කන්ද උඩරට රාජ්‍යයේ ජනතාවගේ දෙසිය වසරක අහිමිවී ගිය සාධාරණයට යුක්තිය ඉටුකර දීමට රජය ගන්නා උත්සාහයේදී කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් ඒ සඳහා ස්ථාපනය විය. එම භාරදූර වගකීම සමග එකී ඉතිහාසය තුළ  අහිමි වී ගිය අපේ සම්පත් ප්‍රතිනිර්මාණය කිරීමේ වගකීම දරන රාජ්‍ය මණ්ඩලයේ මුල් පුටුව හොබවනුයේද කාන්තාවකි. එම වගකීමට උරදෙන සමන්ති රත්නායක මහත්මිය (MSc.pera) SLAS එහි ස. අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි.

මගෙ තාත්තා සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරියෙක්. තාත්තා ලීනස් රත්නායක. අම්මා නිමල්කා ද සිල්වා.
මගෙ ගම මහනුවර, සුදුහුම්පොළ. පුංචි දවස්වල  මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයෙන්. එයින් පස්සේ ශිෂ්‍යත්ව  විභාගය සමත්වෙලා මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත් වී විද්‍යා විෂයන් හැදෑරුවා. සහෝදරයන් දෙන්නයි. මම දෙවැනියා.

උසස් පෙළට ලියා ගෙදරට වී නිකම් හිටියේ නැහැ. ඒ කාලය තුළ පොතපත කියෙව්වා. පරිගණක පාඨාමාලාවක් කළා. රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමට පටන් ගත්තා. මධ්‍යම පළාත් සභාව මගින් පවත්වන එක් අවුරුදු ඉංග්‍රීසි පාඨමාලාවට සහභාගි වුණා. 
විශ්වවිද්‍යාල ප්‍රතිඵල ආවා. මම සමත් වුණා. ඔය අතර රාජ්‍ය කළමනාකරණ සේවා විභාගයටත් ලියුවා. එයින් සමත් වුණා. මහවැලි අමාත්‍යාංශයට පත්වීමක් ලැබුණා. ඒත් ස්වාමිපුරුෂයා ඒ වනවිට බණ්ඩාරවෙල සේවය කළ නිසා මම කොළඹට ගියේ නැහැ. දියතලාව ගුවන් හමුදා කඳවුරට සුහද මාරුවක් අරගෙන ගිහින් එතැන අවුරුදු හතක් විතර කළමනාකරණ සහකාර ලෙස කටයුතු කළා.

වැඩකරලා ඉවරයක් නෑ කියන ගුවන් හමුදාවේ පළමු පත්වීම ලැබීම ගැන මම සතුටු වෙනවා. එයින් මට මගේ වැඩකළ හැකි ධාරිතාව ගැන වැටහීමක් ලබාගැනීමට හැකි වුණා. එය මගේ අනාගත රාජකාරි කටයුතු ගළපා ගැනීමටත් ලොකු පහසුවක් වුණා. එයින් පස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේදීත් වැඩ කරලා ඉවරයක් නෑ කියන තැනට පත්වුණා. ඒත් මට මගේ වැඩ කරන්න අමාරුවක් වුණේ නැහැ. ඒ පෙර පුරුද්ද, අත්දැකීම් තිබුණු නිසා. ඒ නිසා ගුවන් හමුදාවේ පළමු රැකියාවට පස්සේ, රජයේ රැකියා ලැබීම මගේ වෘත්තීය ජීවිතයේ ජයග්‍රහණයක් හැටියට හිතෙනවා.

පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙත් අවුරුදු අටක් විතර එම තනතුරේ රැකියාව කළා. එතැන සේවය කරන අතර ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවා තරග විභාග ගැසට් කළා. එහි නිලධාරීන් එයට ඉදිරිපත් වන ලෙස මාව දිරිගැන්වීම් කළා. ඒ අය අතරින් අතිරේක අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ දයාවංශ මහත්මයාත්, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ තිසේරා මහත්මයාත් මතක් නොකළොත් ඒක අඩුවක්. මට හිතෙන්නේ ඒ අය මගේ හැකියාවන් නිරීක්ෂණය කරන්න ඇති. මා රාජකාරිය තුළ දක්වන කැපවීම, වගකීම දරා ගන්නා ආකාරය පිළිබඳව ඒ අය සෑහීමකට පත්වෙන්න ඇති. ඔවුන් නිතරම පැවසූයේ ඔයා වගේ උනන්දුවෙන් වැඩ කරන ළමයින් ඉහළට යා යුතුයි කියායි. ඒ නිසා මට නැති උනන්දුවක් ඒ අයට  මා ගැන ඇතිවෙන්න ඇති. මගේ ඉහළ නිලධාරීන් දක්වන ඇගයීම හේතුවෙන් මට මා ගැන එතෙක් නොමැති උනන්දුවක්, වටිනාකමක් දැනුණා. ඒ වගේම මට ඒ නිලධාරීන්ගේ අගය වටිනාකමත් දැනුණා. ඉන්පසු මමත් මගේ කාර්යමණ්ඩලවලට  ඒ ආකාරයෙන් කටයුතු කළා. මම 2015 වර්ෂයේදී රත්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් තනතුරට පත්ව ගියා. මෙතෙක් දැරූ තනතුරුවලට වඩා මට එය වෙනස් අත්දැකීමක් වුණා. එය ප්‍රාදේශීය පාලනයක්. අනෙක අපේකම තියෙන සංස්කෘතියක්. එහිදී මිනිසුන් ඇසුරෙන් බොහෝ දේ මට දැනගන්නට ලැබුණා.

2016දී පිළිමතලාව ග්‍රාම සංවර්ධන පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්‍ෂ තනතුර භාර ගැනීමට සිදුවුණා. එතැන රාජකාරි කටයුතු කරගෙන යමින් හිටියා. ඒ අතර, අලුත් අමාත්‍යාංශයක්  ආරම්භ වුණා. රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට හා මහනුවර සංවර්ධන අමාත්‍යාංශය යටතේ කන්ද උඩරට උරුමය සුරැකීම සඳහා අන්තර් ව්‍යවස්ථාපිත මණ්ඩලයක් බිහි වුණා. මම හිතන්නේ එය රටටත් අලුත් ප්‍රවෘත්තියක් වුණා.

මධ්‍යම, උතුර පළාත් සහ අම්පාර ප්‍රාදේශීය ලේකම් කොටස් හතරක් එයින් ආවරණය වෙනවා. 1815 වර්ෂයේදී විදේශීය සුදු පාලකයන්ගේ ග්‍රහණය හේතුවෙන් කන්ද උඩරටට සිදු වූ හානි වෙනුවෙන් ජනතාව සහ ප්‍රදේශය නැවත නගා සිටුවීම ඉලක්ක කරගෙනයි මෙම මණ්ඩලය ආරම්භ වුණේ. එහි මූලස්ථානය හැටියට මෙම කාර්යාලය මහනුවර ස්ථානගත වුණා. මේ වනවිට එම මණ්ඩලය බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට පැවරී තිබෙනවා. ඇත්තෙන්ම ඒ කාර්යට මටත් දායක වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙහිදී 1815 සිට 2020 දක්වා අවුරුදු දෙසීයකට වැඩි කාලයක ඉතිහාසය කියවන්නට වෙලා තියෙනවා. හදාරන්නට වෙලා තියෙනවා.

ඒ අතර මිනිසුන්ගේ සහ ඒ පළාත්වල වෙනස පිළිබඳව හොයන්නට තියෙනවා. මෙය අපූරු අත්දැකීමක් වෙයි. යෝජනාවක් මතයි මා විවාහ දිවියට ඇතුළත් වුණේ. මගේ ස්වාමි පුරුෂයා සරත් ප්‍රියන්ත කෝනාර. ඔහු පශු වෛද්‍යවරයෙක්. අපිට දැන් දරුවන් දෙදෙනකු ඉන්නවා. ලොකු දුව සඳලි. දෙවැනියා සසිනි. ගෙදර වැඩට නම් කවුරුවත් නැහැ. අපි දෙන්නත් කාර්යබහුලයි. ඒත් අම්මගෙන් ලැබෙන සහයෝගය ඉහළයි. අනෙක මගේ හස්බන්ඩ් හැම දෙයකදීම මගේ පස්සෙන් හිටියා කියනවාට වඩා එයා පිටිපස්සෙන් ඉඳලා මාව ඉදිරියට තල්ලු කරනවා කිව්වොත් හරි. නැත්නම් මාව ඉදිරියට ඇදගෙන ගිය අවස්ථාවන්ද තියෙනවා. මගේ උපාධි විභාග අවස්ථාවන්හිදී එය මම හොඳටම අත්වින්දා. එදා වගේම අදටත් මා පොත් කියවන්න කැමතියි.

කරන දේ හරියට කරන්න කියලා මම කියනවා. ලොකුවට පටන් ගෙන ප්‍රශ්න ආවාම නතර කරනවාට වඩා සුදුසු තැනින් හරියට පටන් අරගෙන එය අවසානය දක්වා ගෙන යෑම සිදුකළ යුතුයි කියලා මම හිතනවා. අපේ හිත හොඳනම් අපි කරන දේ හරියට හරියනවා. අපි අවංකයි කියන්නේ ඒ හොඳ හිතට.

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර

0 comments

Leave a Reply

Post Comment