විවිධ ක්ෂේත්‍රයන්හි ඉටුකරන සේවය තුළින් එයින් ජීවිතයේ තෘප්තිය ලබන ස්වර්ණා පෙරේරා (BA, SLAS) මහත්මිය මධ්‍යම පළාත් සභාවේ සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස කටයුතු කරයි. අපේකම සමග බැඳුණු ඇයගේ සරල ජීවිතය මම, මම විය යුතුයි යන සිතිවිල්ල තුළ නව නිර්මාණශීලී මගකට යොමු වන ඇයට සවන් දෙමු.
මම දැනට මහනුවර පදිංචි වුණත් මගේ මුල් ගම් පළාත කන්තලේ ප්‍රදේශයයි. මම කන්තලේ මධ්‍යම මහා විද්‍යාලය සහ අග්‍රබෝධි ජාතික පාසලෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා. ඒ අතර මගේ පියා රජයේ සේවකයෙක් නිසා ඔහුගේ ස්ථාන මාරු අනුව ගම්පොළ ප්‍රදේශයට පැමිණියා.
එයින් පසු ගම්පොළ ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන කටයුතු කළා. මගේ පවුලේ සහෝදර සහෝදරියන් හත්දෙනයි. එයින් වැඩිදෙනා ගුරුවරු. මම විවාහවෙලා ඉන්නෙත් විදුහල්පතිවරයෙක් සමගයි. මගේ තාත්තා 1991දී මිය ගියා. එයින් පස්සෙ පවුලේ වගකීම් සියල්ල අම්මගේ කරපිට වැටුණා. ඒ වනවිට නංගී සාමාන්‍ය පෙළ හදාරනවා. අක්කා උසස් පෙළ කරනවා.
ඔය කාලෙ මට උසස් අධ්‍යාපනය වගේම රැකියාවක් ගැනත් හිතෙනවා. පවුලේ අයගේ අදහස වුණේ මම නොකඩවා උසස් අධ්‍යාපනය වෙනුවෙන් යොමු වෙනවා දකින්න. ඒත් මට රජයේ රැකියාවකට ඇති ආශාවත් ඒ එක්කම වැඩි වුණා. මම ලිපිකරු තනතුරකට අයදුම් කළා. මගේ කැමැත්ත අනුව එම තනතුර ලැබුණා. කැමැත්තෙන් එයට එකතු වුණා. එය මට මගේ අත්දැකීම් දියුණු කරගන්න හොඳ අවස්ථාවක් වුණා. එයින් දෙමවුපියන් ඇසුරේ සහෝදර සහෝදරයන් අතර හැදුණු මට සමාජය ගැන තවත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.
හැම වෙලාවෙම මට හැකි පමණින් මගේ සේවය ඉටු කළා. ඒත් මගේ ඉලක්කය අමතක කළේ නැහැ. මම වැඩිදුර අධ්‍යාපනයට ඇති අවස්ථාව ගැන නිතර අවධාන යොමු කළා. නිවාඩු දින සහ විවේක කාලය මගේ අධ්‍යාපන අවස්ථා වෙනුවෙන් කැපකිරීමට තීරණය කළා. ඒ අනුව රැකියාව කරන අතර මම උපාධිය හැදෑරුවා. එයින්ද සමත් වුණා. රැකියාවත්, අධ්‍යාපනයත් දෙකම එකට කළ හැකියි. ඒත් ඒ එකක් එකකට බාධාවක් නොවන සේ ගළපා ගැනීම අපේ වගකීමක්. අද ඇතැමුන්ට තමන්ගේ රැකියාව කරන්න වෙලාවක් නැහැ කියලා මැසිවිලි නඟනවා. මම ඒ දෙකම එකවර කළා. ඒ අතර ගෙදර කටයුතුවලදිත් අම්මට, නංගිට, අක්කට උදවු කළා.
උපාධිය මගේ ජීවිතයේ තවත් කඩඉමක් වුණා. එය මට ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ තරග විභාගය දක්වා අපේක්ෂාවන් ඇති කළා. මම එයට පෙනී හිටියා. එතෙනදි මම සේවය කළ ආයතනවල දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රධාන ඉහළ නිලධාරීන්ගේ රාජකාරි ස්වභාවය සහ ජනතාව සමග කටයුතු කරන ක්‍රියාකලාපය ගැන අත්දැකීම් ලබාගත්තා. එය මට ඔවුන්ගෙන් ලද ආශිර්වාදයක් කියලයි හිතෙන්නේ. අපට පූර්වාදර්ශ සපයන ඉහළ නිලධාරීන්ගේ මඟපෙන්වීම මම ආදර්ශයට ගත්තා.
මම රාජ්‍ය පරිපාලන සේවා විභාගයට ඉදිරිපත් වුණා. ලකුණු දෙක තුනක් අඩුවූ නිසා ඒ අවස්ථාව මට අහිමි වුණා. ඒත් මම අධෛර්යමත් වුණේ නැහැ. 2012 අවුරුද්දෙත් විභාගයට ඉල්ලුම් කළා. විභාගය හෙට කියලා අනතුරකට මුහුණ දුන්නා. වැටීමකින් මගේ අත බිඳුණා. දරාගත නොහැකි වේදනාව සහ අපහසුව නිසා විභාගයට ලියන්න එපා කියලා පවුලේ අය කීවා. සමහරු කීවේ ලිව්වත් වැඩක් නැහැ, මොකක් හරි බාධාවක් කියලා.
ඒත් මම අධිෂ්ඨානය අතහැරියේ නැහැ. එවකට මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිණී සෙනවිරත්න මහත්මයා මා දිරිමත් කළා. කෙඳිරිගාමින් අපහසුවෙන් එක අතක් පාවිච්චි කරමින් පහුවදා විභාගයට මුහුණ දුන්නා. මම ලංකාවේ පහළොස්වෙනියා වෙලා සමත් වුණා. උත්සාහය තියෙනවා නම් අවස්ථාව අහිමි වෙන්නේ නැහැ කියන එක මම කවදත් විශ්වාස කරන දෙයක්. ඉන්පසු මම මධ්‍යම පළාතේ පේෂ කර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ තනතුරට පත්වුණා. මගේ රටේ අපේකම වෙනුවෙන් අලුත් නිර්මාණ ඉදිරිපත් කරන ආයතනයක් හැටියට මට එයින් අපූරු සතුටක් ලැබුණා.
ඒ අතර මට මධ්‍යම පළාතේ ආණ්ඩුකාර කාර්යාලයේ සහකාර ප්‍රධානියා හැටියට සේවය කරන්න අවස්ථාව ලැබුණා. එය මගේ අත්දැකීම් අලුත්කර ගැනීමට වෙනස් ආකාරයක මගපෙන්වීමක් වුණා. විවිධ අවස්ථා, චරිත සහ අධ්‍යයනයන්ට එතෙනදි අවස්ථාව ලැබුණා.
දැනට මම මධ්‍යම පළාතේ සංස්කෘතික අධ්‍යක්ෂවරිය හැටියට කටයුතු කරනවා. මෙතන සේවය ගැන මම තෘප්තිමත්. කලාකරුවන්, ලේඛකයන්, මූර්ති ශිල්පීන්, නර්තන ශිල්පීන් ආදී හැම ක්ෂේත්‍රයකම අය ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබෙනවා. අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය වෙනුවෙන් කැප වෙන අපේම මිනිසුන් ලෙස මම ඔවුන් ගැන හිතනවා.
මම මගේ කාර්යමණ්ඩලය සමග සතුටින් කටයුතු කරනවා. ආයතන ලෙස අපි වරින්වර විවිධ තැන්වලට මාරු වුණත් හැමවිටම මගේ කාර්යමණ්ඩලයට කියන්නේ මම, මම විය යුතුයි. ඔබ, ඔබ විය යුතුයි. මම ඔබ වීම හෝ ඔබ මම වීමෙන් අලුත් නිර්මාණ බිහිවීමට බාධාවක්. එනිසා එකම රටාවකට සිතීම සහ වෙනසක් නැතිව ගමන යාම ආයතනික ක්‍රියාවලියක් නෙවෙයි කියලයි. මම නිලධාරීන්ට කියන්නේ පෙර කළ ආකාරයෙන් හිතන ගමන් වෙනස් විදිහකටත් හිතන්න යනුවෙන්. එවිට හැමදෙනාටම වඩාත් ඵලදායීව, කාර්යක්ෂමව අලුත් ක්‍රමයකට යා හැකියි.
මේ පුටුව අප වෙනුවෙන් සූදානම් වන්නේ ජනතාව නිසයි. අප ජීවත් කරවීම වෙනුවෙන් වැටුප් ගෙවන්නේ ජනතාවයි. එසේනම් ඔවුන් වෙනුවෙන් අපි සේවය කළ යුතුයි. සමහර අවස්ථාවලදී කලකිරීම් ඇතිවෙනවා. එතෙනදි කඩේකින් සබන් කෑල්ලක් ගන්නවා වගේ ආයතනයකින් වැඩක් කරගන්න බැහැ කියන එක ජනතාවගේ පැත්තෙන් සිතිය යුතුයි. ආයතනයක් කියන්නේ විධිමත් අණපනත්, චක්‍රලේඛ අනුව සම්පාදනය වූ හැමට පොදු නීතියක්. එනිසා අපි රාජ්‍ය නිලධාරීන් හැටියට ජනතාව අතර දැනුම, අවබෝධය සහ වගකීම පිළිබඳ ඇති නොදැනුවත්කමක් වෙතොත් ඒවා නිවැරදි කිරීමට කටයුතු කළ යුතුයි.
ගෙදර කටයුතු මමත් මගේ මහත්මයා සහ දරුවන් දෙදෙනාත් පුළුවන් විදිහට කර ගන්නවා. මගේ පුතත් ලොකුයි. ඔවුන් දැන් උසස් අධ්‍යාපනය වෙනුවෙන් කාලය යොදවනවා. ඒත් මමත් දරුවන් අතරත් පවතින දෛනික බැඳීම්වලට ලැබෙන නිදහස් අවස්ථා යොදා ගන්නවා.
Leave a Reply