Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
යසෝදරා පථන්ජලී යන නම ඔබ ඇසූ සැනින් ඔබට ඉන්දීය හුරුවක් තිබූ නමුත් ඇය දේශීයත්වයට ගරු කරමින් ඇයටම විශේෂිත වූ කලාවක් ඉදිරියට ගෙන යන චිත්‍ර ශිල්පිනියක් කිවහොත් නිවැරදියි. ඇත්තෙන්ම ඇය චිත්‍ර ශිල්පිනියක් පමණක්ම නොවේ. ලේඛිකාවක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක් වගේම හොඳ මවක්, බිරිඳක් කියා නිර්වචනය කිරීමට හැකියි. ඇගේ කලාවන් වගේම ඇය හිතන පතන ආකාරයත් ඇත්තෙන්ම වෙනස්. ඇයව අද වනවිට බොහෝ දෙනෙක් දැන හඳුන ගන්නේ ලංකාවේ විශාලතම බිතුසිතුවම නැතහොත් මියුරල් ආර්ට් එක කළ තැනැත්තිය ලෙසටයි. ඒ නිසාම ඇගේ මේ කලා කටයුතු දැන ගන්න 'අද' හා එක්වූ මොහොතකි මේ.
ඔබ චිත්‍ර කලාවට යොමුවූයේ කොහොමද?
මට අවුරුදු තුනේ පමණ කාලයේ පටන් මම චිත්‍ර කලාවට යොමුවුණා. ඒ ඕනෑම කෙනෙක් චිත්‍ර අඳින්න ආරම්භ කරන කාලය. නමුත් මම සාමාන්‍යයෙන් කට්ටිය නවත්වන කාලයේ නැවැත්තුවේ නැහැ. නමුත් මට කලාව ඉගෙන ගන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ. මම ගණිතය, ඉංග්‍රීසි සාහිත්‍ය තමයි උසස් පෙළට හැදෑරුවේ. නමුත් මම හැම වෙලේම මොනා හරි දෙයක් චිත්‍රයට නැගුවා. මට අයිති කියලා තියෙන හැම දේකම මම මොනා හරි දෙයක් ඇඳපු එක තමයි කළේ.
ඒ වගේම එංගලන්තයේ ජීවත් වෙද්දී එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තමයි සේවය කළේ. ඒ කාලයේ කලාත්මක නොවන ගමනක් තමයි දිගටම යන්න සිදුවුණේ. මට අවුරුදු 30 වගේ වෙද්දි මගේ ජීවිතය බොහොම ඉක්මනට වෙනස් වුණා. ඒ කාලයේ තමයි තේරුණේ මම කැමති විදියෙ ජීවිතයක් මට තිබුණේ නෑ නේද කියලා. මට අනාගතයක් ඒ වෙද්දී ගොඩනගාගෙන තිබුණෙ නැහැ. ඒ වෙලාවෙදී තමයි මම තීරණය කළේ මගේ පවුල ඇරෙන්න මගේ මුළු ජීවිතයම කලාවට යොමු කරනවා කියලා. ඒ තීරණය ගත්තට පසුව මට තිබුණ අදහස්, මගේ තිබුණ කලාවන් දිගටම නිර්මාණ බවට පත් කරගෙන යනවා.
චිත්‍ර කලාව තුළ විවිධ වූ වර්ගීකරණයන් දකින්න ලැබෙනවා. ඒ අතරින් ඔබේ කලාව ගැන කතා කළොත්?
මගෙන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මම සිදු කරන කලාව මොකද්ද මොන වර්ගයේද කියන එක. එහෙම මට එක වර්ගයකට යොමු කරන්න බැහැ. සමහර විට ඒ මම කලාව ඉගෙනගත් කෙනෙක් නොවන නිසා වෙන්න පුළුවන්. මම ඇත්තටම ක්‍රමයෙන් පිට කලාව සිදු කරන කෙනෙක්. මට තේරෙන්නෙ තීන්ත පෙට්ටියයි කොළයයි, එහෙම නැත්තන් තීන්ත පෙට්ටියයි බිත්තිය අතරයි කරන කලාව විතරයි.
මම හිතන්නෙ මගෙ වගකීම තියෙන්නෙ මට එන අදහස් නිර්මාණයට නගන එක. මගේ කලාව ගැන හිතන විට මම බලන්නේ වර්ණ ගැන හෝ තේමාවන් ගැන. කොහේද අඳින්නෙ කියන එක ගැන මම ඒ තරම් හිතන්නෙ නැහැ. කොහේ ඇන්දත් මට මගේ කලාව එකයි. නමුත් බාහිර සමාජය මේ කලාවන් විවිධ නම් වලින් හඳුන්වනවා. එය බොහෝ වෙලාවට සිදුවෙන්නේ ප්‍රේක්ෂකයා අතින් මිසක් නිර්මාණකරු අතින් නොවේ. ඒ නිසා නිර්මාණ දකින සහෘදයා මොන වර්ගයටද එය යොමු කරන්නෙ කියන කාරණය මම දන්නෙ නෑ.
බිතුසිතුවම් කලාවට (Mural Art ) යොමු වුණේ මොන කාලයේද?
මම එංගලන්තයේ ජීවත් වන කාලයේ පොඩි මියුරල් ආර්ට් එකක් පිරිසක් එක්ක එකතු වෙලා නිර්මාණය කළා. නමුත් මගේ කලාව එකතු කරලා කරපු පළවෙනි නිර්මාණය තමයි මේ නිර්මාණය.
ඔබට මේ වගේ මේ බිතුසිතුවමක් කරන්න හිතුණේ ඇයි?
තාප්පෙ හිස්ව තියනවා දැක්කම මම දවසක් මහත්තයාට කිව්වා තාප්පෙ ඇන්දනම් හොඳයි නේද කියලා. මහත්තයා කිව්වා ඒක හොඳ අදහසක් කියලා. ඇත්තටම මම එහෙම ඇහුවෙ එහි කලාවක් කරන්න අදහසකින් නෙවේ. ඊට පසුව මාසයක් ඇතුළත මම තීන්තත් ගෙනල්ලා පලංචියත් ගෙනල්ලා වැඩේ පටන් ගත්තා.
ඔබ පවසනවා මේ නිර්මාණය ලංකාවේ තිබෙන ලොකුම බිතුසිතුවම කියා. කොහොමද ඔබ එලෙස පවසන්නෙ?
මම හිතන්නෙ බිත්තියක කවුරුහරි අතින් ඇඳපු කලාත්මක වැඩකට මේ තරම් ලොකු නිර්මාණයක් නැහැ ලංකාවෙ. මෙය වර්ගමීටර 100 ක් පමණ වෙනවා.
ඔබට කොපමණ කාලයක් ගියාද මේ නිර්මාණය සිදු කරන්න?
ඇත්තටම අඳින දවස් බැලුවොත් මාසයක් පමණ ගත වුණා. සම්පූර්ණ වැඩේට මාස 3ක් පමණ ගත වුණා. මොකද නිර්මාණය සිදු කරද්දී වැහි කාලය පටන් ගත්තා. මැයි මාසයෙ තමයි පටන් ගත්තෙ. නිර්මාණය සිදු කරන්න පටන් ගත්ත පසුවදා පටන් වැස්ස පටන් ගත්තා. එයින් මට මාසයක් පමණ මග ඇරුණා. බිත්තිය සුද්ද කරලා, ෆිලර් ගාණ වැඩ ඔක්කොම වැඩ මම තනියම කළේ. සම්පූර්ණ බාස් වැඩේ කළේ මම. ඒ වගේම මට උසත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඉහළට යන්න යන්න ක්ලාන්තය, කැරකිල්ල වගේ එනවා. දෙවැනි තට්ටුව දාලා වැඩේ කරන්න ටිකක් කල් ගියා. මානසික ශක්තිය හොයා ගන්න. ඒ නිසා මාස 3ක් පමණ ගතවූවා.
නිර්මාණය සිදු කරන්න පෙර ඒ ගැන සැලසුමක් තිබුණාද?
මෙය ආරම්භ කරන දවසේ කිසිම අදහසක් තිබුණෙ නැහැ. මම ලා කහ පාට වගේ තීන්ත එකක් අරගෙන තිබුණා. ඒ තීන්ත එකට ගොඩක් වතුර දාලා දියාරු කළා. එයින් මම කටුසටහනක් වගේ එකක් ඇන්දා. ඒ ඇඳපු එක තමයි පාට කරගෙන ගියේ. ඒ මුල් කටුසටහනේ සියයට හැත්ත පහක් අසූවක් වගේ එලෙසම පාට කළා. බොහොම කුඩා ප්‍රමාණයයි ඊට වෙනස් කළේ. ඒ බිත්තියෙ අඳින්න කලින් කොළයක හරි හිතේ හරි වෙන අදහසක් තිබුණෙ නැහැ.
මේ නිර්මාණයට පසුව සිදුකළ නිර්මාණ ගැන කතා කළොත්?
මම මේ නිර්මාණය අගෝස්තු මාසයේ නිමකළේ. ඊට පසුව මම මාලඹේ සහ කොල්ලුපිටියේ නිර්මාණ දෙකක් සිදුකළා. ඒ සියල්ල පෞද්ගලික ආයතන දෙකකට සිදුකළ නිර්මාණ. ඉදිරියේදී ගොඩක් වටිනා අවස්ථාවක් ලැබෙන්න තියෙනවා. ඒ ගැන ඉදිරියේදී පවසන්නම්.
මේ කලාව ලංකාවට තවම ආගන්තුකයි. ඔබට අදහසක් තිබෙනවාද තරුණ පරපුර සමග ඔබ ලැබූ අත්දැකීම් බෙදාගන්න?
මම මගේ තාප්පයේ මේ නිර්මාණය කළේ කිසිම දෙයක් බලාපොරොත්තුවකින් නෙමේ. ඇත්තටම වුණේ හිස්තැනක් දැක්කා. එතන අඳින්න හිතුණා. මම ඇන්දා. එච්චරයි. නමුත් මට ඒ හරහා අවස්ථාවක් උදා වුණා ඩියුලක්ස් සමාගමත් සමග වැඩ කරන්න. ඒ අයගේ විවිධ වු ව්‍යාපෘති තිබෙනවා තරුණ පිරිස සමග සිදුකරන. නමුත් මම මේ දේ රටපුරා ගිහින් සිදු කරලා තේරුමක් නැහැ. වෙන අයට මේ දේ වටිනාකමක් පෙනෙනවා නම් ඒ දේ ඉදිරියට ගෙනියන්න බලන්න ඕන.
මම මෙහි එක දෙයක් දකින්න කැමතියි. ලංකාවේ සාමාන්‍යයෙන් පාසල්වල දකින්න ලැබෙන තාප්පවල චිත්‍ර අඳින්නෙ රටපුරාම එකම විදියකට. ඒ දේ ඒ විදියටම යන්නෙ නැතිව වෙනස් කරන්න. ඒ කියන්නෙ මගේ විදියටම ගේන්න කියන එක නෙවේ. මම කියන්නෙ අලුත් අලුත් දේ සිදු කරලා බලන්න කියා. මම අකමැති දෙයක් තමයි නිතර දකින්න ලැබෙන දේවල්වලින්ම නිර්මාණය සිදුකරන එක. තමන්ගෙ දෙයක් නිර්මාණය කරන්න ගොඩක් දෙනෙක් සිතන්නෙ නැහැ. නිර්මාණයක් කියන්නේ අපූර්ව දෙයක් මිස තව කෙනෙකුගේ කොපියක් නොවෙයි.
ඔබ සිදුකළ චිත්‍ර ප්‍රදර්ශන ගැන කතා කළොත්?
දැනට තනි ප්‍රදර්ශනයක් සිදුකළා ලන්ඩන්වල 2016 අවුරුද්දෙ. ගාල්ලෙ එක් ප්‍රදර්ශනයක් කළා 2017 අවුරුද්දෙ. මේ දිනවල මගේ තුන්වෙනි ප්‍රදර්ශනයට සූදානම් වෙනවා. ඒ ප්‍රදර්ශනය අනිවාර්යයෙන්ම තියන්න යන්නෙ ලයනල් වෙන්ඩ්ට් එකේ. මොකද මගේ මුත්තා තමයි ලයනල් වෙන්ඩ්ට් එක ආරම්භ කළේ. මගේ මුත්තගෙන් පසුව පවුලෙන් කිසිම කෙනෙක් ඇවිත් නැහැ ලයනල් වෙන්ඩ්ට් එකේ ප්‍රදර්ශනයක් කරන්න. ඒ නිසා ඒ මොහොත මට වගේම ඒ අයටත් වටිනා මොහොතක් වෙනවා පවුලේ නම තියා ගන්න. මම ඒ ප්‍රදර්ශනය තනිකරම කරන්න බලාපොරොත්තු වන්නෙ ලී කැටයම්.
ඒ ලී කැටයම් වලින් සිදුකරන නිර්මාණ ගැන කතා කළොත්?
මම ලංකාවට 2016 පදිංචියට ආවම යම් යම් හේතුවලට ලී මෝලට යන්න සිදුවුණා. ලී මොලේ අනවශ්‍ය ලී ගොඩගහල තියෙනවා. ඒ ලීවල අමුතු හැඩවල් දැක්කා මම. ගහේ කඳ එහි පොත්ත වගේ නොයෙක් දේවල් දකින්න පටන් ගත්තා. මට මාර දුකයි මේවා විසි කරලා තියෙද්දි. මොකද මම ඒකෙ පුදුම ලස්සනක් දැක්කා. මේ ලී වලින් මොනා හරි කරන්න පුළුවන් කියලා හිතුණා. ඊට පස්සෙ මම ඒවා ගෙදර අරන් ආවා.
ඒ ලී බලද්දි මට පෙනෙන්න පටන් ගත්තා ලීයක තිබෙන හැඩ. එය නිර්මාණය වී තිබෙන විදිය. ඒ සමග මට විවිධ විවිධ අදහස් හිතට ආවා. ඒ අතර ස්වභාවධර්මයට සිදු වේගෙන යන දේවල්. ආර්ථික කෑදරකම නිසා සමාජයට සිදුවී තිබෙන ප්‍රශ්න, ඒ වගේම සමාජයේ තේරුමක් නැති නීතිරීතිවලින් මිනිසුන් හෙම්බත් වෙලා කියන කාරණා. ඒ සෑම ප්‍රශ්නයකටම සරල විසඳුම් තිබෙනවා. නමුත් ඒ කිසි දෙයක් කරන්න බැහැ ඒ හැම දේටම වඩා ආර්ථිකය වටින නිසා මට පෙනෙන්නේ මේ ලීවල වගේ මිනිසුන් රන් වැටක කොටුවෙලා වගේ අදහසක්. ඒ අදහසුත් සමගයි මම ඒ ප්‍රදර්ශනය සිදුකරන්න බලාපොරොත්තු වෙන්නෙ.
ඔබ චිත්‍ර කලාවට පමණක් නොවේ ඇඳුම් නිර්මාණකරණයටත් දක්ෂතාවක් දක්වනවා. ඒ ගැන කතා කළොත්?
ඇත්තටම මට මොනාහරි දෙයක් අඳින්නෙ නැතිව ඉන්න බැහැ. දැන් මම රෙදි අච්චු ගහන්න පටන් ගත්තා. අපේ අම්මා මැහුම් ගෙතුම්වලට දක්ෂයි. ඉතින් මමත් පොඩි කාලෙ ඉඳන් මහන වැඩ කළා. මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ ඉන්දියාවේ බ්ලොක් ප්‍රින්ටින් කලාව ලංකාවට ගෙන එන්න. ඒ කියන්නෙ බතික් කලාව ලංකාවට ආවේණිකයි කියලා හිතුවට ඒක අපේ කලාවක් නෙවේ. ඉන්දුනීසියාව පැත්තෙන් ලංකාවට ගෙනාපු කලාවක්.
ඒ දේ මෙහාට ගෙනාවට ඉන්දුනීසියා බතික් එකයි ලාංකික බතික් එකයි බැලුවම අපේ වෙනස තේරෙනවා. දැන් එය අපේම සම්ප්‍රදායික කලාවක් බවට පත්වෙලා. ඉතින් බ්ලොක් ප්‍රින්ටින් කියන දෙයත් සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ කලාවක්. ඉතින් මට ආස ඒ කලාව ලංකාවට ගෙනැවිත් අපේ සම්ප්‍රදායට අනුව එය ලංකාවෙ කලාවක් කරන්නෙ කොහොමද කියන එක කරලා බලන්න. ඒ කියන්නෙ ඉන්දියාවේ කලාව පිටපත් කරන එක නෙවේ. මම කැමතියි මේ කලාව ලංකාවෙ මිනිස්සුන්ට උගන්වන්න.
ඔබ චිත්‍ර ශිල්පිනියක් පමණක් නොවේ. මේ වනවිට ලේඛිකාවක් ලෙසටත් කටයුතු කරනවා. ඒ ක්ෂේත්රයට යොමු වෙන්න හිතුවේ ඇයි?
දැනට මම ළමා කතන්දර පොතක් ප්රකාශනය කර තිබෙනවා. තව එකක් මුද්‍රණය කරන්න දී තිබෙනවා. ඒ දේට යොමු වුණේ ලොකු අදහසක් එක්ක නෙමේ. මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මම ඒ දෙන්නට ඉංග්‍රීසි උගන්නනවාට විරුද්ධයි. ඒ අයට ඉංග්‍රීසි කතන්දර පොත්, සිංදු මම දෙන්නෙ නැහැ. ඒ දෙන්නෙ නැත්තෙ එංගලන්තයේ හිටපු කාලයේ පටන්.
මම හැදුනෙත් සිබිල් වෙත්තසිංහයන්ගේ පොත් කියවලා. ඉතින් මගේ ලොකු දුව ඉපදුනාම ඒ පොත් සියල්ලම මම ගත්තා. ඒ ටික අරන් ඉවර වුණාට පස්සේ එතනින් එහාට යන්න තැනක් නැහැ. එකක් තමයි සිංහල භාෂාවෙන් පොත් අඩුයි. අනිත් දේ තමයි මම විරුද්ධයි ඩිජිටල් පින්තූර තියෙන පොත්වලට. මොකද ඒ තුළ කලාත්මකභාවයක් නැහැ. ඒ පොත්වල කිසිම ගැඹුරක් නැහැ. ඒ දේත් හරියට පාසල්වල තාප්ප ගැන කිව්වා වගේ කෙනෙක් කරපු දෙයක් තව කෙනෙක් පිටපත් කරන එක සිදු වන්නෙ. ළමයෙක්ට මවාගන්න කිසිම හැකියාවක් ඒ තුළ නැහැ.
අනිත් ගැටලුව තමයි ගොඩක් කතාන්දර පොත්වල හොඳ ළමයා සුදුයි. නරක ළමයා කළුයි. ඒක මට තිබෙන ප්‍රශ්නයක්. අපි ළමයෙක්ට දෙයක් දෙනවා නම් ඒ තුළ වටිනාකමක් තිබෙන්න ඕන. ඇයි අපි පොඩි කාලෙම දරුවන්ගෙ ඔළුව අවුල් කරන්නෙ. ඒ වගේ වැරදි තැන් මම ගොඩක් දැක්කා. ඒ නිසා මගේ ළමයාට දෙන්න දෙයක් නැතිකමට මම ටිකිරි බබා කතාන්දර පොත ලිව්වා. ඔබ කියනවා ඔබේ දරුවන්ට ඉංග්‍රීසි කතා කරන්න තහනම් කියා. නමුත් අද බොහෝ දෙමවුපියන් සිදු කරන්නෙ එහි අනිත් පැත්ත.
ඔබ හිතන්නෙ ඒ දේ දරුවන්ගෙ පැත්තෙන් ගත් නිවැරදි තීරණයක් කියාද?
අපි අනුන්ගේ දේවල් පස්සෙ යනවා තමන්ගෙ දේ නැති කරගෙන. දැන් කාලයේ හැටියට ඉංග්‍රීසි අත්‍යවශයි. නමුත් අපිට අපේකම කියන්නෙ මොකද්ද කියලා කියා දෙන්න බැරිනම් ඒ ළමයාට යන්න තැනක් නැති වෙනවා. මොන තරම් ඉංග්‍රීසි දැනගෙන සිටියත් තමන්ට ඉදිරියට යන්න බැහැ තමන් කවුරුද කියලා දන්නෙ නැත්නම්. අපි හිතන්නෙ, විඳින්නෙ සිංහලෙන් නම් කොහොමද අපි දරුවොත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්නෙ.
ඒක එතකොට අවංක සම්බන්ධයක් නෙමේ. ඒක හරියට මතුපිටින් දිවෙන සම්බන්ධයක් වගේ. ඉතින් ඒ නිසා මගේ ළමයින්ට ගේ ඇතුළෙ ඉංග්‍රීසි කතා කරන්න තහනම්. නමුත් ඒ අයට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තිබෙනවා. ඇත්තටම සිංහල පාට තිබෙන දරුවො කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්. නමුත් මගේ දරුවො සිංහල පෙනුමක් ගෑවිලවත් නැහැ. නමුත් මගෙ දරුවො කතා කරන්නෙ සිංහලෙන්.
ඔබ එක්තරා තැනක සඳහන් කරනවා ඔබ පාසල් අධ්‍යාපනයක් ලැබුවේ නැහැ. අධ්‍යාපනය ලැබුවේ නිවසේ කියා. ඇත්තටම එය රාමුවෙන් පිට පැනීමක් කිව්වොත් නිවැරදියි. ඔබ හිතන්නෙ පාසල් අධ්‍යාපනය අනවශ්‍යයි කියාද?
මම උසස්පෙළ පන්තියට තමයි පළමුවෙන්ම පාසල් ගියේ. සාමාන්‍ය පෙළ ලිව්වෙ ගෙදර පාඩම් කරලා. මම හිතන්නෙ පොතපතේ අධ්‍යාපනය කියන්නෙ කරුණු ඉගෙනීමක්. නමුත් මට නම් තේරෙන්නෙ නැහැ කරුණු ඉගෙනීමට මේ තරම් තැනක් දෙන්න ඕන ඇයි කියා. ඇත්තටම අපේ ජීවිතය ඉදිරියට යද්දී කරුණුවල වටිනාකම නැහැ.
දැන් අන්තර්ජාලය සමග ඒ කරුණුවල තිබුණ වටිනාකම බිංදුවටම බැහැලා. ඇත්තටම ඉදිරියට යන්න අවශ්‍ය දේ තමයි ප්‍රායෝගික පැත්ත. අනිත් දේ තමයි ගැටලුවක් දැක්කම ඒ දේ විසඳා ගන්න පුළුවන්ද කියන එක වැදගත්. හරි දේට මොළය පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණා. ඒ දේ තමයි අපිට අවශ්‍ය දේ. ඒ නිසා පොතපතේ අධ්‍යාපනයම නෙමේ අධ්‍යාපනය කියන්නෙ.
සටහන හා ඡායාරූප - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd