Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
‘2010 වර්ෂයේ නගර අලංකරණය කරන්න පදික වේදිකාවේ තිබුණු කඩ කාමර හැම එකකම පදික වෙළෙඳුන් ඉවත් කරා. නමුත් තවමත් ඒ වෙනුවට කඩ කාමර යළි හම්බවුණේ නැති අය ඉන්නවා. බොහෝ කාන්තාවන්ට අද වෙනතුරු වෙළෙඳාම් කරන්න තැනක් ලැබිලා නැහැ. නමුත් දැන් දේශපාලඥයෝ කාන්තාවන් පිරිසකට පිටකොටුවේ වෙළෙඳාම් කරන්න දීලා තියෙනවා. ඇත්තටම ඒ කාන්තාවෝ කිසිම කෙනෙක් මේවායේ වෙළෙඳාම් කරපු අය නෙමෙයි.
පදික ෙව්දිකාෙව් වෙළෙදාම් කරපු කාන්තාවන්ට නොදී වෙළෙඳාම් නොකරපු කාන්තාවන්ට කඩ කාමර දීලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. පදික වේදිකාවෙන් ඉවත් කළ කඩවල වෙළෙඳාම් කරපු අයට පවතින ආණ්ඩුව හා මහ නගර සභාව එක්ව ස්වයං රැකියා වෙළෙඳ මධ්‍යස්ථාන බොධිරාජ මාවතේ හා අඩි 100 පාරේ, ෆ්ලොටීන් මාකර්ට් එක, එළවළු මාර්කට් එක, 104 මාර්කට් එක අඩි 100 මාර්කට් එක විදිහට කඩ ලබා දුන්නා. එහිදී කළින් වෙළෙඳාම් කළ බොහෝ දෙනෙකුට කඩ ලැබුණේ නැහැ. මේ වෙළෙඳ මධ්‍යස්ථානවල සිදුවන ක්‍රියාකාරකම් පිළිබඳ නගර සභාව සොයා බලන්නේ නැහැ. මේවා නගර සභාවෙන් දුන්නට මේ ගැන ඔවුන් කිසිදෙයක් සිදුකරන්නෙත් නැහැ. මේ නිසා සමහර මිනිස්සු ස්වයං රැකියා වෙළෙඳ මධ්‍යස්ථානවලට යන පාරවල් දෙපස කඩ හදාගෙන වෙළෙඳාම් කරනවා.
දේශපාලනය මුල් කරගෙන පාරට පදික වෙළෙන්දෝ ඇවිල්ලා. මේ නිසා හදලා තියෙන මාර්කට්වලට බිස්නස් ගොඩක් අඩුයි. දැන් ෆෝලොටීන් මාර්කට් එකේ ව්‍යාපාරයක් ඇත්තෙම නැහැ. ස්වයං රැකියා මධ්‍යස්ථානයක් හදලා තියෙනවා බොධිරාජ මාවතේ එකෙත් කිසිම ව්‍යාපාරයක් නැහැ. වෙන වෙළෙන්දෝ පළවැනි හරස් වීදිය, දෙවැනි හරස් වීදිය, ඕල්කට් මාවතට ඇවිල්ලා අඩු මුදලකට වෙළෙඳාම් කරනවා. ඒ නිසා මාර්කට්වල හිටිය අපිට තමන්ගේම කියලා වෙළෙඳාමක් කරගන්න විදිහක් නැහැ. මේ අතුරු පාරවල්වල වෙළෙන්දෝ වැඩිවෙලා තියෙන්නේ.
ඉස්සර නම් මෙච්චර කාන්තාවෝ වෙළෙඳාම් කරේ නැහැ. දැන් ඉන්න අය කලින් වෙළෙඳාම් කළ අය නෙමෙයි. ව්‍යාපාරය දන්නේ නැති කාන්තාවෝ පවා ඉන්නවා. අඩි 100 මාර්කට් එකේ බොහෝ කඩ බෙදලා තියෙන්නේ ඒ කාන්තාවන්ට.
කොළඹ අලංකරණයේ හදලා තියෙන ව්‍යාපෘතිවලට එක වැසිකිළියක්වත් නෑ, වතුර බොන්න තැනක් නෑ. කාට හරි තිබහක් හැදුණොත් කඩේකට හරි ගොඩවෙලා තමයි වතුර ටිකක් බොන්න වෙන්නේ. රුපියල් විස්සක් දීලා වැසිකිළියට යන්න ඕන.
නමුත් ව්‍යාපාරයක් කරන හැම කෙනෙක්ම නගර සභාවට වේලාවට බදු නම් ගෙවන්න ඕන. දැන් ඉන්න දේශපාලඥයන් පාරට එයාලගේ හිතවත් ව්‍යාපාරිකයන් ගෙනාපු නිසා අපිට ඒ බද්ද ගෙවන්නවත් ආදායමක් උපයාගන්න විදිහක් නැහැ.
පිටකොටුවේ කාන්තාවන් සම්බන්ධව කිසිම හඬක් නගන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ සම්බන්ධ වගකිව යුතු කිසිම ආයතනයක්වත් මේ සඳහා මැදිහත් වෙන්නේත් නැහැ. යම් හඬක් නගනවා නම් නගන්නේ මේ අපේ සංවිධානවලින් විතරයි. පිටරටවල ගියපු කාන්තාවෝ පවා පදික වේදිකාවට ඇවිත් ව්‍යාපාර කරනවා. අලුතින් පැමිණි අයට නෙමෙයි මෙහි හිටපු වෙළෙන්දන්ට කඩ කාමර ලබා දීලා ඒ මිනිස්සුන්ට ව්‍යාපාර කරගන්න සහන සලසලා දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මහ පාරවල්වල, අතුරු පාරවල්වල ව්‍යාපාර කරනකොට මාර්කට් එකට වෙළෙඳාමක් කරන්න කවුරුත් එන්නේ නැහැනේ.
කාන්තාවන්ට රාත්‍රී කාලයේ ව්‍යාපාර කරන්න බැහැ. මොකද ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙන නිසා. කාන්තාවන් කියන්නේ සමාන්‍යයෙන් උදේ රැකියාවට ඇවිත් හවසට යන්න පුළුවන් කෙනෙක්. ඇයට දරුවෝ ඉන්නවා. දරුවෝ රකින්න ඕන. ස්වාමියා එනකොට කන්න බොන්න දෙන්න ඕන. ඒවගේ ප්‍රශ්න ගොඩක් තියෙන නිසා ඇත්තෙන්ම කාන්තාවකට රාත්‍රී කාලයේ ව්‍යාපාරයේ යෙදෙන්න අපහසුයි.
ස්වයං රැකියා සම්මේලනය මැදිහත් වෙලා වෙළෙඳාම් කරන අයට රජයේ බැංකුවලිනුයි පෞද්ගලික බැංකුවලිනුයි ණය ආධාර අරන් දුන්නා. ඒගොල්ලෝ මුදල් පසුපස දුවන සංවිධානනේ. එකෙන් මිනිස්සුත් අසරණවුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. අන්තිමට වුණේ මිනිස්සු ණයකාරයෝ වුණ එක විතරයි. සමහරුන්ගේ ජීවිතය පවා නැති වුණා. මේවගේ සිදුවීම් තමයි කොළඹ වෙලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අපි ගැන හොයලා බලන්න කිසිම බලධාරියෙක් නැහැ’.
‘අවුරුදු 09 ඉඳන්ම වෙළඳාම් කරන එක මගේ අධ්‍යාපනය වුණා. මම ඉස්කෝලේ ගිහින් නැහැ. දැන් මට අවුරුදු 55ක් වෙනවා. මම මුල් කාලයේ එළවළු වෙළෙඳාම් කළේ. දැන් නම් කරන්නේ කොස් පොළොස් වෙළෙඳාම.
ගෑස්පහ ප්‍රදේශයේ තමයි මම මුල ඉඳලම වෙළෙඳාම් කළේ. එදා අපිට හොඳට තිබුණු ඉඩ පහසුකම් ආණ්ඩුවෙන් කඩලා දාලා ඒ වෙනුවට පොඩි කුඩාරමක් වගේ තැනක් දීලා තියෙනවා. මම ආසාවකට තාම ඒකේ බඩු දාලා වෙළෙඳාම් කරලා නැහැ. සෙනග එන පැත්ත වෙනයි. නමුත් මට හම්බවෙලා තියෙන්නේ සෙනග එන්නැති පැත්තක තැනක්. ඒ පාරේ කවුරුත් කඩ කාමරවල වෙළෙඳාම් කරන්නේ නැහැ. ඉතින් මේක නිසා අපිට ලොකු අසාධාරණයක් වුණේ. ඒ නිසා තමයි අපි නැවතත් පරණ තැනටම ඇවිල්ලා වෙළෙඳාම් කරන්නේ. මම වෙළෙඳාම් පටන් ගන්නේ උදේ අට වෙනකොට. ඒත් දවල්ට වෙළෙඳාම් හරියට නැති නිසා මම 11ට විතර ගෙදර යනවා. ළමයි තුන්දෙනෙකුයි, මමයි මගේ බෑණයි ගෙදර ඉන්නේ. බෑණා හයර් යනවා. පුතා පොඩි රස්සාවක් කරනවා. ඒකෙන් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ.
අපි ඇත්තටම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපිට හම්බ කරන් කන්න පුළුවන් තැනක් තමයි. අපි කියන්නේ නැහැ අපිට ගෙවල් දොරවල්, වතුපිටි දෙන්න කියලා. අපි කියන්නේ අපේ රස්සාව කරන තැන අපිට පිරිසුදුව දෙන්න කියලා. අපිට හම්බ කරගන්න තැනක් හරියට ලැබුණේ නැහැ. මම පොඩි කාලේ ඉඳලා මේ මාර්කට් එකේ තමයි ඉන්නේ. දැන් අපිට අනවසර තැනක තමයි වෙළෙඳාම් කරන්න වෙලා තියෙන්නේ.
අපි මේ රස්සාවෙන් ඉතිරි කරගත් දෙයක් නැහැ. මම ගෙයක් හදාගත්තෙත් රට ගිහිල්ලා හම්බ කරගත්ත සල්ලිවලින්. අපිට වාසියක් නැහැ. අපි එදා වේල හම්බ කරන් කන්නේ මේකෙන් තමයි. කාලයක් මේ වෙළෙඳාමෙන් අපි හොඳට හිටියා. ආණ්ඩුවෙන් මාර්කට් එක වෙන තැනකට අරන් ගියා. එහෙම කළාට පස්සේ අපි වෙළෙඳාමෙන් දුප්පත්ම වෙලා ගියා. හැමදේම දැන් මිල අධිකයි. ඒත් මොනවා කරන්නද අපිත් ජීවත් වෙන්නත් ඕනනේ. ඒ නිසා අමාරුවෙන් හරි ජීවත් වෙනවා. කවුරු බලයට ආවත් අපිට වෙන සෙතක් නැහැ’.
‘මම ඉස්සෙල්ලාම කොටුවට අවේ වයස අවුරුදු 10දී. දැන් මට වයස අවුරුදු 58ක් වෙනවා. මම එළවළු, පලතුරු, කරවල වගේ ලැබෙන දේවල් විකුණන කෙනෙක්. මම ඉස්සෙල්ලාම වෙළෙඳාම් කළේ මැනිං මාකර්ට් එක පාරේ. ඒත් එන්න එන්නම එහේ වෙළෙඳාම් නැතිවුණා. ඒ නිසා දැන් මම වෙළෙඳාම් කරන්නේ පිටකොටුවේ පස්වෙනි හරස් වීදියේ. මෙතන මට එදා වේල හම්බ කරන් ජීවත් වෙන්න පුළුවන්. අද කීයක්හරි අතට ගත්තොත් හෙට පාඩුවෙන අවස්ථාවන් අනන්තවත් අපේ වෙළෙඳාමේ තියෙනවා. අපේ අම්මලා, නැන්දම්මලා පරම්පරා ගාණක් ජීවත් වෙන්න කීයක් හරි හොයාගත්තේ මේ රස්සාවට පිං සිද්ධ වෙන්න තමයි.
මට දරුවෝ දෙන්නෙක් හිටියා. පුතත් කළේ වෙළෙඳාම. ඒත් එයා අවුරුදු 25න් වගේ අකාලේ මියගියා. දැන් මට ඉන්නේ දුව විතරයි. මැරුණ පුතාටත් දරුවෙක් ඉන්නවා. දුවටත් ළමයි තුන්දෙනෙක් ඉන්නවා. දුවගේ මහත්තයත් මැරිලා. ඉතින් අපි ඔක්කොම ජීවත් වෙන්නේ මේකෙන් හම්බවෙන ලාභයෙන් තමයි. මම උදේ පාන්දර පහට ආවම ගෙදර යන්නේ රෑ අටට විතර. මම දැන් වෙළෙඳාම් කරන තැන වුණත් කිසි ආරක්ෂාවක් නැහැ. සමහර වේලාවට ලොරි අපේ බඩු ගොඩවල් යට කරන් යනවා. එත් ජීවත් වෙන්න වෙන විකල්පයකුත් නැහැ. එහෙම බැලුවම අද අපි හරි අසරණයි. අපි රජයෙන් ඉල්ලන්නේ අපේ අසරණකම දිහා බලලා වෙළෙඳාම් කරන්න කොහෙන් හරි ස්ථිර තැනක් හදලා දෙන්න කියලා. අපි වතුර ටික වුණත් බොන්නේ සල්ලිවලට. අඩුම තරමේ වැසිකිළි පහසුකමක්වත් නැහැ. ඒ හැමදේටම සල්ලි දෙන්න වෙලා අපිට.’
‘මම දැන් අවුරුදු 20ක් වෙනවා කොටුවේ බුලත් වෙළෙඳාම් කරන්න පටන් අරගෙන . අම්මා තමයි මාව එක්ක ආවේ. දැන් ඉතින් මගේ රස්සාවත් මේක තමයි. මං හම්බ කරන මේ සොච්චමෙන් තමයි මම පවුලේ පස්දෙනෙක් නඩත්තු කරන්නේ.
මම උදේ අටහමාර වෙනකොට වැඩ පටන් ගන්නවා. රෑ වෙනකම් ඉන්නේ නැහැ. මම අවශ්‍ය බඩු ටික ගෙනල්ලා බුලත් විට හදලා කඩවලටත් දානවා. මමත් විකුණනවා. බඩු ටික ඉවර කරලා මම දෙකෙන් පස්සේ ගෙදර යනවා. මේවායෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ලාභපාඩු කියලා මොනවා කරන්නද? එන විදිහට එදා වේලට හම්බ කරගන්නවා.
එදා ඉඳන් මට කොටුව පුරුදුයි. මම මෙතන ඉඳලා තමයි හැමදාම වෙළෙඳාම් කරන්නේ. බුලත් තියාගන්න බැරි නිසා දවස ගාෙණ් බඩු අරගෙන තමයි මේ වෙළෙඳාම කරන්නේ. මම ගොඩක් කල් හිටපු නිසා හැමදාම බුලත් ගන්න අය මගෙන් තමයි අරගෙන යන්නේ.
‘මම කොටුවේ තැඹිලි වෙළෙඳාම පටන් අරන් දැන් අවුරුදු තිස්පහක් වෙනවා. මම උදේ පහට තැඹිලි විකුණන්න පටන් ගත්තහම හවස හය වෙනකම්ම විකුණනවා. මට ඉතින් වෙන රස්සාවක් කරන්න බැහැ. ඒත් එදාවේල හරි හොයාගන්න සල්ලි ඕන නිසා තමයි මං මේ රස්සාව කරන්නේ. මම මේ හම්බ කරන දෙයින් මගේ පවුලේ පස්දෙනෙක් ජීවත් වෙනවා. මං අවුරුද්ද දවසට විතරයි නැත්තේ. නැත්නම් වැස්සටත් අව්වටත් හැමදාම මං පාරේ තැඹිලි විකුණනවා. අලුත් අවුරුද්දට නම් වෙළෙඳාමෙන් පොඩි හරි ලාභයක් තියෙනවා. ඒ නැති කාලේට ජීවත් වෙන්නත් ටිකක් අමාරුයි.
මට වෙළෙන්දෝ දෙන්නෙක් කළුතරින් තැඹිලි ගෙනත් දෙනවා. ඒක නිසා මට ලොකු ලාභයක් නැහැ. මගේ මහන්සියේ තරමට තමයි ලාභයක් ලැබෙනව නම් ලැබෙන්නේ. මගෙන් පස්සේ කවුරුහරි මේ රස්සාව කරයි. මගේ දරුවො නම් වැඩි කැමැත්තක් නෑ මේ රස්සාව කරන්න. මට පුළුවන් කාලේ වෙනකම් මං මේ රස්සාව කරනවා. මහ පාරේම තමයි ඉතින් අපි මුළු ජීවිත කාලෙම ගෙවිලා ගියේ’.
‘මම බැන්දට පස්සේ තමයි කොටුවේ වෙළෙඳාම් කරන්න ආවේ. ජස්ටින් මාවතේ තමයි මම ඉස්සේල්ලම පලතුරු වෙළෙඳාම් කළේ. පස්සේ පදික වේදිකාවේ තිබුණ කඩ කැඩුවා. නමුත් මට අලුතින් ආපහු කඩයක් හම්බ වුණේ නැහැ. දැන් ඉතින් මේ තැන්වල එච්චර ආදායමක් නැහැ. අපිට ලාභ වුණත් පාඩු වුණත් නගර සභාවට රුපියල් 2500ක් මාසෙකට ගෙවන්න ඕන. අපිට පාඩුයි කියලා ඒකේ අඩුවක් වෙන්නේ නැහැ. සමහර තැන්වල කඩවල් නැහැ. පාරවලුත් වහලා. මිනිස්සු ඒ පැතිවල යන්නේ එන්නේ නැති නිසා වෙළෙඳාම් දැන් ටිකක් අඩුයි. මම උදේ හයට ඇවිල්ලා පහ හය වෙනකොට වෙළෙඳාම නතර කරනවා. තාම මේවට විදුලිය දීලත් නැහැ. අඩුම තරමේ වැසිකිළියක්වත් ළඟ නැහැ. අපි ඒවටත් සල්ලි දීලා යන්න ඕන. අපි පාරවල්වල වෙළෙඳාම් කරනවා. ඒක නිසා මේ රස්සාව දරුවන්ට දෙන්න බැහැ. අපි මේ හම්බ කරන සොච්චමෙන් හරි දරුවන්ට උගන්නනවා. එයලා දැනගන්න ඕන මේවගේ දුක් විඳින්නැතිව, තමන්ගේ උත්සාහයෙන් හරි හොඳ ව්‍යාපාරයක් පටන් ගන්න. අපි පදික වේදිකාවේ වෙළෙඳාමෙන් දුක් විඳිනවා. ඒක මගේ දරුවටත් දෙන්න මම කීයටවත් කැමති නැහැ. කාන්තාවක් කිව්වහම සමාජයේ තියෙන්නේ වෙනස්ම බැල්මක්. පේමන්ට් එකේ ඉන්නකොට අපේ දිහාත් සමහර පිරිමි බලන්නේ වපර ඇහින්. ආරක්ෂාවක් කියලා දෙයක් සහතික කරන්න බෑනේ මේ ජීවිතේ. අපේ පාඩුවේ රස්සාව කරන් අපි ජීවත් වෙනවා. එත් ඔන්න ඕක තමයි අපේ තත්ත්වේ.’
‘මම මුලින්ම විදේශගත වෙලයි හිටියේ. දැන් නම් ඉතින් අවුරුදු හයක ඉඳන් කොටුවේ මල්වත්ත පාරේ ලොතරැයි විකුණන එක තමයි මගේ රස්සාව. ඉස්සර දිනුම් එහෙම තිබුණ කාලේ මට ලොතරැයිවලින් හොඳ ආදායමක් තිබුණා. ඒත් දැන් එන්න එන්නම ආදායම අඩුයි. මම කලින් ලොතරැයි 1500ක් වගේ විකුණුවා. ඒත් දැන් විකුණන්නේ 600ක් 700ක් වගේ ගාණක්.
මට වෙන කරන්න දෙයක් නැහැ. දැන් මට මේක පුරුදු රස්සාව. ඒනිසා මම දිගටම මේක කරනවා. මම උදේ හතරහමාරට ඇවිල්ලා රෑ දහයහමාර වෙනකම් ලොතරැයි විකුණනවා.
මගේ දුව පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ඉන්නේ. ඒ නිසා මගේ දරුවට මේවාගේ දෙවල් කරන්න අවශ්‍ය නැහැ. මම එයාට මගේ උත්සාහයෙන් දුක් මහන්සියෙන් තමයි ඉගැන්නුවේ. මම ටිකක් ඉගෙනගෙන තියෙනවා. වියදම් ඉස්සරහට දරා ගන්න බැරි වුණොත් ආයෙමත් රට තමා යන්න වෙන්නේ. වෙන මොනවා කරන්නද?
මේ පැත්තේ හරියට වැසිකිළි පහසුකමක්වත් නැහැ. වතුර ටික වුණත් ගන්නේ සල්ලිවලට. ඉතින් අපි මේවා කරාට විදුලියවත් නැහැ. ලොතරැයි මණ්ඩලයෙන් කොමිස් එක හරි වැඩි කරනවා නම් ඒක ගොඩක් හොඳයි. මොකද මේ හැමදේම කරන්නේ මේ සොච්චම් මුදලින්. දරුවට කැම්පස් එකේ ඉගෙන ගන්න ඕන හැමදෙයක්ම ගන්නෙත් මේකෙන්. ලෙඩක් දුකක් නැත්නම් අපි පෝයටත් වැඩ කරනවා. ගෙදර යනකොට රෑ එකොළහ දොළහ වෙනවා. මේ අතර උයන්න වේලාවක් නැති නිසා කඩෙන්ම තමයි මුළු දවසම කන්නේ. වියදම වැඩියි. ඒත් මොනවා කරන්නද? ටිකට් විකුණන අතරේ මම බුලත් විටක් විකුණලා තමයි ටිකක් හරි ගාණ ෂේප් කරගන්නේ.
‘මම කොටුවේ වෙළෙඳාම් කරන්න පටන් ගත්තේ අසූ තුනේ කාලේ ඉඳන් වගේ. මම එදා ඉඳලා බුලත් විටක් විකුණලා, තැඹිලි ගෙඩියක් කපලා, හම්බකරගත්ත මුදලින් තමයි ජීවත් වුණේ. මම කොටුවේ, පිටකොටුවේ ගොඩක් තැන්වල වෙළෙඳාම් කරලා තියනවා. එත් මේ වෙන තුරුත් අපට කාගෙන්වත් පිළිසරණයක් නම් ලැබිලා නැහැ. අපි එදා වගේම තමයි අදත් ඉන්නේ. කඩ කැඩුවට පස්සේ අපි හැම තැනම හොරෙන් තමයි බුලත් විට විකුණන්නේ. කොහේ හිටියත් පොලීසියේ මහත්වරු අපිව එළවලා දානවා, නීතිවිරෝධීව වෙළෙඳාම් කරනවා කියලා. කහදගම මහත්තයා කාලයක් කිව්වා අපිට නිශ්චිත තැනක් දෙන්නම් කියලා. එත් තාම නම් ඒ මොකුත් අපිට ලැබිලා නැහැ. නගර සභාවට ගොඩාක් ආයාචනා කරලා තමයි දැන් තියෙන කඩ කාමරයවත් ලැබුණේ. නැත්නම් ඒකත් දෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් නගර සභාවට රුපියල් 3100 කුලියක් ගෙවනවා. ඒකත් මුල්ලක් වගේ තැනක තමයි හම්බවෙලා තියෙන්නේ. මම තවම එතන වෙළෙඳාම් කරන්න පටන් ගත්තේ නැහැ. දැනට අඩි සීයේ පාරේ තමයි වෙළෙඳාම කරගෙන යන්නේ.
මම උදේ හතට ආවම ආපහු ගෙදර යන්නේ රෑ අටට විතර. මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා. මම ඉල්ලන්නේ එක දෙයයි. ඒ අපිට අපේ වෙළෙඳාම නිදහසේ කරගෙන යන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න කියලා.’
‘මම පොඩි කාලේ අම්මලා එක්ක තමයි වෙළෙඳාමට ආවේ. ඒත් වෙළෙඳාමෙන් ලැබුණ සල්ලිවලින් අපිට ජීවත් වෙන්න අමාරු වුණා. පස්සේ මම රට ගියා. රට ගිහින් ඇවිත් දැන් අවුරුදු පහක් වෙනවා. ඒ ආවට පස්සේ තමයි මම ආයෙමත් වෙළෙඳාම පටන් ගත්තේ. උදේ පාන්දර හතර හමාරේ ඉදන් පොළට ගිහින් අවශ්‍ය බඩු ගෙනල්ලා හත හමාරට තමයි කොටුවේ වෙළෙඳාම් කරන්න එන්නේ. සමාන්‍යයෙන් බඩුටික විකුණලා ඉවර වෙනකොට රෑ දහය විතර වෙනවා. ඒ ගිහිල්ලත් මම නිදාගන්නේ පැය දෙකක් විතරයි. මට පදික වේදිකාවෙන් අයින් කරාට පස්සේ කඩ කාමරයක් තවම හම්බ වුණේ නැහැ. දැන් ඉන්නේ කුලියට කඩයක් අරගෙන. දවසට රුපියල් 1000ක් ගෙවන්න ඕන. සමහර දවස්වලට බඩු ඉතුරු වෙනවා. එදාට ගිය වියදමවත් හම්බවෙන්නේ නැහැ. එත් ඉතින් මොන දේ වුණත් කුලිය දෙන්න ඕන. නැත්නම් අපිට මේ වෙළෙඳාමවත් කර ගන්න බැරි වෙනවා. මගේ පවුලේ මම එක්ක අම්මයි දුවයි විතරයි ඉන්නේ. මගේ මහත්තයත් නැති වුණා. අම්මා තමයි දුව ගැන බලන්නේ.
එයාගේ වියදම් ගැන බලන්න ඕන නිසා මට මේ වෙළෙඳාම කරන්නම වෙනවා. සමහර වේලාවට කන්න බොන්නවත් වේලාවක් නෑ. රෑ 10ට විතර මෙතන බඩු ඉවර කරලා ඊට පස්සේ ආයෙත් පොළට යනවා. කීයක් හරි හම්බ කරගන්න අනිවාර්යයෙන් හැමදාම වැඩකරනවා. අපේ නැතිබැරිකම් අපිට. කවුරුත් උදව් කරන්නේ නැහැ. අපි බැරි හරිය කරගන්නේ ණයක් හරි අරගෙන’.
‘ මම දැන් අවුරුදු තිස්පහක් වෙනවා කොළඹට ඇවිල්ලා. මම කෙසෙල්, දිවුල්, අඹ වගේ පලතුරු තමයි විකුණන්නේ. ඉස්සර අපි පලතුරු වෙළෙඳාම කළේ පදික වේදිකාවේ. ඒත් ඒකෙන් අයින් කරාට තවම අපිට වෙළෙඳාම් කරන්න කියලා කඩයක් දීලා නෑ නගර සභාවෙන්. දීලා තියෙන එකත් කානුවක් අයිනේ කඩයක්. ඒත් ඒවායින් කිසි වැඩක් නැහැ. දැන් ඒක වහලා දාලා තියෙන්නේ. අපි දැන් ඉන්න කඩේට දවසට රුපියල් 700ක් ගෙවනවා. බඩු අරන් එන ත්‍රිරෝද රථයට ගෙව්වම අපිට මේකෙන් සත පහක්වත් ඉතිරි වෙන්නේ නැහැ. කඩ අයිතිකාරයාට අද පාඩුයි කිව්වට වැඩක් නැහැ. කොහොම හරි කුලිය දෙන්න ඕන. අපි උදේ හතට විතර ආවම ආපහු යන්නේ රෑ අටට නවයට විතර. ඉතින් දවසට රුපියල් 1000ක් හොයා ගත්තත් අපිට කඩ කුලිය ගෙවන්නයි, එදාවේල කන්නයිවත් පිරිමහා ගන්න බැහැ. දැන් පොලිතින් බෑග් සීයකුත් දෙසිය පනහක් වෙනවා. ඉතින් කරන වෙළෙඳාමේ පාඩුවක් මිස ලාභයක් නැහැ. කලින් නම් අපි වෙළෙඳාම් කරනකොට අපේ වියදම හොයා ගත්තා. නමුත් අපිව පදික වේදිකාවෙන් අයින් කළාට පස්සේ ණය විතරක් නෙමෙයි වැල් පොලිත් ගෙවන්න වෙලා. අපිට කිසිම සහනයක් නැහැ. අපි වෙනුවෙන් හදපු කඩ අවසානයේ නගර සභා මහත්තරු ටික දුන්නේ එගොල්ලන්ගේ හිතවතුන්ට. මගේ මහත්තයා නැහැ. දරුවෝ හතරදෙනෙක් ඉන්නේ. දරුවන්ටත් මේ රස්සාව දෙන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ’.
‘ පොඩි කාලේ ඉඳලම මම කොටුවේ වෙළෙඳාම් තමයි කළේ. කලින් ඉඳලම බොධිරාජ මාවත පැත්තේ අල, ලූනු වගේ දේවල් තමයි විකුණුවේ. පස්සේ දරාගන්න බැරි ආර්ථික වියදමත් එක්ක මම රට ගියා. නමුත් ඒ ගිහිල්ලත් කිසි දෙයක් මට ලැබුණේ නෑ. පදික වේදිකාවෙන් අයින් කරාට පස්සේ අපිට අඩි සීයේ පාරෙන් ලැබුණ තැන නම් කිසි වැඩක් නැහැ. එතන වෙළෙඳාම් කරන්න මිනිස්සු ගැවසෙන තැනක් නෙමෙයි. ගොඩක් සෙනග එතනට එනවනම් ඔන්න අපිට එතන වෙළෙඳාම් කරන්න පුළුවන්. ඒත් කවුරුත් එතනට බඩු ගන්න එන්නෙත් නෑ, මේ නිසා හරියට එතන වෙළෙඳාමක් නෑ. ඒ නිසා මම දැන් වෙළෙඳාම් කරන්නේ ගෑස්පහ හන්දියේ. මම කුලියට තමයි මෙතන වෙළෙඳාම් කරන්නේ. දවසට ඒත් රුපියල් 2000ක් ගෙවන්න ඕන. ලාභයත් තිබුණත් පාඩුවක් තිබුණත් ගාණ වේලාවට ගෙවන්න ඕන. මෙතන වෙළෙඳාම් කරන්න පටන් අරගෙනත් අවුරුදු හයක් විතර වෙනවා. මගේ දරුවන්ව කවදාවත් මම අල, ලූනුවලට බිල්ලට දෙන්නේ නෑ. අවුරුදු 13 ඉඳලම දුක් වින්දට මං මගේ දරුවොන්ට ඒ අත්දැකීම දෙන්නේ නැහැ. මගේ අම්මා තමයි දරුවන්ව පොඩි කාලේ ඉඳලම බලා ගත්තේ.
විදුලිය තියා බොන්න වතුර ටිකක් ගන්න තැනක් නැහැ මෙතන. අපි වැසිකිළියට පවා යන්නේ තැනක් නැහැ. ඒ නිසා මිනිස්සුත් මේ පැත්තේ එනවා අඩුයි. මේ සම්බන්ධ වගකිව යුතු පුද්ගලයන්වත් මාර්කට් එක දියුණු කරනවත් මොකුත් කරන්නේ නැහැ’.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd