කාර්යාල වේලාවේ වෙනත් වැඩවල යෙදීම විශේෂයෙන් රජයේ රැකියාවල නිරත වන අයට එල්ලවන ප්‍රධාන චෝදනාවකි. කාර්යාල වේලාව තුළ බහුලව සිදුකරන අමතර කටයුතු ලෙස නවකතා කියැවීම, මැහුම් ගෙතුම්, සාප්පු සවාරි යෑම, තැන තැන අලාප සල්ලාපයේ යෙදීම, මේක්අප් කිරීම, අනවශ්‍ය දුරකථන සංවාද ආදිය හඳුනාගත හැකිය.

තාක්ෂණයේ දියුණුවත් සමගම මෙවැනි අනවශ්‍ය කටයුතුවල යෙදෙන සේවිකාවන් හා නිලධාරිනියන් පිළිබඳ වීඩියෝ දර්ශන හා ඡායාරූප සමාජ මාධ්‍යවලට මුදාහරිමින් ඔවුන්ව අවමානයට ලක්කරන අයුරු දැකගත හැකිවිය. තමන් සේවය කරන ස්ථානයේ නමට මෙන්ම තමන්ගේ නිලයට කැළලක් එක්කරන එවන් කටයුතුවල ඔබත් යෙදෙනවාද? 

තමන්ගේ හෘද සාක්ෂිය අවදි කරගනිමින් කාන්තා අප අතින් දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව සිදුවන එවැනි කටයුතු මගහරවා ගැනීමට ඔවදන් අපට එකතු කරනු ලැබූයේ  පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ විධායක අධ්‍යක්ෂ හා නිර්මාතෘ / බාහිර කථිකාචාරිනී ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙල මහත්මිය විසිනි.

''සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ, මහා පරිමාණ මෙන්ම රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වේවා ඕනෑම ආයතනයක සේවකයන් අතින් තමන්ගේ රාජකාරියෙන් බැහැරව දේවල් සිදුවෙනවා කියන දේ අනිවාර්යෙන් නොවිය යුතුයි. ඕනෑම ආයතනයක සේවක සේවිකාවකට තමන්ගේ  කාර්යභාරය හා රාජකාරිය පිළිබඳ අනිවාර්ය වගකීමක් තිබෙනවා. රාජකාරිය අකුරට ඉටු නොකරන පුද්ගලයා තමන් ලබන වැටුපට ණයකාරයෙක් වෙනවා මිස, තමන් ගන්නා වැටුප පිළිබඳ මානසික තෘප්තියක් හෝ ලැබීමට තිබෙන හැකියාව අහිමි කරගනු ලබනවා. යම් පුද්ගලයෙක් යම් ආයතනයක සේවකයෙක් ලෙස හෝ නිලධාරියෙක් ලෙස කටයුතු කරන්නේ වීදුරු ගෙයක සිට කටයුතු කරන්නාක් මෙන්. තමන් සිටින මේ වීදුරු ගෙයට ගල් නොවදින ලෙස වැඩ කරන්නට අපි කවුරුත් හැකියාවන් ප්‍රගුණ කරගත යුතුයි.
එසේම තමන් වැරදි කරන අතරවාරයේදී අනෙක් අයගේ වැරදි සොයන්නට උත්සාහ කිරීමෙන් සිදුවනුයේද තමන්ගේ වැරදි ඉලිප්පී පෙන්නුම් වීම බවද අප මෙහිදී වටහා ගත යුතුයි. 

රාජකාරිය යනු දේවකාරිය හා සමාන වන බවට අපේ පැරණි මතයක් තිබුණා. රාජකාරිය ජීවිතයම කරගන්න අවශ්‍ය බව මෙතනදී කියැවෙන්නේ නැහැ. නමුත් අපි වටහා ගත යුතු දේ තමයි අපි කරන රැකියාව හෝ රාජකාරිය තමයි අපිව ජීවත් කරවන්නේ හා අපෙන් යැපෙන්නන් සංවර්ධනය කරගන්නට ලැබෙන විශේෂ වරප්‍රසාදයක් වන්නේ කියන දෙය. ඒ නිසා අපි ගන්න වැටුපට උපරිමයෙන් සාධාරණයක් කළොත් තමයි අපි යන ගමන ඔළුව කෙළින් කරගෙන යා හැකි වන්නේ.

යම් ඉහළ නිල දරන අයට ඇතැම් අවස්ථාවල තමන්ගේ රැකියාවට සේවාවන්ට පරිබාහිර කටයුතුවල යෙදෙන්නම සිදුවෙනවා. ඒ සඳහාත් යොදාගත යුතු වන්නේ තමන්ට ලැබෙන අමතර කාලයයි. ඒ හැර තමන්ගේ සේවා කාලය ඒවාට යොදාගැනීම ප්‍රතිපත්තීන්ට පටහැනි කාර්යයන් බවට පත්වෙනවා. අවසානයේ කාට බොරු කළත් තමන්ගේ හෘද සාක්ෂියට බොරු කරන්න බැරි නිසා තමන් උපයන මුදලට අවංක විය යුතුයි. 

තමන්ගේ රාජකාරි කටයුතු අතරතුර අතරමැද විවේකයන් ලැබෙන අවස්ථාවකදී තමන්ගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා පොතක්පතක් කියවන එක අනුමත කළ හැකි කටයුත්තක්. ඕපදූප කතා කරනවාට වඩා එය ඉතා සුදුසුයි. ඒ වගේම පොතපත පමණක් නොවෙයි ඇතැම් අවස්ථාවල තමන්ගේ දැනුම වර්ධනය කරගත හැකි වෙබ් අඩවියක් වෙත හෝ පිවිස අලුත් යමක් ඉගෙන ගැනීමට හැකියි. 

නමුත් ඒ වෙනුවට ෆේස්බුක් හෝ වෙනත් සමාජ මාධ්‍යවල සැරිසරමින් කාලය නාස්ති කිරීම නම් අනුමත කරන්නට බැහැ. ඕනෑම පුද්ගලයෙක් තමන් නිරතවන ක්ෂේත්‍ර‍ෙය් දැනුම යාවත්කාලීන කරගත යුතුයි. එය ඉගෙනීමක් බවට තමන්ගේ දැනුම වර්ධනය කරගැනීමක්. නමුත් තමන්ගේ වැඩ රාජකාරි පැහැර හරිමින් එම වේලාව ඒ සඳහා යොදා ගැනීමත් සිදුනොවිය යුතුයි. එයින් සිදුවනුයේ තමන්ගේ සේවාදායකයන්ට, පාරිභෝගිකයන්ට තමන්ගෙන් සිදුවිය යුතු සේවාව පැහැර හැරීමක්. මෙය අසාර්ථක සේවකයෙකුගේ ලක්ෂණයක්.

කම්කරු නීති හා ප්‍රඥප්ති අනුව සේවකයෙකුට ලැබෙන නිවාඩු හා කෑම පැය විවේකය වෙනස් විය හැකියි. නමුත් යම් සේවකයෙක් තමන්ගේ රාජකාරිය භාර ගන්නා අවස්ථාවේ අත්සන් තබන එකඟතා ලිපියේ තිබෙනවා නම් කෑමට පැයක විවේකයක් ලබාදෙන බවට, ඔබට එම කාලය මෙවැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකියි. නමුත් එම කාලය පැයයි විනාඩියක්වත් නොවිය යුතුයි. නමුත් අපේ රටේ කෑම පැය ඇතැමුන් අවසන් කරන්නේ සවස තේ බීමෙන් පසුවයි. 

අතීතයේ පැවැති රාජකාරීමය පසුබිම් හා වර්තමානයේ පවතින රාජකාරිමය පසුබිම් පිළිබඳව අපි සන්සන්දනාත්මකව බැලුවොත් පෙනී යන්නේ වර්තමානයේ සේවකයන්ට අමතර වැඩ සඳහා යෙදවීමට කාලයක් අතීතයේ මෙන් නොලැබෙන තරමට කාර්යාල වේලාවේ වැඩ පවතින බවයි. එසේනම් තමන්ගේ සේවය කළ යුතු කාලයේ බාහිර වැඩ සිදුකරනවා යනුවෙන් අදහස් වෙන්නේ තමන් තමන්ගේ සේව්‍යයට අවංක නොවන සේවකයෙකු වන බවයි.

පොත් කියැවීම

කියැවීම හොඳ පුරුද්දක්. නමුත් රාජකාරි පවතීනම් එම වේලාව මේ සඳහා භාවිත නොකළ යුතුයි. නමුත් ඕපදූප කතා කරනවාට වඩා මෙය හොඳ කටයුත්තක් බැවින් රාජකාරි නොමැති නිදහස් අවස්ථාවක රාජකාරියට බාධා නොවන ලෙස පොතපත කියැවිය හැකියි.

මැහුම් ගෙතුම් 

අතීතයේ මෙවැනි බාහිර කටයුතුවල යෙදෙන සේවිකාවන් සිටියත්, වර්තමානයේ එවන් කටයුතුවල යෙදෙන අය දැකගන්නට නැහැ. නමුත් එවැනි දෙයක යම් සේවිකාවක යෙදෙනවානම් එය ඇය සිදුකරන මෝඩ කටයුත්තක්. තමන් අනුන් ඉදිරියේ උදහසට ලක් නොවී, පැසසුමට ලක්වන අයුරෙන් රාජකාරි ඉතිහාසයක් සහිතව යම් දිනක සේවයට සමුදීමට අවශ්‍ය නම් එවන් පෞද්ගලික කටයුතු රාජකාරි කරන ආයතනයන් තුළදී සිදු නොකළ යුතුයි.

අල්ලාප සල්ලාපයේ යෙදීම 

තැන නොතැන මතක නැතිව, තමන්ගෙන් සේවයක් ලබාගන්න පිටස්තරයන් පැමිණ සිටින බව අමතක කර ඇතැමුන් අල්ලාප සල්ලාපයේ යෙදෙනවා. ඇතැමුන් කතාබහ කරන දේවල් නිසා ඔවුන් අවඥාවට ලක්වෙනවා. මෙය ඉතාම කනගාටුවට කාරණාවක්.

මේක් අප් කිරීම 

කාන්තාවක් කියන්නේ ලස්සනට ඉන්න ඕන කෙනෙක්. වර්තමානය වෙද්දී කොළඹ ප්‍රදේශයේ පමණක් නොවේ ලංකාවේ සෑම ප්‍රදේශයකම පවතින ආයතනවල සේවයේ යෙදෙන කාන්තාවන් Grooming නැත්නම් ආකර්ෂණය සඳහා %මේක්අප්^ යෙදීම සිදුකරනු ලබනවා. නමුත් මෙය තමන් සේවය කරන කවුන්ටරයේ සිට සිදුකරනවා නම් එය වැරදියි. 

වර්තමානයේ දිගුකාලයක් රැඳෙන ( Long Lasting) මේක් අප් නිෂ්පාදන තිබෙනවා. එවැන්නක් ආලේප කර පැමිණෙන අයෙකුට නැවත නැවත මේක් අප් දැමීමට කාලය වෙන් කර ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. එසේ නොමැතිව තමන්ගේ ප්‍රසන්න බව වැඩිකර ගැනීමට යැයි සිතා තමන්ගේ සේවය ලබාගන්න පිරිස් පැමිණෙන අවස්ථාවේදී හෝ අනෙක් අයට පෙනෙන්නට ඒ දේවල් සිදුකිරීම නම් උචිත වන්නේ නැහැ. 

දුරකථන සංවාද 

සේවිකාවන් වඩාත් කල්පනාකාරී විය යුතු කරුණක් ලෙස දුරකථන සංවාද දැක්විය හැකියි. තමන්ගේ පෞද්ගලිකත්වයට හානිවන එක් අංගයක් වන්නේ දුරකථනයයි. ඇතැමුන් සිනහසෙමින් තමන් සිටින තැන පවා අමතකව ගොස් දුරකථන සංවාදයේ යෙදීම හේතුවෙන් අනෙක් අය ඉදිරියේ විහිළුවක් බවට පත්වෙනවා. එසේම රාජකාරි අවස්ථාවේ තමන්ගේ පෞද්ගලික ජංගම දුරකථනය භාවිතයට අවසර නොමැති කාර්යාල පවතිනවා. එවන් විටක තමන්ගේ පෞද්ගලික ඇමතුම් ලබාගන්නා සේවිකාවන් සිදුකරන්නේ විනයානුකූල වරදක්. ඒ නිසා සංවර ලෙස හා විනයානුකූලව දුරකථනය භාවිත කළ යුතුයි. එසේ නොමැති විට විෂමාකාර ක්‍රියාවකට හේතුපාද විය හැකියි.

සෙල්ෆි හා සමාජ මාධ්‍ය

වර්තමානයේ සේවයේ යෙදෙන අය අතර තිබෙන උන්මාදයක් පමණක් නොව අවසානයේ අකරතැබ්බක් බවට පත්ව ඇති දෙයක් බවට සමාජ මාධ්‍යවල සැරිසැරීම දැක්විය හැකියි. ඇතැම් ආයතනවල සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම පවා අවහිර කර ඇත්තේ මෙය ඒ තරමටම සේවා ස්ථානයට බලපෑම් කරන දෙයක් බවට පත්ව ඇති නිසයි. 

සමාජ මාධ්‍ය යනු අතිශය පෞද්ගලික දෙයක් බවත්, එය රාජකාරියට අයත් නොවන දෙයක් බවත් අප මූලිකව හඳුනාගත යුතුයි. ඒ අනුව මුහුණු පොතේ ගැවසීම රාජකාරි වෙලාව පැහැර හැරීමක් බවට පත්වේ. රාජකාරි කටයුතුවලට ලබාදෙන ගරුත්වය නොදීම මේ යටතේ පැහැදිලි වෙනවා. 

සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වුණ විට තමන්ගේ කාලය ගතවීම පිළිබඳව නොදැනීම නිසාම රාජකාරීන් මග හැරී යෑම සිදුවේ. ඒ වගේම රාජකාරි කරන ආයතනය තුළ සිට සෙල්ෆි ගැනීම හා ඒවා අප්ලෝඩ් කිරීම තුළින් සිදුවනුයේ තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොවීමයි. එයින් තමන්ගේ අනන්‍යතාව කෙලෙසා ගැනීමක් හා අනන්‍යතාවට පහර ගසා ගැනීමක් බවට පත්වෙනවා. හොඳ වෘත්තිකයන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් දෙස බැලුවොත් මෙවැනි උන්මාද නැති බව පෙනී යනවා. 

ඉතින් එවැනි ගිණුමක් දෙස බලා අපිට ඉගෙනගත හැකි දේ බොහෝමයි. තාරුණ්‍යයේ සිටින අය සේවා කාලය තුළ සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමෙන් වැළකෙනවානම් ඉතාමත් හොඳයි. සුදුසු දේ සුදුසු ආකාරයෙන් සිදුකිරීම තමයි අනාගතය සාර්ථක කරගන්නා වෘත්තිකයෙකු විසින් සිදුකළ යුතු වන්නේ. 

අවසානයේ  රැකියාව ජීවිතයම නොවේ යනුවෙන් යමෙක් සිතා මෙවැනි දේ රැකියාවේ යෙදෙන කාලය තුළ සිදු කිරීම නුවණට හුරු නොවන බව කිව යුතුම යි. මන්දයත් යම් පුද්ගලයෙකුට ලැබෙන නම්බුනාම පිළිගැනීම ආදී සියල්ලක්ම පාහේ ළඟා කරදෙනුයේ තමන් යෙදෙන රැකියාව, තමන් දරන නිලය,තමන් කරන සේවාව නිසා බව වටහාගත යුතුයි. ඒ අනුව රැකියාවේ වටිනාකම එයට ලබාදිය යුතුයි. එසේ නොමැතිව රැකියාව විනෝදාංශයක් නොකරගත යුතුයි''

නදීෂානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment