අප සිංහල සිනමාවට දේශීයත්වය එක්කළ ගාල්ලේ පී.කේ.ඩී. සෙනෙවිරත්න මහතාගෙන් පසුව එහි දේශීය ස්වරූපය යළි ඉස්මතුව පැමිණියේ සෝමවීර සේනානායකයන්ගේ සිනමා තිර නාටකයන් තුළින් බව වරක් සිනමාවේදී මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ප්‍රකාශ කර තිබිණි.


එහිදී පී.කේ.ඩී. සෙනෙවිරත්න රචනා කළ සිනමාපට පහෙන් %ප්‍රියංගා^ සහ %රන්සලු^ යන සිනමාපට දෙක පමණක් බටහිර සමාජයේ චරිත, සිදුවීම් පෙළගස්වා තිබිණි. අනෙක් සිනමා කතා ත්‍රිත්වයම (%කුරුලු බැද්ද^, %සිකුරු තරුව^, %පරසතුමල්^) ගැමිකතා බවට පත්ව තිබිණි. සෝමවීර සේනානායක ඉන් ඔබ්බට ගොස් අප සිනමාකරුවන් වස්තු බීජයන් බවට පත්කර නොගන්නා සමාජයන් වෙතද යොමුව තිබිණි. උදාහරණයක් ලෙස අහිකුණ්ඨක සාමාජය වටා ගෙතුණු %සත්වෙනි දවස^ සිනමාපටය හැඳින්විය හැකිය. එහිදී ඔහු හුදෙක් මතුපිටින් පමණක් එම අහිකුණ්ඨික චරිත ස්පර්ශ නොකර ඔවුන්ගේ යොවුන් පරපුර වේගයෙන් වෙනස් වන සිංහල සමාජය හා බද්ධ වීමට ගන්නා උත්සාහය පිළිබිඹු කර තිබිණි. ඒ නිසාම එම සිනමාපටය වාණිජ සාර්ථකත්වයක් සමග හොඳ සිනමා නිර්මාණයක් ලෙසද ඇගයීමට ලක් විය.
මෙයට හේතු වූයේ සෝමවීර සේනානායක නම් තිරකතා රචකයාට ඉහළින් සෝමවීර නම් නවකතාකරු නැගී සිටි හෙයිනි. නවකතාකරුවෙකු සේම ඔහු %සොමී^ යන අන්වර්ථ නාමයෙන් ග්‍රන්ථ විචාරකයෙකු ලෙසද ග්‍රන්ථ පරිශීලනය කර තිබිණි. එහිදී ඔහු සිය පාඨකයාගේ රුචි අරුචිකම් සේම ඔවුන්ගේ රසිකත්වයද හඳුනා ගෙන තිබිණි. දෙවරක්ම රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ නවකතාකරුවෙකු ලෙස චරිතයන් අතර ගැටීම සිදු විය යුතු ආකාරය පිළිබඳවද ඔහු අවබෝධ කර තිබිණි. මෙම නාටකමය ගුණය ඔහුගේ නිර්මාණයන් තුළ රැඳී තිබුණෙන් එම චරිත සිනමා සහ ටෙලිනාට්‍ය ප්‍රේක්‍ෂක සිත් තදින් පැහැර ගැනීමට සමත් විය.

එසේම ඔහු නිර්මාණයකට අවශ්‍ය වන චරිත පිළිබඳ අධ්‍යයනය කිරීමේදී එම චරිතයන්හි ප්‍රබලතා මෙන්ම දුබලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළේ, එහි මතුපිටින් පෙනෙන චරිත පමණක් ස්පර්ශ කිරීමෙන් නොව එහි අභ්‍යන්තරයද පිරික්සා බැලීමෙනි. සෝමවීර සේනානායක %  මැණික් නදිය ගලා බසී^ කෘතිය සඳහා අත්දැකීම් ලැබූ ඇලහැර ප්‍රදේශයේ මැණික් මිලදී ගැනීමේ යෙදෙන ව්‍යාපාරිකයෙකු සමග යෙදුණු සංචාරයට එක්වීමට ලියුම්කරුටද අවස්ථාව උදා විය. එහිදී මැණික් ව්‍යාපාරය සමග බද්ධව දිවි ගෙවන චරිත දෙස දැඩි අවධානයකින් යොමුව සිටියේ, මතුපිට පමණක් ස්පර්ශ නොකරමිනි. යම් චරිතයක් යම් ඇබ්බැහි වීමකට යොමු වූයේ ඊට බලපෑ හේතු කාරණාද ඔහු ගැඹුරින් සොයා බැලීමට පෙළඹිණි.

අතිශය ජනප්‍රියත්වයක් ලැබූ විජය ධර්ම ශ්‍රීගේ %ආරාධනා^ චිත්‍රපට තිරනාටකයේ ප්‍රධාන චරිත එහි තිබූ ආකාරයට වඩා වියපත් අයුරින් ඔහු සිය තිරනාටකයේ සඳහන් කර තිබිණි. ඒ බොහෝ දෙනාට තම තාරුණ්‍යයේදී සිදු කෙරෙන වැරදි අවබෝධ වන්නේ වියපත් වූ පසුව යන අදහසිනි. එහෙත් සිනමාපටයේ අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය වූයේ, නළුනිළියන්ගේ රූපකායෙන් ලැබිය යුතු ජනප්‍රියත්වය නොකෙලෙසා එම සිනමාපටයට ගොනුකර ගැනීමටය. එහිදී සෝමවීර අධ්‍යක්‍ෂවරයාගේ අභිප්‍රායන්ද සාක්‍ෂාත් කර ගනිමින් නිර්මාණයේ නිර්මාණාත්මක බව සුරැකීම සඳහා සිදු කළේ එහි ප්‍රධාන චරිතද්වය අතරට පැමිණෙන දරුවා ප්‍රේක්‍ෂකාගාරයේ දෑස් අගට කඳුළු බිඳුවක් එක් වන ආකාරයට ලිව්කේමියාව රෝගය වැලඳී මිය යන ආකාරයට තිරනාටකය ගොඩනැගීමය. මෙම ශෛලිය සෝමවීර සේනානායක ඉතා උපරිම අයුරින් භාවිත කළ නිසාම ඔහු සිනමාවේ මෙන්ම ටෙලිනාට්‍යයෙහිද ගොඩනැගූ චරිත මස්, ලේ, නහර සහිත චරිත බවට පත් විය.

එහිදී තිස්ස අබේසේකර නිර්මාණය කළ සිනමා ශිල්පීය තිරනාටක සාහිත්‍යමය තිරනාටක බවට පත් වන ආකාරයක්ද දක්නට ලැබිණි. සෝමවීරගේ තිරනාටකයක් ඇසුරින් නිර්මාණය කළ පොඩි රාළහාමි සිනමාපටයේ අවසන් දර්ශන කිහිපයක් එහි නිෂ්පාදන අංශයේ අභ්‍යන්තර අරගලයක් හේතුවෙන් අධ්‍යක්‍ෂණය කළේ, එහි අධ්‍යක්‍ෂ සිරි කුලරත්න නොව තිස්ස අබේසේකර විසිනි. තිස්ස අබේසේකරගේ තිරනාටක බොහෝ විට ඔහු නිර්මාණ ශිල්පී අධ්‍යක්‍ෂවරයාට සහ කාර්මික ශිල්පීන්ට ලියා දෙන සටහනක් බවට පත්ව තිබිණි. එහෙත් සෝමවීර සේනානායක මහතාගේ තිරනාටකයන් එහි රඟපාන රංගන ශිල්පීන්ට එම චරිත අභ්‍යන්තරය පිළිබඳ අධ්‍යයනයක් ලැබිය හැකි තිරනාටකයක් බවට පත්ව තිබිණි.

ඒ නිසාම සෝමවීරගේ තිරනාටක ශෛලිය එදා පිටුව දෙකට බෙදා එක් පසෙක දර්ශන විස්තරය සහ අනෙක් පස දෙබස් සටහන් කර තිබූ ආකාරය වෙනස් කර එය කතා පිටපතක් ලෙස අධ්‍යක්‍ෂවරයා අතට පත් වන පිටපතක් බවට පත්විය. අද බොහෝ දෙනා භාවිත කරනුයේ සෝමවීර ශෛලියේ තිරනාටකයන්ය.

ඒ නිසාම සෝමවීර සේනානායක ලකුණ සිනමා සහ ටෙලිනාට්‍ය කථාව අරබයා දිගූ කලක් පවතිනු ඇතැයි අපට බලාපොරොත්තු තැබිය හැකිය. එහෙත් සෝමවීර සේනානායක තිරනාටක ශෛලිය අනුගමනය කළද, ඔහුගේ තිරනාටකයට ගැබ්ව තිබූ උතුම් මානව ගුණාංග මෙරට ටෙලිනාට්‍ය නිර්මාපකයන් ග්‍රහණය කර ගැනීමට අසමත් වීම අපේ ඇතැම් ටෙලිනාටයන්හි අසාර්ථකත්වයට බලපා ඇතැයි විශ්වාස කළ හැකිය. සෝමවීර සේනානායක කිසි විටෙක සිය සංස්කෘතිය, හැදියාව, මානව දයාව සහ මානව ගුණාංග අමතක කර සිය නිර්මාණ ඉදිරිපත් නොකළේය.

ඔහුට විද්වත් සමාජයෙන් චෝදනාවක් එල්ල වූයේ මධ්‍යම පන්තික සමාජයේ ගැටලු ඔහු සිය නිර්මාණයන්ට ගොනුකර එය අලෙවි කිරීමක නියැළෙන බවටය. ඔහු කළේ සිත තුළ සඟවා ගෙන ඇතැම් මධ්‍යම පාන්තිකයන් කතාබහ කරන පවුලේ ප්‍රශ්න පොදු ප්‍රශ්න බවට පත්කර රූපවාහිනිය තුළින් සාකච්ඡා කිරීමය. මධ්‍යම පන්තිය නම්බුකාර යාචකයෙකු බවට පත්ව තිබෙන ආකාරය ටෙලිනාට්‍යයක තේමාවක් සේ ගෙන සාකච්ඡා කිරීමය. එහිදී ඔහු සිය නිර්මාණවලින් සාකචිඡා කළේ ග්‍රහ තාරකා තුළ තිබෙන ගැටලු නොව අපටම අනන්‍ය වූ අපේ ප්‍රශ්න පිළිබඳවය. එහිදී ඔහු සිදු කළේ අපගේ වැරදි පුරුදු සහ ඇබ්බැහි වීම්වලට අප ලවාම සිනාසීමය. එය කෙතරම් නිර්මාණශීලී ක්‍රියාවක් වන්නේද?

එදා නිහඬ සිනමාව පැවැති යුගයේ චාලි චැප්ලින් සිදු කළේද එයයි. එදා එම සිනමාවට සිනාසුණු බටහිර ඇතැමුන් පසු කලෙක චාලි චැප්ලින් මිය යෑමට පෙර එය අවබෝධ කර ගැනීමට සමත් වූයෙන් චාලි චැප්ලින්ට සිනමාවේ පෙරළිකාරයෙකු ලෙස මියයෑමට හැකි විය. ඒ ආකාරයෙන් නිදහස් අධ්‍යාපනයෙන් ලද බීජයක් ලෙස සරසවි බිමින් පිටතට පැමිණ මාධ්‍යවේදියෙකු ලෙසින්, සමාජය හැඳිනගෙන නවකතාකරුවෙකු ලෙස සහ අවසානයේ තිරනාටක රචකයෙකු ලෙස ඔහු පෙරළා සිය සමාජයට කළ සේවාව සහ මෙහෙවර මෙරට ජනතාව නිවැරදිව අවබෝධ කර ගතහොත් සෝමවීර සේනානායක සිනමාවේ කෙසේ වෙතත් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ දැවැත්ත පහන්ටැඹක් බවට පත්වනු නොඅනුමානය. 

ගාමිණී ගුණවර්ධන

0 comments

Leave a Reply

Post Comment