අධ්‍යාපන පර්යේෂණ කලාව, සමාජ දේශපාලන ක්‍රියාකාරීත්වය, පරිසරය හා සමාජයීය ස්වේච්ඡා සහභාගිත්වය යන අංශයන්හි ඇය ලබාදී ඇති දායකත්වය අද්විතීයය. ඒ නිසාම ඇයට දේශීයව හා ජාත්‍යන්තර මට්ටමෙන් හිමිවූ තනතුරු සන්නාම හා සම්මාන රැසකි. පසුගිය පෙබරවාරි 17 වැනිදා ඉන්දියාවේ මුම්බායි නගරයේ පැවැති හත්වැනි ලෝක කාන්තා නායකත්ව කොංග්‍රසයේදී පුරෝගාමී කාන්තා නායකත්වය යන සම්මානය ලබා ගැනීමට ඇය සමත් වුවාය. ඇය නමින් ආචාර්ය කල්පනා අඹේපිටියයි. ඇය මෙරට කාන්තා පරපුරටම අභිමානයක් වන නිසාම මෙවර ‘wonder woman’ ඉඩ ඇය වෙනුවෙන් වෙන් විය.

“මම කල්පනා අයේපිටිය. ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අංශයේ ජේෂ්ඨ කථිකාචාර්යවරියක්. මීට අමතරව මම ඇතැම් ව්‍යාපෘතිවල උපදේශකවරියක ලෙස සේවය කරනවා. මම ආචාර්ය උපාධිය කළේ කළේ ව්‍යවසායකත්ව අංශයෙන්. ඒ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට උපදේශන ලබාදෙන්න හැකියාව මට ලැබී තිබෙනවා. ව්‍යාපාර සංවර්ධනය, අලෙවිකරණය අංශවලින් මම මෙරට ව්‍යාපාරවලට දැනුම ලබා දෙමින් හැකි සෑම ආකාරයටම උදවු කරනවා.

මම පාසල් තුනකින් මූලික අධ්‍යාපනය ලබා තිබෙනවා. ගම්පොළ ශාන්ත ජෝශප් විදුහලෙන් අධ්‍යාපනය ලබන කාලයේදී  තමයි මගේ අධ්‍යාපනය සම්බන්ධ විශේෂ කුසලතාවන් පෙන්නුම් කෙරුණේ. ඉන්පසුව මම මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. උසස් පෙළ සමත් වුණාට පසුව මම කැලණිය විශ්ව විද්‍යාලයට අලෙවිකරණ කළමනාකරණය පිළිබඳ අවුරුදු 4ක විශේෂ උපාධියක්
හැදෑරීමට තේරී පත් වුණා. මම හැදෑරුව විෂය අලෙවිකරණය නිසා උපාධියෙන් පසු පෞද්ගලික අංශයට එකතු වී රැකියාවක නිරත වුණා. අවුරුදු කිහිපයක් සේවය කර මම මගේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාදිය ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලයේ ආරම්භ කළා. එහි අධ්‍යන කටයුතු මම ලංකාවේදීත් ඉන්දියාවේදීත් අවසන් කළා. ඒ අතරම කොළඹ විශ්වවිද්‍යාලයට සම්බන්ධ වී රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරුවා. 

මම පෞද්ගලික අංශයේ සේවය කරද්දී බොහොමයක් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනවල කථිකාචාර්යවරියක ලෙස සේවය කර තිබෙනවා. ඒ ආභාසය නිසයි මම සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලය සමග සම්බන්ධ වුණේ. එහි වසර දෙකක් පමණ සේවය කරන විට ආචාර්ය උපාධියේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්වයකින් මම චීනයට ගියා.

මට පසුගියදා ඉන්දියාවේදී ලැබුණු සම්මානය මේ සියලු දෙයකින්ම ලද සන්ධිස්ථානයක් ලෙසයි මම දකින්නේ. ලංකාවේ තිබෙන රජයේ විශ්වවිද්‍යාලවලින් සිසුන්ට බොහෝ අවස්ථාවන් ලැබෙනවා. පත පොතේ කටයුතු පමණක් නොවෙයි, මිනිස්සු එළියෙන් දකින දේට වඩා බොහෝ දේවල් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරයේ තිබෙනවා. නුවර පාසලක ඉගෙනුම ලබලා කොළඹ විශ්වවිද්‍යාලයකට ආවහම මට හදාගන්න ගොඩක් දේවල් තිබුණා. විශ්වවිද්‍යාල ජීවිතයේදී මම බාහිර කටයුතුවලට බොහෝමයක් සම්බන්ධ වුණා.මම කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සාර්ක් ක්‍රීඩා උළෙල ලංකාවේ පැවැත්වුණා. 

එහිදී  විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග කටයුතු කරන නිලධාරීන් ලෙස අපිට එකතුවෙන්න අවස්ථාවක් ලැබුණා. මට කටයුතු කරන්න ලැබුණේ බංග්ලාදේශ කරාතේ කණ්ඩායම සමගයි. මේ බංග්ලාදේශ කණ්ඩායමත් එක්ක වැඩ කරන්න මාත් සමග කටයුතු කළ අයගෙන් අපි හොඳ කණ්ඩායමක් හදාගත්තා. එම කණ්ඩායමේ එක් අයෙක්ට හරිත දේශපාලනය ගැන අත්දැකීම් තිබුණා. ඒ අනුව අපි කල්පනා කළා තරුණ සංවිධානයක් විදිහට සමාජ ආර්ථික හා පරිසරමය වශයෙන් රටේ සංවර්ධනයට දායක වෙන්නේ කොහොමද කියලා. 2008 වර්ෂය වෙනකොට ලෝකයේ හැම තැනකම හරිත දේශපාලනය ගැන කතාවෙන්න පටන් ගෙන තිබුණා. ‘Sustainable Development Goals’ ගැන කතා කරන්න ලෝකයේ බොහෝ රටවල් ආරම්භ කර තිබුණා. ඒ අනුව අපි සාර්ක් ක්‍රීඩා උළෙලේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව අපේ යාළුකම නවත්තන්නෙ නැතුව කුඩාවට සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ හරහා අපි ‘Global Greens’ එනම් ලෝකයේ තිබෙන හරිත පක්ෂවල එකතුවට අපි සම්බන්ධ වුණා. ඒ වෙද්දී ලංකාවේ හරිත පක්ෂයක් කියලා දෙයක් ලියාපදිංචි වෙලා තිබුණේ නැහැ. ඒ නිසාත්, අපි තරුණ කණ්ඩායමක් නිසාත් අපිට සාමාජිකත්වය පහසුවෙන් හිමි වුණා. ඒ අනුව 2008දී මම පළමු වරට ලංකාවෙන් පිටතට ගිහින් බ්‍රසීලයේදී සමුළුවකට සහභාගි වුණා. ඒ ‘Global Greens’ සමාජයේ තුන්වැනි නිල සැසියයි.රටවල් එකසිය ගණනක් සහභාගි වුණු එය විශාල සමුළුවක්. 

එහි ‘Global Young Greens’ නමැති තරුණ කණ්ඩායම සමග සම්බන්ධ වීමට මට අවස්ථාව ලැබුණා. ඒ අනුව මට ලෝකයේ සිදුවෙන දේවල් පිළිබඳව හොඳ දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. මේ හරහා මට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පවා සංවිධානය කරන සමුළුවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එයින් මට ලොකු Exposure එකක් ලැබුණා. මම කොහොමත් දැනුම සොයාගෙන යන කෙනෙක්. මම විවිධ දේවල් අත්හදා බලන්න කැමතියි. 2010 වර්ෂයේ ‘ Global Young Greens ’ සමුළුව ජර්මනියේදී පැවැත්වුණා. එහිදී ඡන්දයක් හරහා Cheering Committee එකට මාව තේරී පත් වුණා. එය ඔවුන්ගේ මෙහෙයුම් කමිටුවයි. එහි ‘ආසියානු පැසිෆික්’ කලාපයේ නියෝජිතවරිය බවට පත් වුණේ මමයි. ‘ Global Young Greens ’ හා ‘ Global Greens ’ සංවිධායේ සමුළු සඳහා සහභාගි වුණ මෙන්ම තනතුරු සඳහා පත්වූ පළමු ශ්‍රී ලාංකික කාන්තාව මමයි. එම තනතුරත් සමග මට විවිධ රටවල්වල සංචාරය කරන්න ලැබුණා. ලෝකය දැකලා ලබාගත් දැනුම අනුව සාමාන්‍ය මනුෂ්‍යයෙකුට වඩා ලෝකයේ සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ මට දැනුමක් තිබෙනවා. මිනිස්සුන්ට ජීවත් වීමට අවශ්‍ය දේවල් මොනවාද? ජාතිවාදය ආරම්භ වෙන්නෙ කොතනින්ද? වැනි කාරණා රාශියක් පිළිබඳ මට දැනුම තිබෙනවා. ඒ දවස්වල අපි පරිසරය වෙනුවෙන් බොහෝ වැඩ කළා. හරිත දේශපාලනයේ ප්‍රධාන දෙයක් තමයි පරිසරය. මගේ මවගේ ආභාසය නිසා පරිසරය සම්බන්ධව කුඩා කාලයේ ඉඳන්ම වැඩ කරන්න මම පුරුදු වෙලා හිටියා. වාණිජ විෂයන්වලින් ඉගෙනුම ලැබුවත් සතුන් ගැන පොතපත කියවලා හොඳ දැනුමක් මා තුළ තිබුණා. දේශගුණික විපර්යාස ගැන ලෝකෙම කතා කරන කාලෙක අපේ රටේ පරිසර අමාත්‍යාංශයත් එක්ක විවිධ වැඩකටයුතු අපි සිදු කළා. නමුත් මට ලැබුණු තනතුරත් එක්ක මට බොහෝ සේවාවන් කරන්න සිදුවුණේ ජාත්‍යන්තර මට්ටමෙන්. එම තනතුරෙන් පසුව ආසියානු පැසිෆික් කලාපයේ Green Federation Coordinating Committee Member’ තනතුරකට පත් වුණා. මේ සියලු කටයුතු අතරතුර තමයි මගේ අධ්‍යාපන කටයුතු නිම කළේ. 

මගේ දායකත්වය දේශපාලනික හා පරිසරය වශයෙන් ලබාදී තිබෙනවා. මෙහෙම කටයුතු කරද්දී ලෝකයේ බොහෝ දෙනා මම ගැන දැනුම්වත් වී තිබුණා. එම පිරිස තමයි මාව ලෝක කාන්තා නායකත්ව කොංග්‍රසයේදී පුරෝගාමී කාන්තා නායකත්වයට හිමි සම්මානයට නිර්දේශ කර තිබුණේ. ඒ සම්මානයේ අරමුණ වෙලා තිබුණේ නිතරම මාධ්‍යයෙන් කතාබහ නොකෙරෙන, අනාගතයේ ලෝකයට ලොකු දායකත්වයක් සපයන්නට පුළුවන් පුද්ගලයන්ව සම්මානයට පාත්‍ර කිරීමයි. ඔවුන්ට මාව නිර්දේශ කරන්න ඒ වෙද්දී මම ආචාර්ය උපාධිය ලබාගෙන තිබීමත් හේතුවක් වී තිබුණා. ඒ වගේම මම හොඳ පරීක්ෂණ නිබන්ධන කිහිපයක් පිළිගත්ත ජර්නල්වල පළ කර තිබුණා. ඒ වගේම ලෝක කාන්තා දේශපාලනයට මම ලබාදී තිබුණු දායකත්වය හා මගේ චිත්‍ර කලා හැකියාවනුත් ඔවුන් මෙම සම්මානය සඳහා සලකා බලා තිබුණා. චිත්‍ර කලාව සම්බන්ධයෙනුත් මට අන්තර්ජාතික හා ජාතික තලයේ බොහෝ ජයග්‍රහණ ලැබී තිබෙනවා.

බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලවල කථිකාචාර්යවරුන් හට තිබෙන්නේ තමන්ගේ විෂය සම්බන්ධ දැනුම පමණයි. නමුත් මම විශ්වවිද්‍යාලය ඇතුළේ විෂයන් තුනකට සම්බන්ධව වැඩ කරනවා. මම තුන් ආකාරයක විෂයයන් තුනක් විශ්වවිද්‍යාලය ඇතුළේ ශිෂ්‍යයන්ට උගන්වනු ලබනවා. මගේ ආචාර්ය උපාධියේ විෂය වුණේ ව්‍යවසායකත්වයයි. එහිදීත් මම තෝරා ගත්තේ කාන්තා ව්‍යවසායකත්වය. ඉදිරියේ මගේ අරමුණ වී තිබෙන්නේ කාන්තාවන්ව බලගන්වන එකයි. ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය වැඩි කරනවාට අමතරව ඔවුන්ව වැටෙන්නට නොදී බලාගන්න එකත් මගේ අරමුණක්. කාන්තාවක් යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කළාම එය ආරම්භකළ ආකාරයටම පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. නමුත් සිදුවිය යුත්තේ වැඩිදියුණු කිරීමයි.

ව්‍යවසායකත්වය, අලෙවිකරණය පිළිබඳව මෙන්ම ‘Disaster Management’ යන විෂයන් තුනයි මම විශ්වවිද්‍යාලයේදී සිසුන්ට උගන්වනු ලබන්නේ. ‘Disaster Management’ විෂය උගන්වන්න මට Paper Qualifications නැහැ. නමුත් ඒ සම්බන්ධ පොතපත සහ Research පරිශීලනය කරලා මට හොඳ දැනුමක් තිබෙනවා. ඒ අනුව මට ‘Disaster Management Ministry’ එකට උපදෙස් දෙන්න තරම් දැනුමක් තිබෙනවා.

මගේ චිත්‍ර කලාවට තිබෙන දැනුම මම දැන් එක පැත්තකට යොමු කර තිබෙනවා. ඒ පුරා ජීව විද්‍යාව විද්‍යවයි. ඒ අනුව මගේ අවධානය යොමුවෙලා තියෙන්නේ ඩයිනෝසරයන් පිළිබඳවයි. මෙය එතරම් පහසු දෙයක් නොවේ. ඒ සඳහා මම ඇමෙරිකාවේ සිටින පුරාජීව විද්‍යාඥයන් කිහිපදෙනෙක් සමග සම්බන්ධ වී සිටිනවා. ඔවුන්ගෙන් ලබන උපදෙස් අනුව මම ඩයිනෝසරයන් චිත්‍රණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුකරනු ලබනවා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුවක් තිබෙනවා ලංකාවේ ප්‍රථම පුරාජීව විද්‍යාවට සම්බන්ධ චිත්‍ර ප්‍රදර්ශනය සිදුකරන්නට.

මං පරිසරය ගැන කතා කරද්දී තිරසාර සංවර්ධනයත් එක්ක පරිසරය ගැන කතා කිරීම තමයි බොහෝ වෙලාවට සිදු කරන්නේ. එයට Disaster Management කියන පැතිකඩක් මම එකතු කරනවා. පරිසරය සහ කාන්තාව කියන මාතෘකා අරගෙන මං බොහෝ දේවල් කතා කර තිබෙනවා.

මගේ ආචාර්ය උපාධියේදී මගේ අවධානය යොමු වුණේ කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳවයි. එහිදී මට ලංකාවේත් ලෝකයේ අනෙක් රටවලත් තිබෙන ප්‍රධාන වෙනසක් හඳුනා ගන්නට ලැබුණා. ඒ තමයි ලංකාවේ කාන්තාවන්ට ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් යමක් කරන්න හොඳ උනන්දුවක් තිබෙන බව. ලංකාවේ කාන්තාවන්ට ‘ Multitasking’ දැරීමේ හොඳ හැකියාවක් තිබෙනවා. නමුත් ඔවුන් ව්‍යාපාරයක් පටන් ගන්න ලොකු බයකින් ජීවත් වෙන්නේ. විශේෂයෙන් ව්‍යාපාරය සාර්ථක නොවේවිද? කියලා බියක් ඔවුන් තුළ තිබෙනවා. ව්‍යාපාරය අසාර්ථක වුණොත් ජීවිතයේම අසාර්ථක වෙයි කියලා බයක් ඔවුන්ට තියෙනවා. සුළු හෝ මධ්‍ය පරිමාණ හෝ වේවා ව්‍යාපාරයක් පටන් ගන්න ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය මුදල් ලෙසයි පිටතින් පෙනෙන්නේ. 

නමුත් ලංකාවේ අභ්‍යන්තරයට ගිහින් බැලුවොත් තියෙන ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ ඒවාට අවශ්‍ය නිසි දැනුම නොමැතිකමයි. ඇත්තටම දැනුම ලබාදෙන්න පුළුවන් නම්, මගපෙන්වීම ලබා දෙන්න පුළුවන් නම් ඔවුන්ට මූල්‍යමය ගැටලු එතරම් ලොකු දෙයක් නොවේ. මේ වගේ දැනුම අඩු පිරිස් බොහෝ අවස්ථාවලට රැවටීම්වලට ලක්වෙනවා. විශේෂයෙන් මෙවැනි කාන්තාවන්ට ණය දීලා රවට්ටනවා අපිට දකින්නට පුළුවන්. ඒ නිසා ව්‍යාපාරය සම්බන්ධයෙන් කාන්තාවන්ට දැනුම ලබාදිය යුතුයි. මෙරට පැවැති බොහෝ රජයන් ව්‍යාපාර පටන් ගන්න මූල්‍යමය ආධාර ලබාදෙනවා කියලා කිව්වට ඒවා ඇත්තටම ප්‍රමාණවත් නැහැ. මෙවන් ව්‍යාපෘති හදුන්වා දෙනවිට අපි සිදුකළ යුත්තේ ඔවුන්ගේ ආකල්ප වර්ධනය කරන වැඩසටහන් සමග මේ වගේ ව්‍යාපෘති ආරම්භ කිරීමයි. අපි කාන්තාවෝ ගැන බැලුවොත් අාප්ප හදන කාන්තාවක් හැමදාම එකම තැනට වෙලා ඒකමයි කරන්නේ. එය දියුණුවෙන් දියුණුවට පත් කරගෙන Restaurant එකක් බවට පත්කරගන්න කට්ටිය හරිම අඩුයි. මෙය වෙනස් කරගන්න නම් අපි ඔවුන්ට ලබාදිය යුත්තේ මූල්‍ය පහසුකම්වලට වඩා යමක් කළ හැකියි කියන ධනාත්මක ආකල්ප වර්ධනය සමග හොඳ උපදේශනයකුයි.

බොහෝ ගැටලුවලදී කාන්තාවන් සිදු කරන්නේ යම්කිසි වටිනා දෙයක් උකස් කර හෝ විදේශගත වීමයි. ඒවා ලේසි දේවල් කියලා අපි සමාජයට පෙන්වලා දීලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය කරලා ගාමන්ට් එකක රැකියාවට යන එක ලේසියි කියලා අපි කාන්තාවන්ට පෙන්වලා දීලා තියෙනවා. මේ විදිහටම තමයි අපි අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ඔළු හදලා තියෙන්නේ. අපේ ළමයින්ගේ ඔළු හදලා තියෙන්නේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තට පසුව රජයේ රැකියාවක් ලබාදෙනතුරු ඉඳලා අවසානයේ විශ්‍රාම වැටුප් අත්කරගෙන ජීවත් වෙන එක හරිම පහසුයි කියලායි. මම විශ්වවිද්‍යාලය තුළත් බොහෝ මහන්සි වෙනවා මගේ එක ශිෂ්‍යයෙකු හරි සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත් කරන්න. 

අපි අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටින ගැහැනු ළමයි පිළිබඳව බැලුවොත් ඔවුන් ඉගෙනගන්න දක්ෂයි. මැරීගෙන පාඩම් කරනවා. සටහන් පිළිවෙළට තබා ගන්නවා. කණ්ඩායම් වැඩවලදී නායකත්වය ගන්නේ ඔවුන්. විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීත් ඉදිරියට එන්නේ ඔවුන්. මේ හැම කටයුත්තකදීම අපේ පිරිමි ළමයි Backward වෙලා. මේ ප්‍රවණතාව දැන් වෙනත් රටවල්වලදීත් මම දැකලා තියෙනවා. ඒ නිසා මම තේරුම් ගත්ත දෙයක් තමයි අනාගතයේ කාන්තාවන්ව තමයි ව්‍යවසායකත්වයට පත් කරගත යුත්තේ කියන දෙය.

ලංකාවේ කාන්තාවන් ව්‍යවසායිකාවන් බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ සිතුවිලි වෙනස් කරන්න අපහසු වෙන්නට එක හේතුවක් තමයි ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ විකාශය කෙරෙන ටෙලි නාට්‍ය. පාසල් යන දරුවෙකු සමීපයේ තියාගෙන බලන්න බැරි තරමේ ටෙලිනාට්‍ය තමයි අද විකාශය වෙන්නේ. මං මගේ පුතාට කියලා තියෙන දෙයක් තමයි අධ්‍යාපනය ලබන කාලයේ ගැහැනු ළමයෙක් පටලව ගන්නවා කියන්නේ වියදමක් දැරීමට සිදුවන දෙයක් බව. මොකද ඉගෙන ගන්න කාලේ ඔවුන් දෙමාපියන්ගෙනුයි යැපෙන්නේ.
අපේ කුඩා කාලයේ අපිට බලන්න ’Discovery’ වගේ පරීක්ෂණ සහ ලෝකය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් විදිහේ වැඩ සටහන් තිබුණා. ඒ වගේම ‘මුතුහර’ වැනි ළමා වැඩසටහන් තිබුණා. අපි කුඩා කාලයේ තිබුණා ‘Below 2000’ කියලා වැඩසටහනක්. එහි නවෝත්පාදන ගැන බොහෝ දැනුම අන්තර්ගතව තිබුණා. ඒ හරහායි මම බොහෝ විදේශ රටවල්වල තිබෙන දැනුම ගැන හොයන්න පටන් ගත්තේ. විශේෂයෙන් නව උත්පාදන ගැන. දැන් ඉන්න ළමයින්ට තියෙන්නේ ඉන්දියාවෙන් ගෙනල්ලා  හඬකවන කාටුන් ටිකක් විතරයි. 

වර්තමාන සමාජයේ බොහෝ දෙනා සමාජ මාධ්‍ය එක්ක එකතු වෙලා ඉන්නවා. මේ සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාව Depress කරනවා. Depress වන ජනතාවක් ඉන්න රටක් කවදාවත් ඉදිරියට යන්නේ නැහැ. මොකද ඔවුන් කවදාවත් “මට පුළුවන්” වගේ ධනාත්මක විදිහට හිතන්නේ නැහැ. නමුත් අපි විදේශ රටවල්, විශේෂයෙන් යුරෝපා රටවල්, ජපානය වගේ රටවල් ගැන බැලුවොත් ඒ රජයන් ඔවුන්ගේ ජනතාවගේ මනස ධනාත්මක අදහස්වලින් පුරවලයි තියෙන්නේ. මිනිස්සු ධනාත්මක වුණොත් තමයි රටක් දියුණුවට පත්වෙන්නේ.

මම ඉන්දියාවේ ඉද්දී දැක්කා තැන තැන ආදරය කරන බොහොමයක් ඉන්නවා. එය ඔවුන්ගේ චිත්‍රපටවලින් ඇතිකර තිබෙන සංස්කෘතියයි. ඒවාවල අන්තර්ගතයි ගහගන්න,කපාගන්න,කොටාගන්න දේවල්. ඒ රටවල්වල ජාතිවාදී සංකල්ප ඇති කරලා තිබෙනවා. ඒ නිසයි මම කියන්නේ මාධ්‍යවලට රටක් සංවර්ධනය කරන්න සිදුකළ හැකි විශාල භූමිකාවක් තියෙනවා කියලා. දේශපාලනයටත් ඒ වගේම විශාල භූමිකාවක් තිබෙනවා තමන්ගේ ජනතාවගේ ‘Attitudes’ වෙනස් කරන්න. නමුත් ඒ කිසිවක් අපේ රටේ සිදුවෙන්නේ නෑ. ඒ නිසයි මම අපේ ගෙදරට ජීවිත කාලෙටම රූපවාහිනියක් මිලදී ගෙන නැත්තේ. අපි අපේ රටෙන් එළියට ගියාම තමයි අපේ රටේ වෙන්නේ මොනවද කියල බලන්න පුළුවන් වෙන්නේ. එතැනදී තමයි අපේ Attitudes වෙනස් වෙන්නේ.

ලංකාවේ කාන්තාවන් බොහෝ වෙලාවට දේශපාලනය කතා කරන්න කැමති නැහැ. එය කාන්තාවන්ට අදාළ නොවන, පිරිමින්ට අදාළ දෙයක් ලෙසයි කාන්තාවන් සිතන්නේ. නමුත් කාන්තාවන් විදිහට අපි වටහාගන්න ඕනේ අපි මිලදී ගන්න සෑම භාණ්ඩයකම දේශපාලනය කියන එක ඇතුළත් වෙලා තියෙනවා කියලා. මොකද මේ මිල තීරණය කරන එකට දේශපාලනය බලපානවා. කාන්තාවන් විදිහට අපි විවෘත මනසකින් යුතු දරුවන් මේ ලෝකෙට හදන්න ඕන. හරි දේ හරි විදියටත්, වැරදි දේ වැරදි විදිහටත් දකින්න පුළුවන් දරුවො අපි හදන්න ඕන. ඔවුනට පුරුදු කරන්න ඕනේ යම්කිසි ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න අවශ්‍ය වුණාම ඒ ආයතනයට අදාළ ක්‍රමවේදය අනුව ගමන් කරන්න. 

එසේ නොමැතිව අපට තියෙන හැඳුනුම්කම් මත හෝ අපි දරන නිලයන් මත, එසේ නොමැති නම් පගා ලබාදී අපේ කටයුතු ඉක්මන් කරගන්න හදනවා නම් එය උචිත වෙන්නේ නැහැ. එහෙම කටයුතු කරන පුරවැසියෝ කොහොමද රටකට නිවැරදි දේශපාලනඥයන් බිහි කරන්නේ. එසේනම් අම්මා කෙනෙකුට ලොකු වගකීමක් තියෙනවා දරුවන්ව නිවැරදි විදිහට හදා වඩා ගන්න. මම කවදාවත් රාජ්‍ය ආයතනයක අනුගමනය කරන ක්‍රියා පටිපාටියෙන් තොරව ගමන් කරලා නැහැ. සාමාන්‍ය පුද්ගලයෙක් විදියට පෝළිමේ ඉඳලා මම මගේ වැඩ කරගෙන එනවා. ඒ වගේම මං කොයිම වෙලාවකවත් කහ ඉර නැත්නම් පාර මාරු වෙන්නේ නැහැ. හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවෙන්නෙ අශිෂ්ට මිනිස්සු. රටක ජීවත් වෙන මිනිස්සු රටේ නීතියට ගරු කරන්න අවශ්‍යයි. මගේ දේශපාලන මැදිහත්වීම තමයි මේක. එහෙම නැතුව ඡන්දය ඉල්ලලා, පාර්ලිමේන්තුවට ගිහිල්ලා වැඩ කරන එක නෙමෙයි. මගේ තියෙන්නේ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන දේශපාලනයක්.

අනාගතයේ අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධනයට බොහෝ වැඩසටහන් කිරීමට මා අධිෂ්ඨාන කරගෙන ඉන්නවා. විශේෂයෙන් කාන්තා ව්‍යවසායකයන් බල ගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳ පොළක් නිර්මාණය කිරීමට මගේ අදහසක් තියෙනවා. මම මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලිවලින් ඉගෙන ගත්ත කෙනෙක්. ලංකාව වගේම ඉන්දියාව හා චීනය මගේ අධ්‍යාපනයට වියදම් කරලා තියෙනවා. ඒ නිසා මුලින් මගේ රටටත්, පසුව ආසියානු කලාපයටත් මගේ දැනුම ලබාදෙන්න මගේ අදහසයි. ඒ අනුව ඉගෙනගත්ත දේවල්වලින් හා මගේ දැනුමෙන් උපරිම දායකත්වයක් රටට හා ලෝකයට ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා. 

සටහන- නදීශානි පතිරණ / ඡායාරූප සරසි නෙත්මිණි

 

 

0 comments

Leave a Reply

Post Comment