ස්වකීය අත්දැකීම් ඔස්සේ අඳුරු ලෝකය තුළ අතරමංව සිටිමින් තමා මුහුණදුන් මානසික අවපීඩනය පිළිබඳ ලොවටම ඉදිරිපත් කරන ඇය කුලුඳුල් ලේඛිකාවක මෙන්ම සිනමා අධ්‍යක්ෂකවරියක් වීමට අපේක්ෂාවෙන් සිටින තැනැත්තියකි.
28 හැවිරිදි නතාලි ඩෙවින්කා නම් ඇය Naked and Exposed නම් කෘතිය ඔස්සේ ලාංකේය සමාජය තුළ මානසික රෝගයන් පිළිබඳ සමාජ අපකීර්තිය බිඳ දැමීමේ සටනේ පළමු හඬ අවධි කරන යුවතියයි. එලෙස හඬ නගන ඇගේ කතාවේ දිගහැරුම අද හමුවේ පැවසුයේ මෙලෙසිනි.
මගේ තාත්තා සිනමා අධ්යක්ෂවරයෙක්. මගේ අම්මත් නිර්මාණාත්මක දේවල් කරන කෙනෙක්. ඒ නිසා කුඩා කාලයේ සිටම ලෝකයේ තිබෙන මිහිරිම සංගීතය, හොඳම පොත් හා හොඳම සිනමා නිර්මාණ අපිට පරිශීලනය කරන්න පුළුවන් වුණා. මම මගේ පළමුවැනි කතාව ලිවීම ආරම්භ කරන්නේ අවුරුදු දෙකහමාරක වැනි වයසකදී. %Naked and Exposed^ නමැති මේ කෘතිය ලියවෙන්නේ මගේ මානසික අසංතුලිතතාවය ඔස්සේ මා විඳි අත්දැකීම් මුල් කරගෙනයි.
මම ඉදිරියේදී සිනමා නිර්මාණයක් සිදුකිරීමට අපේක්ෂා කරනවා. මේ දිනවල මම ඒ සඳහා කටයුතු සිදුකරනවා. සිනමා නිර්මාණයත් සමග මෙම කෘතිය බොහොම සමීප සම්බන්ධතාවක් තිබෙනවා. සිනමා තිර පිටපත හා මේ කෘතියේ අන්තර්ගතය බොහෝ සෙයින් සමානයි. සිනමා පටයේ තිර රචනය ලියන අතර තුර තමයි මම මේ කෘතිය රචනා කරන එක ආරම්භ කළේ.
මේ කෘතිය සම්පූර්ණයෙන්ම ලියැවී තිබෙන්නේ මම ලැබූ මගේ පෞද්ගලික අත්දැකීම් ඔස්සේ. ඇත්තෙන්ම මේ සැබැ ලෝකය තුළ මානසික රෝග (mental illness) කියලා දෙයක් තිබෙනවා. එය තවත් ප්‍රතිකාර ලබාදිය යුතු සාමාන්‍ය රෝගයක් ලෙසයි මම හිතන්නේ. ඒ රෝගී තත්ත්වය තුළ කෙනෙක්ට බලපෑමක් සිදුවෙනවාද කියා සමාජය කිසිවිටෙක සිතන්නේ නැහැ. මගේ විශ්වාසයට අනුව ඇත්තෙන්ම එයින් කෙනෙකුට ඔබ අපි කවුරුත් නොසිතන ආකාරයේ බලපෑමක් ඇති වෙනවා.
මිනිස්සුන් හරියට ඉලක්ක කළොත්, පවුලක් ඇතුළත තමන්ගේ මවගේ පියාගේ දරුවන්ගේ සහෝදර සහෝදරියන්ගේ හැසිරීම පොඩ්ඩක් හරි වෙනස් වුණොත් අපිට ඒ දේ නිවැරදිව හඳුනාගන්න පුළුවන්. පවුලක් තුළ වුවත් අපි එකිනෙකාව හොඳින් හඳුනාගන්න ඕන. එයට අවධානයක් ලබාදීම තුළින් මෙය කවුරුත් කියන්නා සේ නොපෙනෙන තත්ත්වයක් බවට තවදුරටත් වර්ධනය වන්නේ නැහැ.
අපි හැමෝම අපේ ලෝකවල ඉන්න විට තවත් කෙනෙකුට කුමන හෝ බලපෑමක් කරදරයක් සිදුවනවාද යන්න විමසා බැලීමට උනන්දුවක් දක්වන්නේ නැහැ. එය සාමාන්‍ය ස්වභාවයයි.
මම 2014 වර්ෂයේදී භින්නෝන්මාදය, විෂාදය හා බෝඩලයින් පසනලටි ඩිස්ඔඩර් යන රෝග තුනෙන් පීඩා වින්ද අයෙක්. එතැන් පටන් වසර තුනක් යන තෙක් මම ඖෂධමය ප්‍රතිකාර සඳහා යොමු වුණා. වසරක් පමණ කාලයක් මම හොඳට නිදා ගත්තා. ඒ නිසා මගේ මොළයට පුදුමාකාරයේ නිදහසක් හම්බ වුණා. ඒත් එක්කම මට හොඳයි කියලා මගේ මනසට දැනුනා. ඒත් එක්කම මගේ තනි තීරණයක් මත මම බෙහෙත් කරන එක නවතා දැමුවා.
ඒ බෙහෙත් නොගෙන සතියක් පමණ සීමිත කාල සීමාවක් මම සිටියා. ඒ දින කිහිපය තුළදී මට වසර10ක් ආදරය කළ පුද්ගලයා හා විවාහ වුණා. ඉන්පසුව මම නැවතත් නවතා තිබූ මගේ වෘත්තීය කටයුතු සඳහා යොමු වුණා. මේ සෑම දෙයක්ම සිදුකර කෙටි කාලයක් තුළ සතුට උපරිමයෙන්ම විඳින්නට මට හැකිවුණා. නමුත් අනපේක්ෂිත ලෙසින් දින 10ක් වගේ සීමිත කාලයක් තුළ ඒ හැම සතුටක්ම මගෙන් ගිලිහී ගියා.
ඒ දින කිහිපය තුළ නොසිතූ ආකාරයේ විශාල සතුටක් විඳපු මම කොහොමද එක පාරටම නැවතත් පෙර තිබූ අඳුරු තත්ත්වයටම ඇද වැටුණේ කියා ඇත්තෙන්ම මටවත් හිතා ගන්න බැරිවුණා.
එයින් මම එක් දෙයක් හොඳින් තේරුම් ගත්තා. මොකද, මේ වගේ තත්ත්වයකින් පෙළෙන විට අපි කරන ලොකුම වැරද්ද තමයි ඒ සඳහා ඇති නියමිත ප්‍රතිකාර නොගැනීම හා නියමිත අවධානය නොදීම. එය මගහැරුණු මට ගැටලු රැසකට මුහුණපාන්න සිදුවුණා. නැවතත් අඳුරට මාව තල්ලු වෙන හැඟීමක් මට දැනුනා.
ඒ කාලය අතර තුර මට සැත්කමකට පවා මුහුණදෙන්න සිදුවෙනවා. ඒ සැත්කමෙන් පසුව වුණත් මම අවස්ථා කිහිපයකදීම අසනීප තත්ත්වයන්ට මුහුණදෙනවා. මේ සෑම දෙයක් නිසාම අඳුරට තල්ලු වුණා මිසක් එයින් මිදී ආලෝකය වෙත එන්න මට හැකියාව ලැබුණේ නැහැ.
මගේ දෙමවුපියන්, සහෝදරියන් වගේම මගේ සැමියාට මේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් හා දැනීමක් තිබුණ නිසා ඒ සැවොම මගේ උදව්වට, උපකාරයට හිටියා. මොකද මෙවැනි තත්ත්වයක සිටින විට ඇතැම් අවස්ථාවලදී වචනයක් හරි කතා කරන එක හරි අමාරු වෙන්න පුළුවන් නිසා.
මේ අසනීපය තිබෙන විට මිනිසා සත්‍ය ලෝකය හා ෆැන්ටසිය නිශ්චිතව නිගමනය කළ නොහැකි තත්ත්වයකට පත්වෙනවා. එය රෝමන් පොලන්ස්කි ඔහුගේ කෘතියක ඉතා සුන්දරව සටහන් කරනුයේ %මා සිතන හැටියට, මනඃකල්පිත හා යථාර්ථය අතර ඇති රේඛාව බලාපොරොත්තු රහිතව අඳුරු වී ඇත^ යනුවෙනි. සැබැ ලොව කුමක්ද කියා සොයා ගන්න ඒ වගේ තත්ත්වයක ඉන්න අයට ලොකු ප්‍රශ්නයක්.
එසේ කාලයක් ගෙවි යන විට %ගුඩ් කර්ම හොස්පිටල් ^ කියා බ්‍රිතාන්‍ය ටෙලි නාට්‍ය මාලාවක වැඩකටයුතු කරන්න මට අවස්ථාව උදා වෙනවා. එය තිබුණේ උණවටුන ප්‍රදේශයේ. ඒ වේලාවේ ලැබුණ හොඳම දේ එය කියලා මම හිතනවා. මොකද මට සිනමා අධ්‍යක්ෂකවරියක් වෙන්න ලොකු කැමැත්තක් තිබුණා. නමුත් එතරම් ආසාවෙන් කළ දේ වුණත් නතර කර දමා සැත්කමක් කරන්න මට සිදුවෙනවා. මේ වනතුරුත් මම ප්‍රතිකාර ලබන කෙනෙක්. නොසිතූ අවස්ථාවන්ට මට මුහුණදෙන්න වෙන්නේ වගේම මේ සියල්ල සිදුවන්නේ මගේ මානසික රෝගී තත්ත්වය තුළයි.
මුල් අවස්ථාවේ මෙන් නොවේ, මේවර අඳුරට මාව යොමු කරනවා කියලා මට හොඳටම දැනුණා. මුල් අවස්ථාවේ අඳුරට යන තුරු මම දන්නේ නැහැ මට මොකද වුණේ කියලා. කෙසේ නමුත් මාස 4ක පමණ කාලයක් ගෙවිලා ගිහින් දිනක් අපි කෑම කන අවස්ථාවක මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අම්මා මගෙන් ඇහුවේ. ඒ අවස්ථාවේ තමයි මම අඬලා මට මේ වගේ ප්‍රශ්නයක් තිබුණා, මම මෙච්චර කාලයක් තනියම සටන් කළා, තවත් එහෙම කරන්න බැහැ කියලා මගේ කතාව ඔවුන්ට කිව්වේ.
ඒ වගේ හිර කරගෙන ඉඳලා එකපාරම කතාකරන්න පටන්ගත්තට පස්සේ මට හිතුණා මම වගේම මේ වගේ අත්දැකීම් තිබෙන නමුත් එය සමාජය ඉදිරියේ කියන්න අපහසුවෙන් ඉන්න තව කීදෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා. අපේ සමාජයේ හානිකර වූ ඒකාකාරී මතවාද දරන්නන් නිසා මිනිස්සු බයයි ඔවුන්ට දැනෙන දේ තවත් කෙනෙක්ට ඇහෙන්න කියන්න.
අපේ ශරීරයේ තිබෙන වටිනාම අවයවය තමයි මොළය කියන්නේ. මොළයේ ඇති රසායන සංයුතිෙය සමබරතාව බිඳවැටී කුමක් හෝ මානසික රෝගී තත්ත්වයක් ඇති වූ විට මිනිස්සු එයට විතරක් අපට සටන් කරන්න කියනවා. නමුත් ඔවුන්ට එහෙම සටන් කරන්න බැරි වුණොත් මානසිකව ඔවුන් හරිම දුර්වලයි කියා පවසනවා. නමුත් අපි පිළිකාවක්, උණක් හෝ හෙම්බිරිස්සාවක් හැදුන විට කවුරුත් කියන්නේ නැහැ ඔයා ඒ ලෙඩත් එක්ක සටන් කරන්න කියලා. මේ ආකාරයේ නොයෙක් හේතුන් නිසා තමයි බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් කතා කරන්නේ නැත්තේ.
මානසික සෞඛ්‍ය කියන දෙය බිඳ වැටුණහොත් එය අඩුයිද වැඩියිද කියා සොයා බලන එක නෙමෙයි වැදගත්. ඇත්තෙන්ම එය බිඳ වැටිලා කියන කාරණයයි. මම මේ කෘතිය රචනා කරන්නේ මම වගේ ඉන්න හැම කෙනෙක්ටම ඒ වෙනුවෙන් හඬක් දෙන්න. ඒ වගේම මම ඉල්ලනවා මගේ පොත කියවලා ඒ අයටත් කතා කරන්න කියලා. අපේ මේ සමාජය හැදෙන්න ඕන මේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන් පිරිසක් වටායි.
ඇත්තෙන්ම යම් පුද්ගලයෙකු වෙනස් විදිහට හැසිරුණොත් ඔහු හෝ ඇය පිස්සෙක්, මානසික රෝගීයෙක් යන නම්වලින් ආමන්ත්‍රණය කරන එක අපේ සමාජයේ පුරුද්දක්. මම කියන්නේ ඇත්තෙන්ම එසේ ලේබල් කිරීම නතර විය යුතු දෙයක් කියලයි. කෙනෙකු සාමාන්‍ය හැසිරීමට වඩා වෙනස් ආකාරයකට හැසිරෙනවා නම් මානසික රෝගී ගනයට දමා ඔවුන්ව කොන් කරනවා. මමත් ඇත්තෙන්ම එය කරලා තියෙනවා. මමත් ඉස්සර මේ මානසික තත්ත්වය ගැන හිතුවේ එහෙමයි. නමුත් මමත් එහෙම තියාගෙන තමයි අනෙක් අයටත් එහෙම කිව්වේ කියලා මට පසුව හිතුණා.
ඇතැම් අවස්ථාවල මානසික රෝගී තත්ත්වයක් ඇති වන්නේ කිසියම් රෝගී තත්ත්වයක් නිසාම නෙමෙයි. ඒ වගේම එය වයස් භේදයකින් තොරව කුඩා කාලෙය් වුණත් ඇති විය හැකි තත්ත්වයක්. පවුලක් තුළ එකිනෙකාගේ හැසිරීම් රටා අපි නිවැරදිව හඳුනා ගත්තා නම් ඇත්තෙන්ම මේ තත්ත්වය බොහෝ ඉක්මනින් ඉවත් කරන්න හැකි වෙනවා. සත්‍ය ලොවෙන් වෙන් වී වෙනත් මානයක් කරා ගිය පසුව ඒ පුද්ගලයාව බේරා ගන්න ගොඩක් මහන්සි වෙන්න අවශ්‍යයි. මෙම රෝගී තත්ත්වය ඇතැම්විට පරාම්පරාවෙන් එන දෙයක් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක සිට ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමේදී වුවත් ඇති වන්නේ අමුතු හැඟීමක්. ඒ නිසාම තමයි මේ ගැන ගොඩක් කතා කරන්නේත් නැත්තේ. මොකක් හරි හේතුවකට අනෙක් ලෙඩවලට නැති ලැජ්ජාවක් මේ වැනි මානසික රෝගී තත්ත්වයන් ගැන තිබෙනවා. මට උණ, හෙම්බිරිස්සාව තිබෙනවා කියන්න පුළුවන් වුණත් මට විෂාදය, භින්නොන්මාදය තියෙනවා කියන්න මිනිස්සු ටිකක් අකමැතියි. නමුත් ලෝකේ දැන් එය යම්තාක් දුරකට එය වෙනස් වෙලා තිබෙන්නේ. ජිම් මොරිසන් (jim morrison), එවී වයින් හවුස්, රෝමන් පොලාස්කි වැනි තවත් නිර්මාණ ශිල්පීන් රැසක් මෙවැනි මානසික පීඩිත තත්ත්වයන්ට මුහුණදී තිබෙනවා. කතා නොකළත් ඇත්තෙන්ම මෙය සමාජයේ බහුතරයකට ඇති තත්ත්වයක්.
ඇතැම් විට පොඩි කාලයේ සිදු වූ සිද්ධියක් පාදක කර ගනිමින් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කිසිම හේතුවක් නොමැතිව ජානමය තත්ත්වයක් නිසා මෙය ඇතිවෙන්න පුළුවන්. ඇතැම්විට එය තමන්ගේ පෞරුෂත්වයේම කොටසක් වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව සත්ත්වයන්ටද මෙම රෝගී තත්ත්වය ඇති වෙනවා. මෙවැනි තත්ත්වයකින් පීඩා විඳින්නෙකු ඖෂධ මගින් සුවකළ හැක්කේ 20%ක් වගේ ප්‍රමාණයක්. අපි උණ හිසරදයට පැනඩෝල් එකක් ගන්නවා හා සමානයි මෙවැනි තත්ත්වයක් තුළ ඖෂධ ප්‍රතිකාර කිරීම. නමුත් ඉතිරි 80%ම අපි මත රඳා පවතිනවා.
අපි මේ ගැන විවෘතව කතා කරන්න පටන් ගත්තොත් ඒ නිසා අප අවට සිටින අය අපිට අනිවාර්යෙන් ඇහුන්කම් දේවි. අද කාලේ සමාජය තිබෙන ආකාරයට ඇත්තෙන්ම මානසික රෝගයක් තිබෙන අයෙකුට විවෘත වෙලා කතා කරන්න හරි අමාරුයි. ඒ නිසා මුලින්ම සමාජය වෙනස් වෙන්න අවශ්‍යයි. ඒකාකාරි මතධාරී රැල්ලේ සිටින මිනිසුන්ගේ මතවාද අපි වෙනස් කරන්න අවශ්‍යයි. මම රචනා කළ පොතේ ඒ කාරණා සියල්ල බොහෝම කෙටියෙන් අන්තර්ගත කර තිබෙනවා.
මම මේ ග්රන්ථයට Naked and Exposed කියා නම යොදන්න ප්‍රධාන හේතුවක් වුණේ මම සියල්ල මේ ග්‍රන්ථයේ ඇතුළත් කරලා තිබෙන නිසා. මම කවුද කියන තැන ඉඳන් සියල්ලම මෙහි අන්තර්ගතයි. මේ 21වැනිදා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී මෙය ග්රන්ථයක් ලෙසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ පොත දැනට මම ලියලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. නමුත් මම මෙහි සිංහල පරිවර්තනයක්ද ඉදිරියේදී කිරීමට අපේක්ෂා කරනවා.
ෂෙහානි දිල්රුක්ෂිකා