එළඹෙන අවුරුදු දෙකක කාලයක් තුළ ලෝකයේ සෑම රටක්ම කාන්තාවන් විසින් පාලනය කරනු ලබන්නේ නම්, එමගින් සියලුම ක්ෂේත්රයන්හි උසස් ප්‍රතිඵල ලැබෙනු ඇති අතර, ජනතාවගේ ජීවන තත්ත්වයේ පොදු වර්ධනයක් සිදුවනු ඇතැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පැවසුවේය.
සිංගපූරුවේ එක්ස්පෝ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැති The Growth Faculty හිදී ෙමම අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, ලෝකයේ බොහෝ ප්‍රශ්නවලට හේතුව, වැඩි දෙනෙක් මහල්ලන් වන පුරුෂයන් විසින් පාලන බලය අල්ලා ගෙන සිටීම බවද සඳහන් කළේය.
ලෝකයේ බලවත්ම පුද්ගලයන් 4500ක් පමණ එක්ව සිටි මෙම සමුළුවේදී ඔහු සාවද්‍ය අදහස් ප්‍රචාරණය සඳහා සමාජ මාධ්‍ය ජාලය උපයෝගී කර ගනු ලැබීම සහ දේශපාලන සමාජයක බෙදීම් පිළිබඳවද සිය කතාවේදී අදහස් දක්වා තිබේ.
එම අවස්ථාවේ වැඩිදුරටත් අදහස් දැක් වූ බරක් ඔබාමා, කාන්තාවන් විසින් ලෝකය පාලනය කරනු ලැබුණොත් කවර තත්ත්වයක් උද්ගත වනු ඇතිදැයි තමා ජනාධිපතිව සිටියදී කල්පනා කළ බව කියා සිටියේය.
කාන්තාවෙනි! ඔබ ඉදිරියේ සඳහන් කරන්න මම කැමතියි. කිසිම වාදයක් නැහැ, ඔබ ලෝකය පාලනය කිරීම සඳහා පුරුෂයන්ට වඩා සුදුසුයි. අප ජීවත්වෙන මෙම පෘථිවියේ හැම රටක්ම කාන්තාවන් විසින් අවුරුදු දෙකක කාලයක් පාලනය කළොත්, ලෝකයේ හැම අංශයකින්ම විශාල වර්ධනයක් සිදු වෙන බවට මට නිසැක විශ්වාසයක් පවතිනවා. ජීවන තත්ත්වය සහ වෙනත් අංශයන්හි ලබන ප්‍රතිඵල මගින් ඔබ වසර දෙකක කාලයක් ලෝකය පාලනය කළහොත් ඉන් පසු සියලුම දෙනා වටහා ගනීවි ගැහැනුන් හැමදාම ලෝකයේ පාලනයට සුදුසුම අය බව.
දේශපාලන නායකත්වය සඳහා යළි අවතීර්ණ වීමට ඔබ අදහස් කරන්නේදැයි හිටපු ඇමෙරිකානු නායකයා වෙත ප්‍රශ්නයක් යොමු වූ විට, ඊට පිළිතුරු දුන් බරක් ඔබාමා සඳහන් කළේ කාලය පැමිණි විට නායකයන් බල තනතුරුවලින් ඉවත් විය යුතුය, යන්න තම විශ්වාසය වන බවයි.
ලෝකය සහ මහලු මිනිසුන් නිරන්තරයෙන් මුහුණ දෙන ප්‍රශ්න දෙස අවධානය යොමු කළොත්, සාමාන්‍යයෙන් මහලු පුරුෂයන් තනතුරුවලින් ඉවත් වීමක් සිදු වෙන්නේ නැහැ යැයි ඔහු පැවසුවේය.
පැසිපන්දු ක්‍රීඩා කණ්ඩායමක් ගැන අපි සලකා බැලුවොත් ක්‍රීඩකයන් සියලුම දෙනා පන්දු විදින අය ලෙස ක්‍රීඩා නොකරන බව සැබෑවක්. මේ වගේ තමයි පුද්ගලයන් ගත්තම එකිනෙකාට පැවරෙන කාර්යභාරයක් තිබෙනවා. ඒ ඒ අයගේ දක්ෂතාව හා කුසලතා මතයි කණ්ඩායමක් ලෙස ජයග්‍රහණය කරා රැගෙන යන්නේ. අපි පෞද්ගලික අංශයේ හෝ වේවා, රාජ්‍ය අංශයේ හෝ වේවා සිදුවන්නේ මෙම සිද්ධාන්තයයි. මේ හේතුව මත රජයකට කාන්තාවන්ගේ මැදිහත්වීම වඩාත් අවශ්‍යයි. ඒ තුළින් විවිධ මනුෂ්‍ය හා සමාජීය ආර්ථිකය වඩාත් සාර්ථකත්වයට පත්වනු ඇති. යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.
පසුගිය සතියේ හිටපු ජනාධිපතිවරයා සිය බිරිඳ වන මිෂෙල් ඔබාමා සමග ආසියාතික රටවල පෞද්ගලික සංචාරයක් ආරම්භ කර තිබුණු අතර, එය අතරතුර මෙම සමුළුවට ඔහු සහභාගි වී සිටියේය.
බීබීසී හා ටුඩේ ඔන්ලයින් වත් ඇසුරෙනි.