• කෑගල්ල චමින්ද ජයලත්

 

2024 වර්ෂයේ දෙස් විදෙස් සංචාරකයන් හය ලක්ෂ පනස්දහස් හැත්තෑ හතක් පින්නවල අලි අනාථාගාරය නරඹා ඇති බවත්, මුළු ආදායම මිලියන 956ක් බවත් පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා ඊයේ (20දා) පැවසීය.

එහිදී දේශීය සංචාරකයන් හාරලක්ෂ හැත්තෑ හත්දහස් එකසිය තිස්හතක් හා විදේශ සංචාරකයන් එක් ලක්ෂ හැත්තෑ දෙදහස් නවසිය හතළිහක් පින්නවල අලි අනාථාගාරය නරඹා ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

2024 වර්ෂයේ දෙසැම්බර් මස සංචාරකයන් වැඩි පිරිසක් අලි අනාථාගාරය නරඹා ඇති අතර, වසරේ මුළු ආදායමෙන් මිලියන 107ක් දෙසැම්බර් මස උපයා තිබීම මෙහිදී විශේෂත්වයකි. විදේශ සංචාරකයන් වැඩි පිරිසක් අලි පැටවුන්ට කිරි පෙවීමටත්, ⁣අලි ඇතුන්ට පලතුරු කැවීමටත් මා ඔයේ දිය නාන අලි ඇතුන් නැරඹීමටත් දැඩි උනන්දුවක් දක්වති. කෝවිඩි වසංගතයෙන් පසුව වැඩිම ආදායම උපයා ඇති වර්ෂය ලෙස 2024 වර්ෂය සැලකිය හැකි බව පැවසූ සහකාර අධ්‍යක්ෂවරයා, ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් 10%ක් වැනි සුළු පිරිසක් පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන බවද පැවසීය.

පින්නවල අලි අනාථාගාරයේ දැනට අලි ඇතුන් 68දෙනෙක් සෙවණ ලබන අතර, ඉන් පිරිමි සතුන් 20ක්ද, ගැහැනු සතුන් 48ක්ද සිටිති.

 

0 comments

Leave a Reply

Post Comment