ලංකාවේ තරුණ ජනගහනයෙන් 1/3ක් කිසියම් හෝ රැකියාවක නිරත වේ. සේවා නියුක්තියෙන් 1/10ක් රජයේ රැකියාවලද, 9/10ක් පෞද්ගලික රැකියාවලද නිරත වේ. වර්තමානයේ මෙරට යැපුම් කාන්තාවන්ගේ ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවී තිබේ. එවන් පරිසරයක නිවසේ හා රැකියාවේ කටයුතු සමබරව කරගෙන යෑමේදී විවිධ ගැටලුවලට මුහුණ දීමට ඇයට අනිවාර්යයෙන් සිදුවේ.
මෙම ගැටලු හේතුවෙන් මානසික ආතතියකට පත්ව රැකියාවෙන් ඉවත් වන තැනට පත්වීමට පෙර මෙම උපදෙස් අපි ඔබ වෙත ගෙන එන්නට සිතුවෙමු. මෙම උපදෙස් ඔබ වෙත ගෙන එනු ලබනුයේ මනෝවිද්‍යාඥ හා කථිකාචාර්ය ‘The Helping Hand’ මානසික සෞඛ්‍ය රෝහලේ අධ්‍යක්‍ෂ තාරු පරණවිතාන විසිනි.
“අපේ රටේ කාන්තාවන්ගේ රැකියා නියුක්තිය ශීඝ්‍රයෙන් වැඩි වී තිබෙනවා. ඒ වගේම ලංකාවේ කාන්තාවන්ගේ අධ්‍යාපන මට්ටමද පිරිමින්ට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කාන්තාවන්ට රැකියා අවස්ථා රාශියක් විවෘත වී තිබෙනවා. අතීතයේ කාන්තාවන්ට විවෘත නොවූ රැකියා පවා දැන් කාන්තාවන්ට විවෘත වෙලා. ඒ අනුව රටේ සංවර්ධනයට කාන්තාවන්ගේ සහභාගිත්වය වැඩිවෙලා තිබෙනවා.
රැකියාවේ නිරතවන කාන්තාවක් පිළිබඳ අපි බැලුවොත් ප්‍රාථමික මට්ටමේ රැකියාවක හෝ ඉහළම යැයි සලකන රැකියාවක හෝ වේවා කටයුතු කරන ඕනෑම කෙනෙකුට ගැටලුවලට මුහුණ පෑමට සිදුවෙනවා. නමුත් මේ ගැටලුවලින් නිරන්තරයෙන්ම පීඩා විඳිනුයේ එක්තරා කොටසක් පමණයි. රැකියා ස්ථානයේ ගැටලු ආවත් ඒවා කළමනාකරණය කර ගැනීමට හැකි පිරිසක් සිටිනවා. නමුත් යම් පිරිසක් ඉන්නවා එම හැකියාව නොමැති අය.
රැකියා ස්ථානයක සිටින කාන්තාවන්ට ඇතිවන ගැටලු තුනක් ප්‍රධාන වශයෙන් අප විසින් හඳුනාගනු ලබනවා.
- පුද්ගල දුර්වලතා නිසා ඇතිවන ගැටලු
- ආයතන දුර්වලතා නිසා ඇතිවන ගැටලු
- පෞද්ගලික මානසික තත්ත්ව නිසා ඇතිවන ගැටලු යනු එම තුනයි.
පුද්ගල දුර්වලතා පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපි කොයි කවුරුන් තුළ වුණත් හොඳ හා නරක කියන පැති දෙකක් තිබෙනවා. අයහපත් තත්ත්වය අඩු කරගෙන, යහපත් තත්ත්වය වැඩි දියුණු කරගැනීමෙන් තමයි අපි සමාජයේ ජීවත් විය යුත්තේ. එහිදී මනෝ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා සෑම පුද්ගලයෙක් තුළම තිබෙන අංශ 4ක්. ඒවා නම්
- මම මම ගැන දන්නා දෙය
- මම දන්න නමුත් අනෙක් අය මා ගැන නොදන්නා දෙය
- මම නොදන්න මගේ ගැන අනෙකා දන්න දෙය
- මමත් නොදන්න, අනෙකාත් නොදන්න දෙය
එසේ නම් මම ගැන දන්නේ මම විතරයි, මම අංග සම්පූර්ණයි, මගේ කිසිම දුර්වලතාවක් නැහැ කියලා අපි හිතන එක වැරදියි. මොකද මම නොදන්න අනෙක් අය දකින කොටසකුත් අපි තුළ තිබෙනවා. යම් අයෙක් අපේ දුර්වලකමක් පෙන්වුවොත් අපි හිතනවා නැහැ ඔවුන්ට වැරදිලා ඇති මම එහෙම නොවෙයි කියලා. නමුත් කවුරුන් හරි අපේ දුර්වලකමක් පෙන්වා දෙනවා නම් අපි හිතන්න ඕන මම මම ගැන නොදන්නා දෙයක් ඔවුන් දකිනවා ඇති කියලා. එසේ නම් එය අපි සොයාගත යුතුයි. බොහෝ වෙලාවට රැකියාවේ නිරත වන කාන්තාවට බහුලව ගැටලු ඇතිවන්නේ අපි තුළ පවතින දුර්වලතා නිසයි.
ආයතනයක් කියන්නේ වෙනමම සමාජයක්. ඒ සමාජය තුළ ජීවත් වෙන්නට හා ක්‍රියාකාරී වෙන්නට පුද්ගලයාට වෙනමම හැසිරීම් රටාවක් තිබිය යුතුයි. එය පෞද්ගලික හැසිරීම් රටාවෙන් වෙනස් විය යුතුයි. එසේ නම් නිවසේ හැසිරෙන ආකාරයට අපිට ආයතනයේ හැසිරෙන්නට බැහැ. එසේනම් අපි අපේ කතාව පාලනය කරගන්නට අවශ්‍යයි. අපේ හැසිරීම් හා සිතුවිලි පාලනය කරගනිමින් අනෙකාට හානි නොවන ලෙස කටයුතු කළ යුතුයි.
- රැකියා ස්ථානයක කටයුතු කරද්දී වෙනමම ප්‍රතිපත්ති කිහිපයක් පවත්වාගෙන යා යුතුයි. ඒවා නම්
- අනෙකා විවේචනය නොකිරීම - අනෙකාගේ ගැටලුව තමාට අදාළ නොවන බව මෙහිදී වටහාගත යුතුයි
මිත්‍රශීලී භාවය - රැකියා ස්ථානයේදී කවුරුවත් අපිත් එක්ක මිත්‍රවන්න එන්නේ නැහැ. අපියි ගිහින් ඔවුන් සමග කතාබහ කර මිත්‍රශීලී භාවය ඇති කරගත යුතු වන්නේ. මිත්‍රශීලී කෙනෙකුට ඕනෑම කෙනෙක් කැමතියි වගේම එවැනි පුද්ගලයන්ට ආයතනයක රැඳෙන්නට හැකියි. ඔවුන්ට ප්‍රශ්න ඇතිවෙනවා හරිම අඩුයි.
අවංක භාවය - ලෝකයේ පිරිමින්ට වඩා අවංක භාවයෙන් ඉහළ තැනක කාන්තාවන් සිටිනවා. රැකියා ස්ථානයේ අඩුවෙන්ම වැරදි කරන්නේ කාන්තාවන්. ඒ වගේම සොරකම් හා වංචාවන්ට පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් දායක වෙන්නේ ඉතාම අඩුවෙන්. මේ නිසයි දේශපාලන හා ආර්ථික කටයුතුවලට කාන්තාවන් වැඩි වශයෙන් දායක කරගන්නට බොහෝ රටවල් උත්සහ ගන්නේ. කාන්තාවන්ගේ අරපිරිමැස්ම වැඩිවීමත් එයට දායක වෙනවා. එය නවීන වෘත්තිකයන් හොඳින් දන්නවා.
නම්‍යශීලී හා මිත්‍රශීලීභාවය - කාන්තාවන් එකිනෙකාට ගරු කරන ස්වභාවය ඉතා ඉහළයි. තමන්ට තේ එක ගේන පුද්ගලයාගේ සිට ආයතනයේ ඉහළම පුද්ගලයා දක්වා ගෞරව කළ යුතුයි. මේ සරල ක්‍රම අනුගමනය කරනවා නම් අපිට ආයතනයක රැඳී සිටීමට ඉතාමත්ම පහසුයි.
ආයතනික දුර්වලතා නිසාත් පුද්ගලයන් ආතතියට පත්වෙනවා. දුර්වල කළමනාකාරීත්වය නිසා සේවකයාට ඇති කෙරෙන තාඩන පීඩන හා මානසික පීඩනය අධිකයි. එවිට එවැනි ආයතනයක දිගින් දිගටම රැඳී සිටිනවාද ? නැතිද? කියන දේ තීරණය කළ යුතුයි. නමුත් ඕනෑම ආයතනයක ගැටලු තිබෙනවා. ඉතින් මේ ඉවත්ව යෑමේ තීරණය ක්ෂණිකව නොගෙන අපි සිතා බැලීමට අවශ්‍යයි ඒවා නිහඬව යම් කිසි කාලයක් අවබෝධ කරගන්නට. ඒ අනුව වෘත්තීයමය පරිසරය නිහඬව නිරීක්ෂණය කර එහි සිටින පුද්ගලයන් අවබෝධ කර ගැනීමට අවශ්‍යයි. එසේ රැඳෙමින් තමන්ගේ පළපුරුද්ද වැඩි කරගත යුතුයි.
යම් සේවකයෙකුගේ පළපුරුද්ද වැඩි වන විට එම ආයතනයෙන් පලායෑමට දරන උත්සාහය අඩුයි. කිසිම ආයතනයක් අංග සම්පූර්ණ ලෙස සේවකයන්ට සලකන්නේ නැහැ. ඒ නිසා අපේ පළපුරුද්ද ලැබෙන තෙක් අවුරුද්දක් දෙකක් හෝ රැඳී සිටීමට උත්සාහ දැරිය යුතුයි. ඉතා කෙටි කාලයකින් රැකියාවට සමුදීමට පෙලඹෙනුයේ පළපුරුද්ද අඩු අයයි.
මීළඟට මානසික ගැටලු පිළිබඳ අවධානය යොමු කළහොත් ඔවුන්ට නිවසේ ප්‍රශ්න, සබඳතාවල ගැටලු, ආර්ථික ගැටලු හෝ වෙනත් ගැටලු බලපාන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවන්හිදී මෙම ගැටලු නැතත් ඇතැමුන්ට විශාද තත්ත්ව බලපාන්නට පුළුවන්. වැඩට පැමිණියාට හරියට වැඩ කරන්නේ නැහැ. අනෙක් අය එක්ක හිනාවෙලා කතා කරන්න බැහැ. ඇඟ අප්‍රාණිකයි. මෙය යම්කිසි මානසික ගැටලුවක ලක්ෂණයක් වෙන්නට පුළුවන්.
එවිට අපි මේ තත්ත්වය හඳුනා ගැනීමට අවශ්‍යයි. එනම් වෘත්තීය ජීවිතයේ මෙම ආතතිමය තත්ත්වය අවබෝධ කරගෙන ආයතනයේ මනෝ උපදේශනය ඇත්නම් එහි සහය ලබාගත යුතුයි. බොහෝ මානසික ගැටලු අපිට කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ නිසා අවශ්‍ය වන්නේ උපදේශනයයි.
තද ඔළුවේ කැක්කුම, බය වීම, වෙව්ලීම, කොන්දේ කැක්කුම, අප්‍රාණික ගතිය, නිදිමත ගතිය, එපාවුණ ස්වභාවය ආදිය පැමිණෙන්නේ නම් ඒ මොහොතේ අපිට කළ හැකි ක්‍රම ශිල්ප පවතිනවා. ඒවා නම් සරල ශ්වසන අභ්‍යාස. වැඩ කරන ස්ථානයේ සිට හෝ ඉන් පිටතට ගොස් ඉහළට හුස්මක් ගෙන එය තත්පර කිහිපයක් තබාගෙන සෙමින් එම හුස්ම පිටකිරීම සිදුකරන්නට අපිට පුළුවන්. මෙලෙස පස්වරක් සිදුකිරීමෙන් ආතතිය ඇති කෙරෙන හෝර්මෝන ක්‍රමානුකූලව අඩු වීමක් සිදු වෙනවා.
මීළඟට අපි හැමෝම සමීපයේ ස්මාට් උපකරණ තිබෙනවා. අපි Viber, whatsapp වගේ ඇප් වර්ග එම උපාංගවලට Install කර ගන්නවා. අපේ මනස සැහැල්ලු කරන App එකක් Download කරගන්න අපිට පුළුවන්. විනාඩි දෙක තුන අපේ ආතතිය අඩු කරන දේවල් ඒවායේ තිබෙනවා. ඒ හරහා ආතතිය ඇති කෙරෙන හෝමෝන පාලනය කරගන්නට අපිට පුළුවන්. එය සංගීතය, ශබ්දයක් හෝ පින්තූරයක් විය හැකියි.
ඒ වගේම අපේ ජංගම දුරකථනයේ හෝ පාවිච්චි කරන පරිගණක තිරයේ ස්වාභාවික පරිසරයක රූපයක් තබා ගන්නට පුළුවන්. මානවයාගේ ඇස් දෙකට නිරායාසයෙන් හඳුනාගත හැකි එකම වර්ණය වනුයේ කොළ පාටයි. එසේ නම් කොළ පැහැයෙන් යුතු යම් පින්තූරයක් බැලීමෙන් අපේ මනස සැහැල්ලු කෙරෙනවා. එසේත් නැතිනම් හිනායන පින්තූරයක් දෙස බලන්න පුළුවන්. සිනහව කියන්නේ ආතතිය දුරුකරන දෙයක්. එය දුටුගමන් නිරායාසයෙන් අපේ ආතතිය දුරුවෙනවා.
ඒ වගේම කියන්න අවශ්‍යයි අපේ ජීවිතයේ අපි කය වෙනුවෙන් දේවල් කරන්න බොහෝ මහන්සි වෙනවා. එසේනම් අපිව සතුටින් තියන මනස වෙනුවෙන් දවසකට විනාඩි කිහිපයක් හෝ වැය කළ යුතුයි. ආයතනයේ ඇතිවන පුංචි පුංචි ගැටලු විශාල වීමට නොදී වෘත්තීමය ජීවිතය සතුටින් ගත කිරීමට මෙකී දේවල් අනුගමනය කර බැලීමට ඔබටත් හැකියි.
නදීශානි පතිරණ
Leave a Reply