කාන්තාවකට පිත්තයි පන්දුවයි අකැප වූ යුගයක් මීට දශක කිහිපයකට පෙර තිබුණි. නමුත් අද වන විට ඒ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ. අද වන විට එයින් දස්කම් පා ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන යන්නට ලාංකේය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වී තිබේ. අද අපගේ කතාබහ සිදුවන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව මෙන්ම කණ්ඩායමේ දක්ෂතම පිතිකාරිනිය වන චමරි අතපත්තු සමගයි.
ඔබ ගැන විස්තරයක් කළොත්?
මගේ ගම කුරුණෑගල ගොකරැල්ලෙ. මගේ අප්පච්චි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. අම්මා හෙදියක් විදියට කටයුතු කළා. මගේ අප්පච්චි මේ වන විට ජීවතුන් අතර නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවේ මේතාක් දුර ඔබ ආ ගමන ගැන සඳහන් කළොත්?
මම ක්‍රිකට් ක්‍රීඩාවට කැමති වුණේ මගේ මාමා නිසා. ඔහු ක්‍රිකට් පුහුණුකරුවෙක්. මට වයස අවුරුදු 4ක් වගේ වෙද්දී මම ක්‍රිකට් ක්‍රීඩාව සඳහා යොමු වුණා. ඒ කාලෙ පටන් මම මාමා සමග ක්‍රිකට් තරග නරඹන්න වගේම ක්‍රිකට් ක්‍රීඩා කරන්න යනවා. ඇත්තටම මට බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන ළමා කාලයක් තිබුණෙ නැහැ. පිත්තයි පන්දුවයි එක්ක ගෙවුණු ජීවිතයක් තමා මට තිබුණෙ.
ගොකරැල්ලෙ මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ මම ශිෂ්‍යත්වය සමත් වීමත් සමග ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයට මම ඇතුළත් වෙනවා. මගේ වාසනාවකට ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ කාන්තා ක්‍රිකට් තිබුණා. ඒ නිසා මට පාසල තුළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරන්න ලැබෙනවා. පුංචි කාලෙ පටන් හාර්ඩ් බෝල් වගේම සොෆ්ට් බෝල් ක්‍රිකට් පුහුණු වීම් කළ නිසා මට ක්‍රිකට් ක්‍රීඩාවට එන්න පහසු වුණා. පාසල තුළ දැක් වූ දක්ෂතාවත් සමග මට කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයෙන් ඇරයුමක් ලැබෙනවා ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කරන්න. මම ඒ පළමු වසරේ ක්‍රීඩා කළාට පස්සේ මට අවස්ථාවක් ලැබෙනවා ජාතික සංචිතයට එන්න. ඒ 2008 වර්ෂයේ. අවාසනාවකට මගේ අප්පච්චි ඒ වර්ෂයේ ජීවිතයෙන් සමුගන්නවා. ඒ නිසා මට වසරක් වගේ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙන්න සිදු වෙනවා. ඒ නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න අවස්ථාව මගහැරෙනවා. නමුත් නැවත වතාවක් කුරුණෑගලදී පුහුණු වීම් කටයුතු කරලා 2009 වර්ෂයේදී නැවතත් ජාතික කණ්ඩායමට එනවා. එදා ඉඳන් අද දක්වා මම ජාතික කණ්ඩායම නියෝජනය කරනවා.
මේ පැමිණි ගමනේ ඔබට බාධා නොතිබුණා විය නොහැකියි. ඔබ මුහුණදුන් බාධා ගැන සඳහන් කළොත්?
අප්පච්චිගේ වියෝවත් සමග මට පුහුණු වීම්වලට සහභාගි වෙන්න කොළඹ යන්න එන්න කෙනෙක් හිටියේ නැහැ. නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියේ ගොඩක් බාධක වගේම හැලහැප්පීම් මැද්දෙ. අප්පච්චි එක්ක එන කාලෙත් පුහුණුවීම් සඳහා කොළඹ උදෑසන 6 පමණ වෙද්දී සහභාගි වෙන්න ඕන. සමහර වෙලාවට පුහුණුවීම් අවසන් වෙද්දී සවස 6.30/7.00 වෙනවා. ගෙදර යද්දී රෑ 10 වගේ වෙනවා. ඒ ඇවිත් පහුවදා පාසල් යන්නත් ඕන. මේ වගේ බාධක මැද්දෙ තමයි ක්‍රිකට් ක්‍රීඩාවට සහභාගි වුණේ. නමුත් අද හිතනවා මේ කොපමණ බාධා තිබුණත් මම අද සාර්ථකයි කියලා.
ජාතික කණ්ඩායමට ඇතුළු වීමත් සමග ඔබ ලබාගත් සුවිශේෂී ජයග්‍රහණ ගැන කතා කළොත්?
මම ජාතික කණ්ඩායමට ආවට පස්සේ ගොඩක් දේවල් ජීවිතයට ළඟා කර ගත්තා. මට ලංකාවේ ප්‍රථම ශතකය ලබා ගන්න හැකි වෙනවා. මම හිතන්නෙ පසුගිය ලෝක කුසලානෙත් මම හොඳට ක්‍රීඩා කරලා ලකුණු 178ක් ලබාගත්තා. ඒ වගේම විස්සයි 20 ලෝක කුසලානෙත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ලබාගත්ත ප්‍රථම අර්ධ ශතකය මම වාර්තා කළා. ඒ වගේම 2014 වසරේ සිට 2015 දක්වා කණ්ඩායම් නායිකාව බවට පත් වෙනවා. ඉන් පස්සෙ උපනායිකාව විදියට කටයුතු කළා. ඊට පසුව සාමාන්‍ය ක්‍රීඩිකාවක් ලෙස වසර එකහමාරක් වගේ කටයුතු කරනවා. ඉන් පසු නැවත වතාවක් මේ වසරේ නායකත්වයට පත්වෙනවා.
කණ්ඩායම් නායිකාව ලෙස ඔබට පැවරී ඇති වගකීම් ගැන කතා කළොත්?
කණ්ඩායමේ සිටින ක්‍රීඩිකාවන් විවිධ ප්‍රදේශ, විවිධ පවුල් පසුබිම් අය. ඉතිං ඒ විවිධාකාර අය එකට කැටි කර ගන්න එක ටිකක් අපහසුයි. මම උපරිමයෙන්ම සියලු දෙනාට එක විදියට සලකන්නෙ. මම ඔවුන්ගේ උපරිම හැකියාව ගන්න බලාපොරොත්තු වෙනවා ඒ හැම ක්රීඩිකාවකගෙන්ම. ඒ වගේම කණ්ඩායම තුළ විවිධ අදහස් වගේම විවිධ අත්දැකීම් තිබෙන ක්‍රීඩිකාවන් සිටිනවා. මගේ වගකීම තමා මේ සියලු දෙනාම එකට කැටි කරලා හොඳ කණ්ඩායමක් නිර්මාණය කිරීම.
කාන්තාවක් විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ යොමු වීමේදී මුහුණදෙන අභියෝග ගැන සඳහන් කළොත්?
මම හිතන්නේ කාන්තාවක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව තෝරා ගැනීමම අභියෝගයක්. ගොඩක් කාන්තාවෝ තෝරා ගන්නේ නෙට්බෝල්, බාස්කට් බෝල් වගේ ක්‍රීඩාවන්. නමුත් අද වන විට ඒ මතය මග ඇරිලා තිබෙනවා. නමුත් මම ක්‍රිකට් ක්‍රීඩාවට එළඹෙද්දී ගොඩක් අය උපහාසයෙන් බලපු අවස්ථා තිබුණා. මම ගියේ මිශ්‍ර පාසලකට. මම බැට් එක අරන් යද්දී පිරිමි ළමයි හිනා වුණ අවස්ථා ඕන තරම් තිබුණා. නමුත් මම හිතන්නෙ අද වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා කියලා. ඒ වගේම මම පුහුණුවීම් ඉවර වෙලා ඒ කාලෙ බැට් එකයි, ලොකු බෑග් එකයි අරන් බස් එකේ යද්දී හිනා වුණ අය ඉන්නවා. නමුත් දැන් වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා. මගෙ නම කිව්වම, මාව දැක්කම හැමෝම අඳුනන මට්ටමට ඇවිත් තිබෙනවා. මම හිතන්නෙ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවටත් දැන් පිළිගත් තත්ත්වයක් තිබෙනවා.
කාන්තා හා පිරිමි ක්‍රිකට් කණ්ඩායම්වලට ලැබෙන වරප්රසාදයන්ගේ සමානාත්මතාවක් තිබෙනවාද?
ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව ගත්තම ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක් ගතහොත් මූල්‍යමය වටිනාකම එකම මට්ටමක නැහැ. නමුත් ක්‍රීඩිකාවකට අවශ්‍ය පෝෂණ පහසුකම්, ඇඳුම් පැලඳුම්, පුහුණුවීම් පහසුකම් සියල්ල ලබා දෙනවා. නමුත් මූල්‍යමය වටිනාකම ක්‍රිකට් ක්‍රීඩිකාවකට සාපේක්ෂව ක්‍රීඩකයෙක්ට ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් ටිකෙන් ටික මූල්‍යම වටිනාකම ක්රීඩිකාවන්ගෙත් ඉහළ නැංවීමක් සිදුකරනවා. මේ වන විට ක්‍රිකට් ක්‍රීඩිකාවන් ලීග් තරගාවලිවලට සහභාගි වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මූල්‍යමය වටිනාකම වැඩි වී තිබෙනවා. ඒ නිසා වසරක්, වසර එකහමාරක් යද්දී ක්‍රිකට් ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයෙක්ට එකම මූල්‍යමය වටිනාකමක් ලැබේවි. මේ වෙද්දී සෑහෙන වෙනසක් තිබූ නමුත් මම හිතනවා අනාගතයේදී ඒ තත්ත්වය වෙනස් වෙයි කියා.
ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇයි ඉක්මනින්ම ක්‍රීඩාවට සමුදෙන්නේ? කාන්තාවක් වීමද?
අනිවාර්යයෙන් ඔව්. මෙය ක්‍රීඩිකාවගෙන් ක්‍රීඩිකාවට වෙනස් වෙනවා. එය තීරණය වෙන්නෙ ශරීර යෝග්‍යතාව මත. ඒ වගේම විවාහයෙන් පසු ලැබෙන සහකරුගේ සහයෝගය මත එය තීරණය වෙනවා. මම තීරණය කර තිබෙන්නේ තව වසර 3, 4ක් ක්‍රීඩා කරලා ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනවා කියලා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ නායකත්වය, උපනායකත්වය යන්න සැම විටම වෙනස් වීම්වලට ලක් වෙනවා.
ඒ නායකත්වයන් මාරු වීමේදී දැනෙන හැඟීම මොන වගේද?
මම ක්‍රීඩා කරන්නේ මගේ රටට. නායකත්වය ලැබුණා හෝ නැතා මම බලාපොරොත්තු වෙන්නේ මගේ රටට උපරිමයෙන් සේවය කරන්න. මම නායකත්වයේ ඉද්දිත් හොඳින් ක්‍රීඩා කළා. නායකත්වයේ නැතිවත් හොඳින් ක්‍රීඩා කළා. මම ලකුණු 178ක් ලබාගත්තෙ මම නායිකාවක් හැටියට ඉද්දි නෙමේ. ඒ වගේම මගෙ ප්‍රථම ශතකය වාර්තා කළෙත් සාමාන්‍ය ක්‍රීඩිකාවක් ලෙසට ඉද්දී. ඒ වගේම %ICC Champions^ ශ්‍රේණිගත කිරීම්වල මාස 6ක් ලෝකයේ අංක එකේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස මම හිටියා. ඒ වෙද්දී මම නායිකාව. ඉතිං මම හිතන්නේ නායකත්වය තිබුණා හෝ නැතා කෙසේ හෝ මගේ කණ්ඩායම වෙනුවෙන් මගේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ.
කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩිකාවන් ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන්නේ ඇයි?
මුලින්ම ක්‍රීඩිකාවන් පාසලේ ක්‍රීඩා කරලා, ක්ලබ්වල ක්‍රීඩා කරලා තමයි ක්‍රීඩාවට පැමිණියේ. මේ වෙද්දී ගුවන් හමුදාව, නාවික හමුදාව සහ යුද හමුදාවෙන් ඔවුන්ට රැකියා ලබාදීලා අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ නිසා ඒ ක්‍රීඩිකාවන් හමුදාවට සම්බන්ධයි. නමුත් ඔවුන් මූලිකව සිදු කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළෙන එක. ඔවුන් හමුදාව නිසා ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණියා නෙමේ. ක්‍රිකට් නිසා හමුදාවට සම්බන්ධ වුණ එකයි. ඒ නිසා ත්‍රිවිධ හමුදාවෙන් ලොකු සහයෝගයක් කණ්ඩායම සඳහා ලැබෙනවා.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු ගැන කතා කළොත්?
මම ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ තව වසර 3ක් හෝ 4ක්. ඒ කාලයේ ඉතා හොඳට ක්‍රීඩා කරලා ලංකාව හොඳ තැනකට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව පුහුණුකාරිනියක් විදියට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට යන්න.
ඇයි ලංකාව අතහැර පිටරට පදිංචියට යන්න තීරණය කළේ?
මගේ බලාපොරොත්තුවක් තිබෙනවා අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ දේවල් ඉගෙන ගන්න. මට ඒ දේවල් ලබාගන්න පහසුයි ඔස්ට්‍රේලියාවේ සිටියොත්. ඒ වගේම ක්‍රිකට් පුහුණුකාරිනියක වීම සඳහා ඔස්ට්‍රේලියාවේ තිබෙන ලෙවල් 2 විභාගය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් මම මගේ රටට වගේම කණ්ඩායමට අවශ්‍ය දේවල් සිදුකරනවා.
ස්තුති කළ යුතු පිරිසක් සිටිනවාද?
අම්මා ,අප්පච්චී, පවුලේ සැවොමත් වගේම මෙතෙක් සිටිය සියලුම පුහුණුකරුවන්ටත්, ජීවිතයේ හැම වැටුණු අවස්ථාවකදීම මගෙත් එක්ක සිටිය සියලු යහළුවන්ටත් මා මෙහිදී ස්තුති කරනවා.