබඳ දැනුවත් වී සිටියා. ඒත් අද එහෙම තත්ත්වයක් දකින්න නැහැ. මේ නිසා සාහිත්‍යයේ පවා තියෙන්නේ සංකීර්ණ ස්වභාවයක්. අනික නවකතාකරුවාට තිබිය යුත්තේ තමන්ගේම ලේඛන ශෛලියක්. ඒ තුළ අපූරු කතාවස්තුවක් තිබිය යුතුයි. එය අපූර්වත්වයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කළ යුතුයි. ඒත් අද පවතින්නේ මහපොළොව ස්පර්ෂ නොවෙන නවකතා. හැබැයි හැම එකක්ම එහෙමයි කියල මම කියන්නේ නැහැ. ඒ තුළ දේශීයත්වය, අපේකම ඒවායේ දකින්න නැහැ. ඒත් අන්තර්ජාලයට ගියා නම් ඕනතරම් කතාවස්තු අපට තිබෙනවා. නවකතා කියවන්නත් තිබෙනවා. හැබැයි ඒවම අපේ නම්වලින් ලිව්වට ඒවා අපේ නවකතා වෙන්නේ නැහැ. මේ නිසයි මං අද නවකතාවේ යම් නොගැළපීමක් දකින්න ලැබෙන බව කිව්වේ.*
පවතින සමාජයේ ඛේදවාචකය
&අද තියෙන්නේ අධික ලෙස මුදල් පසුපස හඹායන සමාජයක්. නිතර දෙවේලේ බෞද්ධ සාහිත්‍ය සහ බෞද්ධ ගීත ඇසීමට රසිකයාට කාලයක් නැහැ. ඒත් ඔවුන්ගේ හදගැස්ම රැඳී තිබෙන්නේ ජන සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය, දේශීය සංස්කෘතිය, කවිය, නවකතා සහ කැටයම් ආදිය සමග. ඒ නිසා ලෝකය සමග ගනුදෙනු කිරීමට නම් අපේ කියලා අනන්‍යතාවකින් යුතු දේවල් තිබිය යුතුයි. ඒ නිසයි දේශීයත්වය, දේශීය චින්තනය යනාදිය අපට අවශ්‍ය වෙන්නේ. එවිටයි ලෝකය ජයගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි විශ්ව ගම්මානයක ජීවත් වන බව ඇත්ත. අද අපි ගනුදෙනු කරන්නේ ලෝකය සමග. ඒත් එහෙම කියලා මෙහේ ඉඳන් විශ්ව ගම්මානයක් විය යුතු නැහැ. විශ්ව ගම්මානය කියලා අපේ බෙලිමල් අමතක කරලා විදෙස් සමාගම්වල බීම බොන්න ඕන නැහැ. ඒ හින්දා ලෝකයට පෙර රටට ආදරය කළ යුතුයි. ඒත් තවමත් වර්තමාන සමාජයට යහපත් ආකල්ප මොනවාද, ඒවා ළං කර ගන්නේ කොහොමද කියන එක ගැන ඒතරම් අවබෝධයක් නැහැ.*
ටෙලිනාට්‍ය කලාවේ ඇදවැටීම
“අද වන විට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රය සෑම අංශයකින්ම කඩාවැටිලා. ඒත් ටෙලිනාට්‍ය ආරම්භ වූ දශකයේදී නම් එය අනෙක් රටවලට සාපේක්‍ෂව එක්තරා ආකාරයක උසස් මට්ටමක පැවතුණා. විශේෂයෙන් ඒ කාලයේ ටෙලිනාට්‍ය නිර්මාණය කිරීමේදී දේශීයත්වයට මුල්තැනක් දුන්නා. ඒ වගේම ඒ දවස්වල සිටි රසිකයාට ප්‍රඥාසම්පන්න රසවින්දනයක් තිබුණා. විශේෂයෙන් ඒ කාලයේ රසවින්දනය පිළිබඳ යම් දැනුවත්භාවයක් තිබුණා. ඒත් අද එවැනි තත්ත්වයක් දකින්න නැහැ. අද ටෙලිනාට්‍ය ප්‍රමාණය සංඛ්‍යාත්මකව වැඩි වුණත්, රූපවාහිනී නාළිකා ප්‍රමාණය සංඛ්‍යාත්මව වැඩි වුණත් එයින් ඉදිරිපත් කරන දේවල් හරිම බොලඳයි. මේක බොලඳ තරගයක්. කිසිම ගුණාත්මක බවක් නැහැ. මේ නිසා කලාතුරකින් තමයි හොඳ ටෙලිනාට්‍යයක් බිහිවෙන්නේ. ඒ නිසා මෙවැනි පසුබිමක් තුළ හොඳ කලාවක් හෝ හොඳ රසවින්දනයක් ඇති රසිකයන් පිරිසක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද අද ඉන්නේ නරඹලා රසවිඳිනවා වෙනුවට ඔහේ බලන් ඉන්න රසික පිරිසක්. අනික අද පවතින මෙගා යැයි කියා ගන්නා ටෙලිනාට්‍ය බොහෝමයක් වටිනාකමින් තොරයි. මේවා නිකම් වැල්නාට්‍ය පමණයි.”
ඒත් ‘නෑදෑයෝ’, ‘දූ දරුවෝ’, ‘සත්පුර වැසියෝ’ වැනි මාලා ටෙලිනාට්‍යවලට තිර රචනා සම්පාදනය කළේ ඔබයි. ඔබ මෙවැනි ටෙලිනාට්‍ය නිර්මාණය කළ නිසා නේද අද මෙවැනි තත්ත්වයක් උදාවෙලා තිබෙන්නේ?
මම ඒ කාලයේ රචනා කළ ටෙලිනාට්‍ය විකාශය වුණේ සතියකට දවසක් පමණයි. අනික ඒවා හරසුන් ටෙලිනාට්‍ය විදිහට ප්‍රේක්‍ෂකයන් වැලඳ ගත්තේ නැහැ. ඒ රචනා ලියන සමයේ ඉතා විශාල කොටස්වලින් සැදුම්ලත් ටෙලිනාට්‍ය විකාශය වීම ලොවෙහි දකින්නට ලැබීම නව ප්‍රවණාතාවක් වෙලයි තිබුණේ. මම කළේ ඒ ටෙලිනාට්‍ය වර්ගය ලංකාවට හඳුන්වා දීම පමණයි. මම එදා හිතුවේ නැහැ මේක වසංගතයක් වෙයි කියලා. එහෙම හිතුණා නම් එවැනි ටෙලිනාට්‍ය වර්ගයක් හඳුන්වා දෙන්නෙවත් නැහැ.
බුදුදහම ඇසුරු කරගත් ටෙලි නිර්මාණවලට තරුණයන්ගේ පවතින උනන්දුවේ හීනතාව හෙතෙම දුටුවේ මෙසේය.
“අපට එදා වගේ පන්සලට ගිහින් බණ මඩුවේ බෞද්ධ නාට්‍ය බලන තරුණ පිරිසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒත් තරුණ පිරිස් රූපවාහිනියේ විකාශය වන බෞද්ධ ටෙලිනාට්‍ය බලනවා. 1982 වසරේ ‘වෙසක් පහන’ ඒකාංගික ටෙලිනාට්‍යයෙන් තමයි මේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ. ‘පළිඟු මැණිකේ’ ටෙලිනාට්‍යයත් බෞද්ධ සංකල්ප ආභාසයෙන් නිර්මාණය වූවක්. එවැනි බෞද්ධ ටෙලිනාට්‍ය සම්ප්‍රදායක් ඇති කිරීමේ අභිලාෂයෙන් තමයි මම ඒ කාලයේ ‘සංසාරේ පිය සටහන්’, ‘සිත නිවන කතා’ වැනි ටෙලිනාට්‍යවලට කතා 81ක්ම ලිව්වේ. ඒ වගේම කොටස් සියයක් විකාශය වූ ‘පාරමිතා’ ටෙලිනාට්‍යයට තිර රචනා සැපයුවෙත් ඒ හින්දයි. ඒ වගේම කාන්තාවන් සහ තෙරණින් වහන්සේලා වෙනුවෙන් සෑම පොහොය දවසකම විකාශය වන ‘තෙරණි ගීතය’ ටෙලිනාට්‍ය මාලාව නිර්මාණය කළෙත් ඒ හින්දා. මේවාට තරුණ පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. ඒත් එවැනි නිර්මාණ අද හුඟක් අඩුයි. අනික අපේ ජන සම්ප්‍රදායේ යා යුතු ඉසව් තව බොහෝමයක් තිබෙනවා. හැබැයි මේවාට රූපවාහිනී නාළිකා එතරම් විශාල උනන්දුවක් දක්වන්නේ නැහැ. එයයි ගැටලුව.”
Leave a Reply