වෙළඳපොළේ හාල් හිඟයක් නිර්මාණය වී තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැනවූ ගැසට් නිවේදනයන් අවලංගු නොකර, එම ගැසට් නිවේදන වත්මන් රජයත් ක්‍රියාත්මක කිරීම නිසා බව, එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.

වෙළඳපොළේ පවතින සහල් හිඟය මග හැරවීමට ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් 65,000 ක් අපනයනය කිරීම උත්තරයක් නොවන බවත්, වසර දෙකහමාරකට පෙරාතුව ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහල් සම්බන්ධයෙන් පැනවූ ගැසට් නිවේදන අහෝසිකර  පරණ ගැසට් නිවේදන යාවත්කාලීන කර සහල් හිඟයක් මවා පාන මහා පරිමාණ සහල් ව්‍යාපාරිකයන්ට නව නීති පනවන ලෙසත් පෙරේරා මහතා කීවේය.

පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී 20 වෙනිදා පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා ඒ බව කීවේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදිත් පෙරේරා මහතා මෙසේද පැවසීය.

'' පහුගිය යල කන්නයේදී වී ගොවියාට සහල් මෝල්වලින් ලැබුණු යම් මිලක් තිබෙනවා, ඒ වී මිල පදනම් කරගෙන නව සහල් මිලක් පනවන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම වුණොත් එක රැයින් මේ පවතින සහල් හිඟය සහ මිල අඩු වෙනවා. සහල් ආනයනය කිරීමෙන් වෙළෙඳ පොළේ පවතින මිල පාලනය කරන්න පුළුවන්, සහල් හිඟය පාලනය කරන්න පුළුවන් කියල හිතෙනවා නම් ඒක මිථ්‍යාවක්.

2021 නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ අග භාගය වෙන තුරු සහල් ආනයනය කළා. ඒ අවස්ථාවෙහිදීත් දේශීය සහල් මිල ඉහළ ගියා. දෛනිකව මහබැංකුව නිකුත් කරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සම්බන්ධ වාර්තාවක්. ඕන්නම් ජනාධිපතිතුමාට බලන්න පුළුවන් 2021 නොවැම්බර් මාසයේ තිබුන සහල් මිල සම්බන්ධ තත්ත්වයන්. ඒ නිසා සහල් ආනයනය කිරීමෙන් සහල් මිල පාලනය හෝ සහල් හිඟය නැති කිරීම සිදු වෙලා වෙලා නැහැ.

කොළඹ වරායෙන් ගොඩබාන ආනයනික සහල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ආවේ සහල් නිෂ්පාදනය කරන රාජධානිය වන පොළොන්නරුවට, අනුරාධපුරයට, දඹුල්ලට, මරඳගහමුලට වගේ ප්‍රදේශවලට. ඒ ආපු හාල් ඇසුරුම් මාරු කරලා දේශීය හාල් විදිහට වෙළෙඳපොළට යවන එක තමයි එදා මෙදා තුළ කළේ. සහල් ආනයනය කිරීමෙන් තොරව දේශීය සහල්  වෙළඳපොළ තුළ තබා ගන්නා ගන්නා ක්‍රමවේද පිළිබඳ අප ලිඛිතව ජනාධිපතිවරයා දැනුවත් කළා.

ඒ සහල් ආනයනය කරනවා නම් පුද්ගලික අංශය අවස්ථාව දෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ ආයෙත් හාල්වලින් මහා පරිමාණ ව්‍යාපාරිකයන් ගසා කන එක විතරයි. ඉන්දියාවෙ, ලංකාවෙ, හාල්වල ලොකු වෙනසක් නැහැ. උත්සව කාලවලදී සහල් හිඟය නැති කරගන්න ජනාධිපතිතුමා කටයුතු කරනවා නම්, ඒක පුද්ගලික අංශයට පවරන්න එපා, කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒකට රජය මැදිහත් විය යුතුයි.

ඒ වගේම ආනයනය කරන සහල් සතොස, හා සුපිරි වෙළෙඳසැල් හරහා හෝ සමූපකාර මගින්   පාරිභෝගිකයන්ට ලබාදෙන ලෙස අපි ඉල්ලීමක් කරනවා. එහෙම නැති උනොත් වරායෙන් පොළොන්නරුවට, අනුරාධපුරයට, මරඳගහමුලට එයි. ඒවායේ ඇසුරුම් වෙනස් වෙලා දේශීය හාල් විදිහට වැඩි මිලට වෙළෙඳපොළට යයි. ලංකාවේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයන් ඔබතුමාට ලණු දුන්නා. අපි යළිත් අවධාරණය කරනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා  අමාරුවේ දාපු සහල් ව්‍යාපාරිකයන්ගෙන් ඔබතුමා ප්‍රවේශම් වන්න කියලා. ”

මනම්පිටිය නිමල් ජයරත්න

0 comments

Leave a Reply

Post Comment