SLAND LUSH යනු අන්තර්ජාලයේ කා අතරත් ප්‍රසිද්ධ පාවහන් සන්නාමයකි. ඊට එක් හේතුවක් වන්නේ මේ පාවහන් බොහෝමයක් නිර්මාණය වන්නේ පරිසර හිතකාමී සහ ඉවතලන අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් වීමයි. මේ විශේෂත්වය නිසාම මේ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන ඉරුෂි රත්නවීර පෙරේරා අද සමග සම්බන්ධ කර ගැනීමට අප සිතුවෙමු.
ISLAND LUSH ආරම්භ කළ විදිහ ගැන කතා කළොත්
මම මීට පෙර රැකියාවක් කළා. නමුත් මගේ පශ්චාත් උපාධි කටයුතු නිසා මම ඒ රැකියාවෙන් ඉවත් වුණා. ඒ කාලයේ මම නිවසට වෙලා සිටින කාලයේදී මගේ සැමියා යෝජනා කළා ව්‍යාපාරයක් පටන් ගන්න කියලා. මම ගොඩක් පාවහන්වලට කැමතියි. ඒ නිසා ඒ දෙයින් මොනා හරි ව්‍යාපාරයක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. මොකද ලංකාවේ ප්ලැට් ෂූස් තිබුණට අපිට පිටරට විලාසිතා මිලදී ගන්න ලැබෙනවා හරිම අඩුයි. ඒ නිසා ඒ වගේ අලුත් නිර්මාණ සිදු කළොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් 2015 අවුරුද්දේ දෙසැම්බර් 06 මුල්ම තොගය නත්තල් සේල් එකකට දැම්මා. ඉන් පස්සේ ගොඩක් ඇණවුම් මට ලැබුණා. ඉන් පස්සේ අපි අපේ වෙබ්සයිට් එකක් හැදුවා. අද වෙද්දී වෙබ්සයිට් එක හරහා මුළු ලංකාවටම පාවහන් බෙදා හරිනවා. ෆ්‍රී ඩිලිවරි කරන්නේ. මේ වෙද්දී මාලදිවයිනටත් අප පාවහන් බෙදා හරිනවා.
පාවහන් සැකසීම සම්බන්ධව ඔබ මීට පෙර පාඨමාලාවක් සිදු කළාද?
මගේ උපාධිය සිදු කළේ අලෙවි කළමණාකරණය සම්බන්ධවයි. මගේ පශ්චාත් උපාධිය තමයි ආර්ථික දේශපාලනය හා ජාත්‍යන්තර වෙළෙඳ පොළ. මට පාවහන් නිෂ්පාදනය සම්බන්ධව පසුබිමක් තිබුණේ නැහැ. ඒ නිසා පාවහන් නිෂ්පාදනය කරන අය සමග කතා කරලා, ඒ දේවල් බලලා තමයි මූලික දේවල් ඉගෙන ගත්තේ. ඉන් පස්සේ මම රත්මලානේ පේෂකර්ම සහ ඇඟලුම් ආයතනයේ පාඨමාලාවක් සිදු කළා පාවහන් සැකසීම සම්බන්ධව. ඉන් පස්සේ කාලයක් යද්දී ලැබුණු අත්දැකීම් එක්කම මම ඉගෙන ගත්තා.
පාවහන් නිර්මාණ කටයුතු සිදුවන්නේ ඔබේ අතින්මද?
මම එක් පාවහන් සකසන ආයතනයක් හා සම්බන්ධ වෙලායි මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. එහිදී විලාසිතා නිර්මාණයේ, අමුද්‍රව්‍ය මිලදී ගැනීම, අලෙවි කළමණාකරණ කටයුතු සියල්ලම මගේ අතින් තමයි සිදු වන්නේ.
පාවහන් නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය ගැන කතා කළොත්?
අපි පාවහන් නිෂ්පාදනයට ලෙදර් ( සත්ත්ව හම්) කිසි දෙයක් භාවිත කරන්නේ නැහැ. සත්ත්ව හිංසාවක් නැති අමුද්‍රව්‍ය තමයි අපි යොදා ගන්නේ. රෙදි වර්ග, රබර් ඒ වගේ අමුද්‍රව්‍ය තමයි අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ.
මේ වෙද්දී අපි හැන්ඩ්ලූම් රෙදි නිෂ්පාදනය කරන ආයතනයක් හා සම්බන්ධ වෙලා ඒ ආයතනය ඉවතලන හෑන්ඩ්ලූම් රෙදි මිලදී ගෙන ඒවායින් අපි පාවහන් නිර්මාණ සිදු කරනවා. කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ ඒ ක්‍රියාවලියෙන්.
ඒ වගේම අපි තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළා. ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ගොඩක් තිබෙනවා. ඒ වගේම බතික් තිබෙනවා. ඒ වගේ රෙදි සම්බන්ධ නිෂ්පාදන ලංකාවේ ගොඩක් සිදුවෙනවා. ඒ වගේම කසළ විදිහට ඉවතලන රෙදි ප්‍රමාණයත් ඒ වගේම වැඩියි. ඇඳුම් සියයක් නිෂ්පාදනය කළොත් එයින් කපා ඉවත් කරන කෑලිත් සියයට වැඩිය තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉවතලන දේවල් උපයෝගී කරගෙන පාවහන් නිර්මාණය කරන්න පුළුවන්. අපි මේ වෙද්දී එවැනි පරිසර හිතකාමී ව්‍යාපෘති කෙරෙහි යොමු වී තිබෙනවා. එතනදී ඉවතලන දෙයින් ජාත්‍යන්තරයේ පවතින විලාසිතා පරිසරයට හිතකාමී ලෙස ඉදිරිපත් කරන්නේ කොහමද කියලා අපි බලනවා.
මෙම ව්‍යාපාරය ආරම්භ කරද්දී ඇති වූ අභියෝග සහ ගැටලු ගැන කතා කළොත්?
ව්‍යාපාරය ආරම්භ කරද්දී ගොඩක් ලේසියි කියලා හිතෙනවා. ව්‍යාපාරය ආරම්භ කරද්දී ලොකු ඉලක්ක නැහැ. ආරම්භ කළ යුතුයි කියන හැඟීම තමයි තිබෙන්නේ. ඉන් පස්සේ කෙමෙන් කෙමෙන් දියුණු කර ගන්නයි බලාපොරොත්තු වන්නේ. පොඩි පොඩි අභියෝග නැතිව නෙමෙයි. වැඩ කරන්න පිරිස හොයා ගන්න ඕන, අමුද්‍රව්‍ය හොයා ගන්න ඕන, බෙදා හරින අය ඒ වගේ දේවල් වැඩේ පටන ්ගෙන ඉදිරියට යද්දී තේරුම් ගන්නවා කොහොමද කරන්න අවශ්‍ය කියලා. අපි එය අත්දැකීමෙන්ම ඉගෙන ගන්න ඕන දෙයක්. ඉන් පස්සේ ව්‍යාපාරය එක තැනකට ආවම එය ඉදිරියට දියුණු කරගන්නෝ කොහොමද කියලා කල්පනා කරන්න පුළුවන්.
මගේ ව්‍යාපාරයේ මූලික අරමුණ තමයි අපි හැමදේම ලංකාවේ නිෂ්පාදනය කළ යුතුයි කියන කාරණය. අපි පිටරට ගෙන්වන හැම දේටම අපේ රටේ මුදල් තමයි පිටරටට ඇදෙන්නේ. ඒ නිසා අපේ රටේම ඒ දේ නිෂ්පාදනය කරන්න පුළුවන් නම් ඒ දේ තමයි වැදගත්. මගේ නිෂ්පාදන ක්‍රියාවලියම රට ඇතුළෙ සිදු වන්නේ.
ව්‍යාපාරයක් ආරම්භයේදී සන්නාමය (Branding) කියන කාරණය මොන තරම් වැදගත් වෙනවාද?
සන්නාමය හරහා තමයි අපිව ඕනෑම කෙනෙක් හඳුන ගන්නේ. පාවහන් ගත්තොත් ඕන තරම් පාවහන් තිබෙනවා. නමුත් අපේ සන්නාමය හරහා තමයි අපි අනෙකාගෙන් වෙනස් වන්නේ. හරියට එය අපේ නම වගේ. ඒ නිසා සන්නාමය කියන එක හරිම වැදගත්. ඒ වගේම සන්නාමයක් නිර්මාණය කරන්න පෙර හිතන්න අවශ්‍යයි මොනවාද අපි විකුණන්නේ කියා. එතැනදී බලන්න ඕන අපේ ඉලක්ක, පාරිභෝගික කණ්ඩායම මොන වගේද කියලා හිතන්න ඕන.
Online marketing සාර්ථක ක්‍රමයක් කියා ඔබ විශ්වාස කරනවාද?
මම හිතන්නේ ඉදිරියට තියෙන්නේ තමන්ට අවශ්‍ය හැමදේම තමන් ළඟටම ගෙන්න ගන්න කාලයක්. අඳින පලඳින දේවල් කියන්නේ මිනිසුන්ට අවශ්‍යම දේවල්. Online shopping තමයි අනාගතයේදී හොඳම අලෙවිකරණ ක්‍රමය. 2015දී මම ෆේස්බුක් එක හරහා බිස්නස් එක පටන් ගත්තට වඩා ඔන්ලයින් හරහා ගනුදෙනු කරන ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. මම හිතනවා යම් භූමි ප්‍රමාණයක් අරගෙන බිස්නස් එකක් කළොත් අපිට සිටින්නේ ඒ අවට පාරිභෝගිකයෝ පිරිසක් විතරයි. නමුත් Online shopping හරහා අපිට විසිරුණු පාරිභෝගිකයෝ පිරිසක් සොයා ගන්න පුළුවන්.