තමන් වෙනස් වෙන්න ඕන තමන් කැමති විදිහට සහ තමන්ට පහසු විදියට මිසක් ලෝකය කැමති විදිහට සහ ලෝකයට අවශ්‍ය විදිහට නොවේ. ජීවිතයේ කිසිම කෙනෙකුව විවේචනය නොකරන්නටත් ප්‍රතිපත්තියක් සදා ගන්න. අපි කවුරුත් prefect මිනිස්සු නෙමේ.

අධ්‍යාත්මික ජීවිතය කියන්නේ නිතරම අන් අයට යහපත් දෙයක් කිරීම, සෑම විටම පරාර්ථකාමී වීම, තම ප්‍රශ්නයක්, අයහපතක් නොවන ආකාරයෙන් ජීවත්වීම, විවේචනය වෙනුවට ආදරය කිරීම , තමාට ආදරය කළ අය සිහිපත් කිරීම, ඔවුන්ට හැකි හැමවිට උදව් කිරීම, සරල විනෝදකාමී වීම මේ වගේ සරල ධර්මතා ටිකක් ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන යන්න. එවිට සැනසීම සතුට ඉබේම ලැබෙනවා. 

ඒ තාරු පරණවිතානයි. මනෝවිද්‍යාඥවරියක් සහ කථිකාචාර්යවරියක් මෙන්ම ‘The Helping Hand’ මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්ෂකවරිය වන තාරු පරණවිතානව මෙවර Wonder Woman ‘චරිත’ විශේෂාංගය සඳහා සම්බන්ධ කරගැනීමට අපි සිතුවෙමු. 

“දැන් මට වයස අවුරුදු 31ක්. මම ඉතාම පොඩි කාලයක් තුළ විශාල ගමනක් ගිය කෙනෙක්. මම බිරිඳක්, මවක්, මනෝ විද්‍යාඥවරියක්, ව්‍යාපාරිකාවක්, කථිකාචාර්යවරියක්. තවත් ආකාරයකට තවමත් ඉගෙන ගන්නා ශිෂ්‍යාවක්. මේ සෑම භූමිකාවක්ම සාර්ථකව, සමබරව කර ගැනීමට මට හැකියාව සහ පෞරුෂය පවතිනවා. ඒ වගේම මේ සෑම භූමිකාවකටම මම අතිශය ආදරය කරනවා.

මගේ පාසල තමයි කිඹුලාපිටිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාසල. කුඩා කාලයේ පටන් සමාජ ක්‍රියාකාරකම්වලට සම්බන්ධයි. උසස් පෙළට පෙනී සිටින කාලයේ පටන් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, තූර්ය වාදන කාණ්ඩායමේ නායිකාව, මහා ශිෂ්‍ය සංගමයේ නායිකාව, නිවාස නායිකාව වගේ තනතුරු ගොඩක් දැරුවා. 

මගේ විශ්වවිද්‍යාලය වූයේ කැලණිය විශ්වවිද්‍යාලය. මනෝ විද්‍යාව ඒ කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවතියේ සාමාන්‍යවේදී විෂයක් ලෙසයි. ගාමිණී හපුආරච්චි මහතා සමග එකතු වී උපකුලපතිතුමා සමග සාකච්ඡා කර කැලණිය විශ්වවිද්‍යාලයට මනෝ විද්‍යා විශේෂවේදී උපාධිය ඇතුළත් කිරීමට මූලික වෙලා කටයුතු කිරීමට මට හැකියාව ලැබුණා. එය මගේ ජීවිතයේ ලැබූ එක් ජයග්‍රහණයක් කියන්න පුළුවන්.

ඒ වගේම මම කිසිම දවසක විශ්වවිද්‍යාලයේ නවක වදයට මුහුණ දීල නැහැ. මම ඒ දෙයට විරුද්ධ කෙනෙක්. පාසල් වියේ පටන් මට මනා පෞරුෂයක් තිබුණා. කිසිම දේකට බය ගැහැනියක් නෙවෙයි. විශ්වවිද්‍යාල සංස්කෘතිය අබිබවා ගිය කෙනෙක් කියන්න පුළුවන්. මම කියන දේ අහන් ඉඳලා ඉගෙන ගත්ත කෙනෙක්. ඒ වගේම ගොඩක් පොත් කියවන කෙනෙක්. 
මම මනෝ විද්‍යා විශේෂවේදී උපාධිය හදාරලා, පශ්චාත් උපාධි දෙකක් හදාරා තිබෙනවා. පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් බෞද්ධ, ආයුර්වේද, මනෝ විද්‍යා පශ්චාත් උපාධිය හදාරා තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා උපාධිය හදාරා තිබෙනවා. දැනට මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව, මානව විද්‍යාව හා සමාජ විද්‍යාව හදාරන පළමු වසර ශිෂ්‍යාවක්. 
ඒ වගේම ආයතන කිහිපයකම මනෝවිද්‍යාව සහ මනෝ ප්‍රතිකාර සම්බන්ධව ඩිප්ලෝමා හදාරා තිබෙනවා. ඒ වගේම කිරිබත්ගොඩ රෝහලේ අවුරුදු පහක පමණ මනෝ චිකිත්සකවරියක ලෙස කටයුතු කළා. ගම්පහ රෝහලේ විශේෂඥ සායනික පුහුණුව හදාරා තිබෙනවා. 

රටවල් කිහිපයකටම මගේ මනෝවිද්‍යා දැනුම රැගෙන ගොස් තිබෙනවා වගේම රටවල් කිහිපයක ඉගෙනගෙන තිබෙනවා. වියට්නාමය, මැලේසියාවල අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයත්, Colombo plan යන සංවිධානයත් සමග එකතු වෙලා සිදුකළ සමුළුවේදී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් විශේෂ පුහුණුවක් ලැබුවා. ඒ වගේම ඉන්දියාවේ යෝග පාඨමාලාව හදාරා තිබෙනවා. ලංකාවේ ප්‍රථම වතාවට ‘video game addiction theraputic practices in sri lanka’ කියන මාතෘකාව යටතේ මම විශේෂ වැඩසටහනක් සිදුකළා. ලංකාවේ මනෝවිද්‍යා ක්ෂේත්‍රය පුළුල් නැහැ. මගේ එකම අරමුණ මනෝවිද්‍යා ක්ෂේත්‍රය විදේශයත් සමග සම්බන්ධ කිරීම හා ඒ ඔස්සේ ලංකාවේ මනෝවිද්‍යාව ජ්‍යාත්‍යන්තරයට ගෙන යාමයි. 

ඒ වගේම මම පාසල් 90ක පමණ පෞරුෂ ගැටලු සහ මානසික ගැටලු සම්බන්ධයෙන් දේශන සිදුකරනවා. දැනට ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරනවා. ඒ වගේම බෝලවලාන ගුරු විද්‍යාලයේ මනෝවිද්‍යා සම්බන්ධ බාහිර කථිකාචාර්යවරියක ලෙස සේවය කරනවා. 

මම අම්මා කෙනෙක් වගේම හොඳ  බිරිඳක් ලෙසද මේ සියලු වැඩ රාජකාරී ඇතුළත මගේ වගකීම ඉටුකරනවා. ඇත්තෙන්ම මම සාම්ප්‍රදායික ගැහැනියක් නොවේ. එසේ වීමට මම කැමතිත් නැහැ. ඇත්තෙන්ම මම ස්තූතිවන්ත වෙනවා මීගමුවේ ඉපදීම සම්බන්ධව. මීගමුව කියන්නේ විවිධ සංස්කෘතීන් තිබෙන පරිසරයක්. ඒ හරහා පුදුමාකාර පෞරුෂයක් ගොඩනැගෙනවා. ඒ පරිසරය ලෝකය දෙස විවෘතව බලන්න මට උදව් කළා. 

Open  Minded මිනිසුන්ට හැමෝම ආදරෙයි. මනෝවිද්‍යාව කියන්නේ විවෘතව ලෝකය දෙස බලන, ප්‍රශ්න, ගැටලු දෙස විවෘතව බලන එක. හැකි සෑමවිටම ලෝකයත් සමග සම්බන්ධ වෙන්න. නැත්නම් අපි ළිං මැඩියෝ වෙනවා. පවුලට, ගමකට, රටකට පමණක් සීමා වෙන්න එපා. මම නිතරම දැනුම සොයා යන කෙනෙක්. මගේ වෘත්තීය දැනුම පුළුල් කර ගැනීමට මේ අවුරුද්දේ විදේශ රටවල් කිහිපයකට යාමට සැලසුම් කරලා තිබෙනවා.

මගේ ජීවිතයේ ගොඩක් දේවල් සපුරාගෙන තිබෙන්නේ තනියමමයි. මට කුඩා කාලයේ පටන් යැපුම් මානසිකත්වයක් තිබිලා නැහැ. මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ අමතර පන්ති සිදුකරලා උපයා ගත්ත මගේම මුදල්වලින්. මම පුංචි කාලයේ පටන් ස්වාධීනව හැඩ ගැසුණු කෙනෙක්. මගේ දෙමාපියන්ට එයට ස්තූතිවන්ත වෙනවා. මොකද එයාලා අනෙක් දෙමාපියො වගේ පිටිපස්සෙන් ඉඳගෙන හැමදේම කරන්න උත්සාහ කළේ නැහැ. ඒ නිසා මම නිදහසේ හැදුණ වැඩුණ දරුවෙක්. ඕනෑවට වඩා දරුවෙකුට බලපෑම් කරන්න හොඳ නැහැ. එහෙම වුණාම පෞරුෂය දුර්වල වෙනවා. ස්වාධීනව හැදුණාම අත්දැකීම්වලට මුහුණ දී අනාගතය සාර්ථක කර ගන්නවා. 
ඇත්තෙන්ම මම මනෝ චිකිත්සකවරියක් වගේම ව්‍යාපාරිකාවක්. ව්‍යාපාර කිහිපයක්ම පවත්වාගෙන යනවා.The Helping Hand මානසික සෞඛ්‍ය රෝහලක් මට තිබෙනවා. ඒ වගේම පන්නිපිටිය සහ මිනුවන්ගොඩ නගරයේ මනෝ උපදේශන සහ මනෝ චිකිත්සක ආයතන දෙකක් තිබෙනවා. මා සමග සේවය කරන්නේ පළපුරුදු කාර්යමණ්ඩලයක්. 

ජීවිතයේ උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක් සැලසුම් හදන එක තමයි සිදු කරන්නේ. ඒ හැම දේම මම ලියනවා. එය මගේ හොඳ පුරුද්දක් ලෙස දකිනවා. ඒ සැලසුම් කොහොමද කරන්නේ, මොන කාලෙද මේවා සපුර ගන්නේ. මොන වගේ මුදලක් යයිද, කොපමණ පිරිසක් අවශ්‍ය වෙයිද යන සියලු දේ ලියනවා. ඒ නිසා කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. මම ජීවිතය මැරෙනකන්ම සැලසුම් කළ කෙනෙක්. 

රජයේ රැකියාවක් සිදුකරන්න මම කවදාවත් කැමති නැහැ. දවස් 5ම ගිහින් වැඩ කරන රැකියාවක් සිදු කරන්න ආස නැහැ. ඒ වගේම කා යටතේ හෝ වැඩ කරන්නත් ආස නැහැ. පුංචි කාලේ පාසලේ අහනවා කවුරු වෙන්නද කැමති කියලා. අනෙක් ළමයි ගුරුවරු වෙන්න කැමතියි කියද්දී මට ඕන වුණේ විදුහල්පති කෙනෙක් වෙන්න. මට හැමවෙලේම ඕන නායකයෙක් වෙන්න. ඒ නිසා මට කගෙවත් යටතේ වැඩ කරන්න බැහැ. ඒ නිසා තමයි මම ව්‍යාපාරයක් ආරම්භ කළේ. මම එතැනදී පළමු කොට සලකන්නේ මම කොහොමද හොඳ සේවයක් ලබාදෙන්නේ කියන එකයි. දෙක තමයි ලාභය.

මම ඉගෙන ගන්නවා, විවාහකයි, දරුවෙක් සිටිනවා. මගේ ජීවිතය විඳින්න ඕන, පවුල සාර්ථක කරගන්න ඕන, උගන්වන්න ඕන, ව්‍යාපාරය සාර්ථක කරගන්න ඕනෙ. ඉතින් මේ හැමදේම සාර්ථක කරගන්න හේතුව තමයි මම කරන දේට ආදරය කිරීම. අපි අපි කරන දේට ආදරය කරද්දී අනිත් හැම දේටම අපිට වේලාව හම්බ වෙනවා. 

පෞද්ගලික ජීවිතයක්, සමාජ ජීවිතයක්, වෘත්තීය ජීවිතයක් වගේම අධ්‍යාත්මික ජීවිතයකුත් (Spiritual Life) තිබිය යුතුයි. අධ්‍යාත්මික ජීවිතය යන්නෙන් අදහස් කරන්නේ දිනපතා පන්සල් පල්ලි යන එකවත් උදේ පටන් ගාථා හෝ යාඥා කරන එක නොවේ. ඉන් එහාට ගිය ගැඹුරු කාරණයක්. අධ්‍යාත්මික ජීවිතය කියන්නේ නිතරම අන් අයට යහපත් දෙයක් කිරීම, සෑම විටම පරාර්ථකාමී වීම, තම ප්‍රශ්නයක්, අයහපතක් නොවන ආකාරයෙන් ජීවත්වීම, විවේචනය වෙනුවට ආදරය කිරීම , තමාට ආදරය කළ අය සිහිපත් කිරීම, ඔවුන්ට හැකි හැමවිට උදව් කිරීම, සරල විනෝදකාමී වීම මේ වගේ සරල ධර්මතා ටිකක් ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන යන්න. එවිට සැනසීම සතුට ඉබේම ලැබෙනවා. 

ඒ වගේම ඔබ රැකියා ආයතනයේ, සමාජයේ, පෞද්ගලික ජීවිතයේ කිසිම කෙනෙකුව විවේචනය නොකරන්නටත් ප්‍රතිපත්තියක් සදා ගන්න. අපි කවුරුත් prefect මිනිස්සු නෙමේ. කිසිම කෙනෙක් ගැන ගැඹුරු අවබෝධයක් නැතිව විවේචනය කරන්නට සදාචාරමය අයිතියක් නැහැ. විවේචනය කරන්නෙකු දෙස බලන්න ඔහු හෝ ඇය තුළ කාටත් වඩා ගැටලු තිබිය හැකියි. තමා කාටත් වඩා උසස් ලෙස සිතීම මානසික රෝගයක් (Mental Problem). 

ඒ වගේම නවීන වෙන්න. තාක්ෂණය සමග ගමන් කරන්න. මම තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න කෙනෙක්. මගේ සෑම ව්‍යාපාරයක්ම රැඳී තිබෙන්නේ තාක්ෂණය මතයි. එම නිසා සාර්ථක ව්‍යාපාරිකයෙකුට නවීන තාක්ෂණය නොමැතිව ඉදිරියට ගමන් කරන්න බැහැ. තාක්ෂණයට බණිනවා වෙනුවට තාක්ෂණය තමන්ගේ අවශ්‍යතාවලට යොදා ගන්න.

සෑම විටම ප්‍රියමනාපව ඉන්න උත්සාහ කරන්න. ලස්සනට ප්‍රියමනාපව ඉන්න වයසක් නැහැ. තමන්ට ගැළපෙන විලාසිතාවලින් සැරසෙන්න. ඇඟේ හැඩය ගැන සැලකිලිමත් වෙන්න. යන සෑම තැනම ප්‍රියමනාප ලෙස සැරසිලා යන්න. ‘Frist impression is the last impression’ කියනවානෙ. 

ඒ වගේම ගැටලු හෝ ගැටලු ඇති කරන මිනිසුන් හරියට අපේ ගුරුවරු වගේ. අපේ ජීවිතවලට පාඩම් කියා දෙනවා. අපිව ඉහළටම ඔසවා තබන්නේ අපි ප්‍රශ්න කියලා හිතන දේවල්මයි. ගැටලුවක් ඇති වුණාම අපි ගොඩක් හිතනවා. ජීවිතය හදා ගන්නවා, වෙනස් කර ගන්නවා. ඒ නිසා ගැටලුවක් හෝ ගැටලුවක් රැගෙන එන සෑම පුද්ගලයෙක්ම අපිට ගුරුවරයෙක්. 

මම ඕනම කෙනෙක්ට කියන දෙයක් තමයි අපේ වැඩ සීරියස් වුණාට අපි සීරියස් විය යුතු නැහැ කියන එක. එම නිසා මම විනෝදයෙන් සිනහවෙන් ජීවත් වෙනවා. අපේ මිනිසුන් හරිම සීරියස්. සමහර ගුරුවරු සිටිනවා ඒ අය ගෙදරත් ගුරුවරයෙක්. අපේ වෘත්තීය එකක්. පවුල් ජීවිතය එකක්. කාන්තාවක් කිව්වාම සාම්ප්‍රදායික කාන්තාවක් ලෙස සිටිය යුතු නැහැ. ලෝකය විවෘත වෙලා තිබෙන්නේ යැපුම් මානසිකත්වයෙන් මිදිලා සම්ප්‍රදායෙන් ඉවත් වුණු අයට. සම්ප්‍රදායන් වෙනස් වෙද්දී සමාජයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ ගේ ඇතුළට වෙලා දරුවො බලාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්න කාන්තාවක්. ඒ නිසා රැකියාවක් හෝ ව්‍යාපාරයක් සිදුකරන කාන්තාවකට ගැටලු එන්න පුළුවන්. මේ දේවල්වලට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් තිබෙනවා නම් ඔබට ඉදිරියට යන්න පුළුවන්. මුලදී ඔබව ප්‍රතික්ෂේප කරයි. ඔබේ වැරදි හොයයි. නමුත් පසුව ඔබ ක්‍රම ක්‍රමයෙන් බාහිර සමාජය අනුගමනය කරනවා වගේම අනුකරණය කරනවා. ඒ නිසා සම්ප්‍රදාය කඩන්න කිසිම විටෙක බය වෙන්න එපා.

ඕනෑම කාන්තාවකට තමන්ගේ සීමාව හඳුනාගෙන කටයුතු කරන්න පුළුවන්. මෙහිදී සීමාව යනුවෙන් අදහස් කරන්නේ සමාජයෙන් දමන සීමාවන් නොවේ. සමාජයෙන් හදන සීමාවන්. තමන්ගේ ගෞරවය රැකගෙන, තමන් ඉගෙන ගත් දෙයින් ප්‍රයෝජන ලබාගෙන සතුටින් ජීවත් වෙන්න, තමන්ටම සීමාවන් ටිකක් හදා ගන්න පුළුවන්. තමන් වෙනස් වෙන්න ඕන තමන් කැමති විදිහට සහ තමන්ට පහසු විදියට මිසක් ලෝකය කැමති විදිහට සහ ලෝකයට අවශ්‍ය විදිහට නොවේ.

මේ ආපු ගමනට මට විශේෂයෙන් උදව් කරපු බොහෝ පිරිසක් සිටිනවා. ඒ සෑම කෙනෙක්ටම මේ අවස්ථාවේදී මා ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම මම මෙය අවස්ථාවක් කර ගන්නවා මගේ සැමියාට වගේම විශේෂයෙන් මගේ නැන්දම්මාට ස්තූති කරන්න. අද මම තැනක ඉන්නවා නම් ඒ සිටින්නේ විශේෂයෙන් මේ දෙපොළගේ තිබෙන සහයෝගය නිසායි. විවෘත මනසක් තිබෙන නැන්දම්මා කෙනෙක් ලැබීම සම්බන්ධයෙන් මම ගොඩක් වාසනාවන්තයි. ඇය හරිම සුහදයි වගේම මගේ සෑම දෙයකටම උදව් කරනවා. ඒ වගේම මගේ දෙමාපියන්ටත් ස්තූතිවන්ත වෙනවා සෑම විටම මාව තේරුම් ගැනීම සම්බන්ධයෙන්”.

සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි

0 comments

Leave a Reply

Post Comment