විටෙක නිවේදිකාවක වන ඇය විටෙක නිරූපණ ශිල්පිණියකි. මරණයට පවා අභියෝග කරමින් ඇය මේ සියල්ල හිමි කරගත්තේ, ඇයගේ උසස් මානසිකත්වයෙන් හා චිත්ත ශක්තියෙනි. නමුත් දැන් ඇය ලාංකේය යුවතියක් වශයෙන් මුළු ලොවම හඳුනන්නීය. වෛද්‍ය ක්ෂේත්‍රෙය් රැකියාවක් කරමින්, ඊට හාත්පසින්ම වෙනස් වූ ක්ෂේත්‍ර ගණනාවක තම දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට සමත් වූ ඇය නමින් චතු පත්බේරියයි.
සිය ජීවිතයට පැමිණි අභියෝගයන්ට සාර්ථකව මුහුණදෙමින් අධ්‍යාපනයෙන් මෙන්ම ජීවිතයෙන්ද ජයගත් යුවතියක වන ඇය අපි ඔබ හඳුනන පරිදි සාමාන්‍ය යුවතියක් නම් නොවේ. ඇය තමන්ගේ හැකියා දක්ෂතා අතරින් නොයෙක් ක්ෂේත්‍ර මේ වනවිටත් තරණය කර හමාරය.
පාදුක්කේ උපත ලැබූ ඇය පවුලේ එකම දියණියයි. ඇයට සිටියේ තවත් බාල සහෝදරයෙකු පමණි. ඇයගේ මව වන පුෂ්පා මාලිනී මහත්මිය මේ වනවිට ගුරුවරියක් හා ලේඛිකාවක වශයෙන් කටයුතු කරන අතර, පරාක්‍රම පත්බේරිය නම් ඇගේ පියා පුවත්පත් ක්ෂේත්රයේ රැකියාවක නියුතු වූ පුද්ගලයෙකි.
මෙවැනි පවුල් පසුබිමක් තුළ ඇය තම සහෝදරයා සමග එක්ව පාදුක්ක සිරි පියරතන විදුහලෙන් සිය අධ්‍යයන කටයුතු හැදෑරීය. ඉන් සරසවි වරම් ලැබූ ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ගෞරවවේදී උපාධියක් හිමිකර ගැනීමට සමත් වූයේ ඇයගේ දක්ෂතා සමස්තයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අධ්‍යාපනයෙන් ලැබූ එකී පන්නරයත් සමග ඇය ඔස්ට්‍රේලියාවට පැමිණියේ වැඩි දුරටත් ස්වකීය අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහාය. නමුත් ඇයට, එරටේ පුරවැසිභාවය මෙන්ම රජයේ රැකියාවක්ද හමු වූයේ සාර්ථකත්වයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමිනි. දැන් ඇය ඔස්ට්‍රේලියාවේ පදිංචි කාලය අවුරුදු 10කි. මේ වනවිට ඇය %මෙඩිකල් රිවිව් ඔෆිසර්^ (medical review officer) කෙනෙකු ලෙස තම සේවය ලබා දේ.
ඇය එක් දෙයකට පමණක් නොව බොහෝ දේවල්වල දක්ෂතා හැකියා ඇති තැනැත්තියකි. ඇය අධ්‍යාපනයට පමණක් නොව නාට්‍ය කලාව, නර්තනය මෙන්ම හඬකැවීම් ආදී ක්ෂේත්රවල දක්ෂතා දැක් වූ තරුණියකි. ඇයගේ කලාවට ඇති ලැදිකම නිසා කලාවේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඇයට තම දක්ෂතා දැක්වීමට හැකි විය. ඇය ලංකාවේදී අරන්ග්‍රේත්තම් නර්තන ප්‍රසංගයක් පවා පවත්වා තිබීම සුවිශේෂී කාරණාවකි.
ඇය සිය කලා කටයුතු පිළිබඳ අප සමග මෙසේ පැවසූවාය.
'මම පොඩි කාලේ ඉඳන්ම කලාවට ගොඩාක් ආදරය කළ කෙනෙක්. මම කුඩා කාලයේ සංගීතය හැදෑරූයේ රෝහණ වීරසිංහ මහත්මා යටතේ. ඒ වගේම මංගල සේනානායක මහතා යටතේ වේදිකා නාට්‍ය සහ රංග කලාව හැදෑරුවා. ඒ වගේම මම භරත නර්තනය හැදෑරුවා. ඊට අමතරව ගුවන් විදුලි නාට්‍ය හඬකැවීම්වලටත් මම සහභාගි වුණා.
මම දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්වල. මෙල්බන් කියන්නේ ලංකාවේ කලා කටයුතු වැඩියෙන්ම තිබෙන නගරයක්. මෙහේ තිබෙන පුවත්පත්,
ශ්‍රී ලංකාවේ නොයෙක් වැඩසටහන්, සහ සංගීත ප්‍රසංග ඕනේ තරම් තිබෙනවා. ඉතින් මටත් ඒ සඳහා සහාභාගි වෙන්න අවස්ථාව ලැබුණා*.
ඇය කලාව තුළ පමණක් නොව මාධ්‍ය ක්ෂේත්රයේ සහ මෝස්තර නිරූපණ ක්ෂේත්රයේද කැපී පෙනෙන චරිතයකි. ඇය නිරූපිකාවක් වශයෙන් මනාලියන් දැක්ම සහ මියුසික් වීඩියෝ රැසකට සම්බන්ධ වී තිබේ. එමෙන්ම බී.බී.සී. නාලිකාවත් සමග සම්බන්ධ වී නොයෙක් වැඩසටහන්ද ඇය සිදුකර තිබේ.
දැනට මාස 06කට පමණ ප්‍රථම 'විශ්වවාහිනී' නමින් රූපවාහිනී නාලිකාවක්ද ඇරඹුණු අතර, ඇය එහි නිවේදිකාවක් ලෙසද මේ වනවිට කටයුතු කරයි. මේ අයුරින් එකිනෙකට වෙනස් වූ විෂය පථයන් ඔස්සේ යමින් ඒ සියලේලේ දක්ෂතා දැක් වූ අය සිටිනුයේ ඇත්තෙන්ම කලාතුරකිනි. මෙය ඇය තම ජිවීතයේ ලැබු භාග්‍යක් ලෙස කිව හැකිය.
නමුත් ඒ සියල්ල ඇයට හිමි වූයේ එක් දෙයකින් ලැබූ අමිහිරි අත්දැකීමක් සමගිනි. ඇයට 2012 වර්ෂයේදී ඉතා අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුවිය. ඇයට වෛද්‍යවරුන්ගේ මාර්ගයෙන් දැනගන්නට ලැබුණේ ඇය මේ වනවිටත් පියයුරු පිළිකාවකට ගොදුරු වී ඇති බවයි. ඇයට තවත් ජීවත් විය හැක්කේ මාස කිහිපයක් බව අනාවරණය වූ පසු ජීවිතයේ අනිත්‍ය කෙමෙන් කෙමෙන් ඇයට පසක් වන්නට විය.
ඒ ගැන ඇය අප හා පැවසූයේ අසා සිටින ඕනෑම කෙනෙකුගේ නෙතගට කඳුළක් එක්වන අයුරිනි.
'ලස්සනට හිටිය මම කැත වෙන්න පටන් ගත්තා. ඒ වගේම මගේ කොණ්ඩේ යන්න පටන් ගත්තා. මාව වීරූපී වුණා. ඉතින් මේ අසනීප තත්ත්වය නිසා මට කරගෙන ආව කලා කටයුතුවලින් ඈත් වෙන්න වුණා. ඒ විතරක් නෙමෙයි මම අවුරුදු ගාණක් ආදරය කළ කෙනා මාව දාලා ගියා.
නමුත් මමවත් දන්නේ නැති විදිහට මගේ හිතේ ශක්තියක් උද්දීපනය වෙලා මට මේ මරාන්තික පිළිකාවෙන් මිදෙන්න හැකිවුණා. මම හැම වේලාවෙම හැම සිදුවීමක් දිහාම ඉතාම සුබවාදීව බැලුවා. ඒ හරහා මට පුළුවන් වුණා පිළිකාවෙන් සම්පූර්ණ සුවයක් ලබන්න. මම අදටත් පිළිකා රෝග වැලඳුණු අයත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්නවා* .
ඇය මේ සෑම දෙයක් තුළම නොසැලී සිටීම ඇයට සිය ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වූ එකම අඩිතාලම විය හැකිය. ඇත්තෙන්ම ඇයගේ ශක්තිය, ඇයගේ ආත්ම විශ්වාසය මහා පුදුමාකාර දෙයකි. මේ සෑම දෙයක්ම විඳ දරා ගත් ඇය මේ වනවිට ජයග්‍රහණ රැසක හිමිකාරිනිය වී අවසානය. ඇය ඔස්ට්‍රේලියාව තුළදී පවා ඇයගේ මේ සෑම දක්ෂතාවක් සඳහාම සම්මාන සහ ඇගයුම් හිමිකරගත් තැනැත්තියකි. ඇය ඔස්ට්‍රේලියාවේ තිබෙන 'සෙරන්බිඩ්' සම්මාන උලෙළේ 2015 වර්ෂයේදී හා 2016 වර්ෂයේදී 'Most Inspirational Woman' සම්මානය පවා දිනාගන්නට සමත් විය.
ඇත්තෙන්ම මෙවන් හැකියා දහසකුත් ඇති යුවතියන් අප අගය කළ යුතුය. ඇයගේ හැකියා අතින් පමණක් නොව ඇය පිළිකාවට එරෙහිව නැගී සිටි දිරිය යුවතියකි. මරණය පේන මානයේ තිබියදී ඒ කිසිවකටත් බිය නොවී ජීවිතය පමණක් නොව ලෝකයම ජයගත්තේ ඇගේ අපරිමිත වූ චිත්ත ශක්තියෙනි. මාසයක් පමණ කාලයක් තුළදී තම ජීවිතය අහිමි වේ යැයි වෛද්‍යවරුන්ගේ නිගමනය අභියෝගයට ලක්කළ ඇය මේ වනවිටත් තම ඉදිරි අනාගතය පිළිබඳ බොහෝ දේ සැලසුම්කර හමාරය.
සිය ඉදිරි වැඩකටයුතු පිළිබඳ ඇය 'අද' හා අදහස් දැක්වූයේ මෙලෙසිනි.
'මම වෛද්‍ය ක්ෂේත්රයේ කෙනෙක් මෙන්ම පිළිකා රෝගයටත් ගොදුරු වූ කෙනෙක් නිසා මම පෞද්ගලිකවම ඒ අත්දැකීම් වින්දා. මම කැමතියි ඒ අයට උදව් කරන්න. ඒ අයත් එක්ක කතා කරන්න. මම නිවේදිකාවක් කියන භූමියෙන් එහාට ගිහින් පිළිකා පිළිබඳ සමාජ දැනුවත් කිරීම් කටයුතුවල නියැළෙනවා. මම පොඩ්ඩක්වත් දුක්වෙන්නේ, පසුතැවිලි වෙන්නේ නැහැ. මොකද මම ඒ හන්දා නොදන්නා ශක්තියක් හඳුනාගත්තා.
මම මෙහි රැකියාව කරන අතරතුර අපි පටන්ගත්ත 'විශ්වවාහිනී' රූපවාහිනී නාළිකාවේ වැඩකටයුතු කරගෙන යනවා. මට අවස්ථාව ලැබුණා චිත්‍රපටයක රඟපාන්න. නොවැම්බර් මාසයේ එහි රූගතකිරීම් කටයුතු සිදුකරනවා. ලංකාවෙන් ආරාධනාවක් ආවොත් සමාජයට ආදර්ශයක් ලබාදිය හැකියි. හොඳ නිර්මාණ මම අනිවාර්යයෙන් භාර ගන්නවා.'
ඇය දැන් සියල්ල ජයග්‍රහණය කර හමාරය. තරුණියක් ලෙසින් මේ දක්වා පැමිණි ගමන් මාර්ගයේදී අපමණ දුක්ඛිත තත්ත්වයන්ට සේම මානසික පීඩාවන්ට පත් වූ ඇය සමාජයට සේවය කරන්නේ තමා ලබාගත් අත්දැකීම් ඔස්සේ සුවහසක් මිනිසුන්ට ජීවිතය ජයගැනීමට අත්වාරුවක් වෙමිනි. දැන් ඇය මෙල්බර්න් සරසවියේ පශ්චාත් උපාධි කටයුතු සිදුකරන අතර සැබෑ ආදරය හමුවේ නැවතත් ඇය පෙම්වතියක් වෙයි. ඇයගේ විවාහ ගිවිස ගැනීම ලබන මස ලංකාවේදී සිදුකිරීමටද අපේක්ෂා කෙරේ.
ඇය හා තම අදහස් කතා කිරීමට ඔබ කැමති නම් [email protected] විද්‍යුත් ලිපිනය හරහා ඇය හා සම්බන්ධ විය හැකිය.