භාෂාව හා සන්නිවේදන කුසලතාද දරුවාගේ සංවර්ධනයට තීරණාත්මක බලපෑමක් කරයි. සමාජානුයෝජනයට හා තමා ජීවත්වන පරිසරය සමග මනා සබඳතාවක් පවත්වා ගැනීමට මෙය මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම තමාගේ හැඟීම්, දැනීම්, අවශ්‍යතා ප්‍රකාශ කිරීමට භාෂාව උපකාර වේ. ජීව විද්‍යාත්මකවද භාෂාව කෙරෙහි බලපෑමක් ඇත.

උපස්ථම්භනය, අනුකරණය, නිරීක්ෂණය තුළින් ළදරුවා භාෂාව ඉගෙන ගනී. තවද පරසරය සමග ගැටීමෙන් ගැටලු විසඳීමේදී හා ඉගෙනීමෙහි යෙදීම මගින් භාෂාව ඉගෙන ගනී. පරිසරය, සමාජීය වාතාවරණය, මානසික අවශතා භාෂා වර්ධනයට හේතු වේ. පළමුවැනි මාස 02-03 තුළදී කටහඬින් කළ හැකි සියලුම ශබ්ධ උච්චාරණය කරයි. ප්‍රථම ශබ්දය ඇතිවන්නේ ඉබේමය. 

ළදරුවෙකු පළමු මාස 06 වනවිට උච්චාරණයට අවශ්‍ය සියලුම ශබ්දයන් ඉගෙන ගෙන අවසානය. මාස 06 පමණ වනවිට එම සංස්කෘතියට අනුව ශබ්ද උච්චාරණය කරන (බබබ...අමි...අමි...) එනම්, බිළිඳු බස් මගින් වයස මාස 12 - 15ත් අතර වචන ලෙසද, අවුරුදු 4 - 5 වනවිට වාක්‍යය ගැලපීමද සිදුකරයි. අවුරුදු 2 වනවිට තාත්වික කතා කිරීම ආරම්භ වේ.

දරුවෙකු මාස 10-15 අතරේදී පූර්ණ වචන උච්චාරණය කරයි. මාස 20 වනවිට 80%ක් නාම පද සහ 20% ක්‍රියාපදත් කතා කරන අතර, අවුරුදු 2 වනවිට 63%ක් නාමපද උච්චාරණය කිරීමට පුරුදු වේ.

ස්වභාවික ලෙස යම් රටක භාෂාව ඒ ආකාරයෙන්ම හැසිරවීමට නම් අවුරුදු 12ට පෙර එය ඉගෙන ගත යුතුය.

මාස 09-18 පමණ වනවිට පළමු වචන උච්චාරණය කරයි. නිදසුන් ලෙස අම්මා, තාත්තා වැනි වචන උච්චාරණය මෙම කාලයේදී සිදුකරයි. මාස 19 පමණ වනවිට ඔවුන්ට තේරුම් ගත හැකි වචන මාලාව 50-150 අතර පවතී.

වයස අවුරුදු දෙක අවසාන වනවිට 300ක් පමණ උච්චාරණ කළ හැකි අතර, ඔවුන්ට වචන 1000ක් පමණ තේරුම් ගතහැකිය. මාස 18 - 24ත් අතර වචන 02ක් ගළපමින් කතා කරයි. අවුරුදු 03 පමණ වනවිට ළමයා අතීත සිදුවීම් පිළිබඳවද කතා කරයි. එම සිදුවීම් සෙල්ලම් කිරීමේදී අනුකරණය කරයි.

වයස අවුරුදු 4 - 5දී පමණ දරුවා භාෂාව මගින් තමාගේ සිතිවිලි හොඳින් විස්තර කරයි. යම් යම් දේ පිළිබඳව වඩාත් සවිස්තරාත්මකව පැහැදිලි ලෙස කතා කරයි. එය වැඩිහිටියෙකුගේ භාෂාව හැසිරවීමට ආසන්නය.

අවුරුදු 06-10දී පමණ ඔවුන්ගේ වාචසික භාෂාව තවදුරටත් පුළුල් වේ. සරල කියවීමෙන් හා ලිවීමෙන් එම හැකියාව දියුණුවේ. අවුරුදු 12න් පසු ඔවුන්ගේ වචන මාලාව තව දුරටත් දියුණු වෙමින් ව්‍යාකරණ කුසලතාව, සංකීර්ණ වාක්‍ය යොදා ගැනීම, කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව වර්ධනය වේ. මෙම තත්ත්වයන්ට ඒ ඒ වයසට අනුගත නොවන දරුවන් පිළිබඳව දෙමව්පියන් විශේෂ සැලකිල්ලක් දක්වා අදාළ විශේෂඥයන් වෙත යොමු කිරීම වඩා වැදගත් වේ.

උපදෙස් - FLIP Foundation  ( Focuse on Literacy Improvement by Practice ) ආයතනයේ සම අධ්‍යක්ෂිකා ගෝතමී රාජපක්ෂ (B.Ed(UG)/ Dip. in Teaching /Dip. in S.N.E)

නදීෂානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment