Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
2024 දෙසැම්බර් මස 11 වන බදාදා
අප මේ කියන්නට සූදානම් වන්නේ බෙරත් සමග හරි හරියට හැප්පෙන තරුණියන් දස දෙනෙකු පිළිබදවයි. ඒ ලාංකේය තාල වාද්‍ය වෘන්ද ඉතිහාසයේ ප්‍රථම කාන්තා තාල වාද්‍ය වෘන්දය වන තූර්යා කණ්ඩායම ගැනයි. ඔවුන් සම්ප්රදාය අතික්‍රමණය කරමින් ලංකාවේ බෙරවල, කාන්තා හැඩය යන කාරණය පෙන්නුම් කිරීමට උත්සාහයක යෙදේ. ඇත්තෙන්ම අද වන විට ඔවුන්ගේ ඒ උත්සහය මල්ඵල ගැන්වී තිබේ. අද වන විට ඉතාම කෙටි කලකදී දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ලංකාවට කීර්තියක් ගෙන ඒමට ඔවුන්ට හැකිවී තිබේ. මේ නිසාම අප තූර්යා වාදන කණ්ඩායමේ නියමුවරිය වන සිතාරා මධුවන්ති අද සමග සම්බන්ධ කර ගැනීමට සිතුවෙමු.
තූර්යා යනු ලංකාවේ එකම කාන්තා තාල වාද්‍ය කණ්ඩායම. මේ කණ්ඩායමට වෙනම උපත් කතාවක් ඇති. ඒ ගැන කතා කළොත්?
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තාල වාද්‍ය සංගීත අධ්‍යන අංශයට තමයි ඇතුළත් වුණේ. මම ඇතුළු වීමට පෙර අපේ අධ්‍යයන අංශයේ ගැහැනු ළමයි හිටියෙ නැහැ. මම ඉගෙන ගනිද්දී මට ශ්‍රියාන් චන්ද්‍රසේකර කියන තබ්ලා ගුරුතුමා මුණගැසුණා. ඒ සර් සමග එකතු වෙලා තමයි මේ කාර්ය ආරම්භ කළේ. ඇත්තෙන්ම යාළුවෙක්ගෙන් ආරාධනාවක් ලැබුණා එක් ප්‍රසංගයකට ඉදිරිපත් කිරීමක් කරන්න කියා. ඒ ප්‍රසංගයට තමා ළමයි කට්ටිය එකතු කර ගත්තෙ.
ඉන් පස්සෙ අපේ අධ්‍යයන අංශයේ ඉගැන්වීම් කළ තිලක් වීරසිංහ සර් කිව්වා මේ දේ ඒ ප්‍රසංගයෙන් අවසන් කරන්නෙ නැතිව මේ ළමයින් එකතු කරගෙන හොඳ වැඩක් කරන්න පුළුවන් කියලා. ඉතින් 2014 වසරේ තමයි ඒ සිද්ධිය වෙන්නෙ. ඉන් පස්සෙ අපි මාස 6ක් පමණ බරපතළ පුහුණු වීමක් සිදු කරලා 2015 පෙබරවාරි 10 අපේ පළමු ප්‍රසංගය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේදී ඉදිරිපත් කළා.
කොහොමද මේ කණ්ඩායමට සමාජිකයන් සොයා ගත්තෙ?
සාමාන්‍යයෙන් අලුත් කණ්ඩායමක් විශ්වවිද්‍යාලයට පැමිණියාම ඒ කණ්ඩායමේ කැපී පෙනෙන දක්ෂතා ඇති ළමයි සිටියොත් අනිවාර්යයෙන්ම අපිට එය දැන ගන්න ලැබෙනවා. ඒ වගේ අපි පොඩ්ඩක් සෝදිසි කරලා බලලා ඒ වගේ දක්ෂතා තියෙන ළමයි තමා අපි මේ තූර්යා කණ්ඩායමට සම්බන්ධ කර ගත්තෙ. නමුත් අපි මුලින්ම ඒ අයට වාදනය කරන්න නොදී බොඩි පර්කෂන් (Body Percussion) කියලා අතීතයේ තිබුණු ගෝත්‍රික රංගනයක් පුහුණු කළා. ඒක ටිකක් අපහසු රංගනයක්. ඒ හරහා අපි 15ක පමණ කණ්ඩායමක් එකතු කළා. නමුත් අවසානයේ ප්‍රසංගයට ඉතිරි වුණේ ළමයි නවදෙනයි. ඒ අයගේ තාල අවබෝධය, දක්ෂතාව, කැපවීම තිබුණ නිසා ඒ අයට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් වුණා. ඒ විදියට තමයි කණ්ඩායමට පිරිස තෝර ගත්තේ.
තූර්යා කණ්ඩායමෙහි සාමාජිකයන් ගැන කතා කළොත්?
සිතාරා මධුවන්ති, චාමිණි අනුරුද්ධිකා, ශලිනි යශෝධා, චේතනී රත්නායක, ඔෂීන් සචිනි, උපේක්ෂි කනිෂ්කා, මහේෂි ඒකනායක, තාරුකා සෙව්වන්දි, සඳුනි චතුරංගි, චතුරිකා සඳරුවනි යන පිරිස තමයි අපේ කණ්ඩායමේ සිටින්නේ.
අලුත් වැඩක් ආරම්භ කරනවා කියන දේ ලෙහෙසි පහසු දෙයක් නම් නෙමේ. ඇත්තටම කිව්වොත් එය අභියෝගයක්. ඒ අභියෝග ගැන කතා කළොත්?
මුලින්ම මෙය පටන් ගනිද්දී පිරිස එකතු කර ගන්න අවස්ථාවේ පටන් අභියෝගවලට මුහුණදීමට අපට සිදු වූවා. ඒ වගේම පුහුණුවීම් දිගටම සිදු කරද්දී ඒ පුහුණුවීම් ගැහැනු ළමයින්ට දරාගන්න නොහැකි අවස්ථා වගේම ආරම්භයේ තිබූ සියලුම දේවල් අපිට අභියෝග වුණා. ඒ වගේම මුල් කාලයේ විශ්වවිද්‍යාලයේ ඇතුළෙන් වුණත් අපි මේ කරන්න යන වැඩේ ගැන කවුරුත් ගණන් ගත්තෙ නෑ. එකක් අපි ගැහැනු ළමයි වීම. අනික ගැහැනු ළමයින්ගෙ අසාර්ථක උත්සාහයක් විදියට තමයි බොහෝ දෙනෙක් මෙය දකින්න ගත්තෙ. ඒ නිසා අපි වැඩිය කලින් සද්ද බද්ද කරන්නෙ නැතිව ප්‍රසංගය දවසෙම තමයි අපේ හැකියාව හරියටම ඉදිරිපත් කළේ.
ඒ වගේම ඇඳුම් පැලඳුම් නිර්මාණය කර ගන්න වගේම අනිත් හැමදේටම මුදල් පැත්තෙන් ලොකු ප්‍රශ්නයක් තිබුණා. ඉතින් අපි කෝච්චියේ සිංදු කියලා තමයි සල්ලි හොයා ගත්තේ. ඒ වගේම ප්‍රසංගයට මාස 03කට විතර පෙර ස්ටිකර් එකක් ගහලා ඒවා විකුණුවා. අපි කෝච්චියේ උදේ 8.00ට පමණ ගිහින් නැවත හවස 6.00ට පමණ විශ්වවිද්‍යාලයට ඇවිත් හවස 6.00 ඉඳන් රෑ 12.00 වෙනකන් පුහුණුවීම් කළා. මාස 03ක් පමණ කාලයක් එක දිගට. ඒ වගේ අභියෝග රැසකට අපි මුහුණදුන්නා.
නමුත් පසුකාලයේ විශ්වවිද්‍යාලයේ පීඨ තුනේම ළමයින් මේ සඳහා ගොඩක් උදව් කළා. ඒ වගේම අනධ්‍යයන කාර්යමණ්ඩලය මේ සඳහා සහය වුණා. විශේෂයෙන් දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද කෝච්චියේ සිංදු කියනවා කිව්වම ගැහැනු ළමයින්ගෙ දෙමාපියො සාමන්‍යයෙන් බණිනවානෙ. නමුත් අපේ දෙමාපියො එහෙම ප්‍රශ්න ඇති කළේ නැහැ. අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා.
පැවැත්වූ ප්‍රසංගයට ලැබුණු ප්‍රතිචාර මොන වගේද?
ඒ ප්‍රසංගයෙන් පසුව ඒ තිබුණ අදහස ගොඩක් දුරට නැති වුණා. ඒ ප්‍රසංගය නරඹන්න පැමිණියා අපේ විශ්වවිද්‍යාලයේ එවකට හිටපු උපකුලපතිතුමා වන මහාචාර්ය ආරියරත්න කළුආරච්චි මහතා, රවිබන්දු විද්‍යාපති ගුරුතුමා, රඛිත රුවන් වික්‍රමරත්න මහතා සහ ජයනාත් වරකාගොඩ මහත්මයා. ඒ සියලු දෙනා අපිට මේ වැඩේ සාර්ථකව කරගෙන යන්න පුළුවන් කියා හොඳ ඇගයීමක්, තහවුරුවක් ලබා දුන්නා. ඒ තක්සේරුව මත අපි ගොඩක් දුර ආවා.
තූර්යා කියන්නේ දේශීය අනන්‍යතාවට වගේම බටහිර කලාවන්ටද එකසේ දක්ෂතා දක්වන පිරිසක්. මෙහිදී ඔබලා භාවිතා කරන වාදන භාණ්ඩ ගැන කතා කළොත්?
අපි දැනට ලංකාවේ ප්‍රධාන බෙර හතරට අමතරව ෆ්‍රේම් ඩ්‍රම් කියලා ඩ්‍රම් එකක් තියෙනවා අරාබි රටවල්වල. එය ලංකාවේ අත් රබානට සමානයි. එය අපි පර්යේෂණ මට්ටමින් හදාරමින් ඉන්නවා. එවගේම වෙස්ටන් ඩ්‍රම්, ඇෆ්රිකන් ජෙම්බේ (African Djemb), ඉන්දියානු තබ්ලා, පකාවාජ්, ලැටින් ඇමෙරිකන් කොන්ගාස්, බොන්ගො වගේ වාදන භාණ්ඩ අපි වාදනය කරනවා.
තූර්යා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණ ගැන කතා කළොත්?
අපි 2015 අවුරුද්දේ නොවැම්බර් මාසයේ ජාත්‍යන්තර සම්මානයක් අරගෙන ලංකාවට ආවා. ඒ ඉන්දියාවේ පන්ජාබ් නුවර පැවැති දහඅටවැනි ජාත්‍යන්තර කාන්තා ගැමි නැටුම් තරගාවලිය සහ සැණකෙළිය. ඒ තරගය සඳහා රටවල් කිහිපයකින් වගේම ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකින්ම තරගකාරියන් සහභාගි වී සිටියා. ඒ තරගාවලියේදී අපේ තූර්යා කණ්ඩායමට හොඳම සංගීත සම්මානය ලැබුණා. ඒ වගේම අපේ කණ්ඩායමේ සියලු දෙනාට නර්තන හැකියාවත් තිබෙන නිසා නර්තන අංශයෙනුත් ප්‍රථම ස්ථානය ලබාගැනීමට අපට පුළුවන් වුණා.
තූර්යාහි සංගීත අධ්‍යක්ෂණය ගැන කතා කළ යුතුමයි. මන්ද මේ කණ්ඩායමේ ජීවය රඳා පවතින්නේ ඒ අපූරු නාද රටා මතයි. ඒ ගැන කතා කළොත්?
අපේ සියලු සංගීත අධ්යක්ෂණ කටයුතු සිදු කරන්නේ කථිකාචාර්ය ශ්‍රියාන් චන්ද්‍රසේකර මහතායි. එතුමාගෙන් ඒ ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි.ඔබ කණ්ඩායම සෑම විටම වාදනයට එහා ගිය දෙයක් කිරීමට උත්සාහ
දරන බවක් පෙනෙනවා. එහිදී අනිවාර්යෙන්ම නව නිර්මාණ සිදු කළ යුතුයි. ඉතින් ඔබලා සිදු කළ ඒ අලුත් අත්හදා බැලීම් ගැන කතා කළොත්?
අපි 2016දී නෙළුම් පොකුණ රංග ශාලාවේදී අපේ ප්‍රථම මහජන ප්‍රදර්ශනය පැවැත්වූවා. එහිදී අපි රංගන 08ක් පමණ සැලසුම් කළා. අලුත් සංකල්පවලට. ලංකාවට අලුත් නිසා එහිදීත් අපි ගෝත්‍රික රංගනය ඉදිරිපත් කළා. ඒ වගේම ගැහැනු ළමයින්ට බැහැ කියලා කියපු දේවල් පුළුවන් කියා ඔප්පු කරන්න ගැටබෙර ආශ්‍රිතව අත්‍යාබෙර වාදනයක් සිදු කළා. ඒ වගේම වෙස්ටන් ඩ්‍රම්, කොන්ගාස්වලින් වාදනයක් සිදු කළා. ඒ වගේම ෆ්ලෙෙමන්කෝ (Flamenco) නමින් අලුත් රංගන නිර්මාණයක් කළා. ස්පාඥයේ ගිටාර් මියුසික් සහ ෆ්ලෙමින්කෝ ඩාන්ස් කියා නර්තන වර්ගයක් තිබෙනවා. ඒවා එකතු කරලා අපි කගෝන්(Cajon) කියන සංගීත භාණ්ඩයත් සමග එකතු කර ෆ්ලෙමින්කෝ නර්තනයක් ඉදිරිපත් කළා. ඒ නර්තනය සිදු කළෙත් අපේ කණ්ඩායමේම ගොඩක් දක්ෂ නංගි කෙනෙක්. ඒ වගේ නව නිර්මාණ අපි අත්හදා බලලා තිබෙනවා.
ඇත්තෙන්ම බෙරයක් කාන්තාවක් වාදනය කරනවා කියන එකම ලොකු අභියෝගයක්. ඒ ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?
අපි මේ වෙද්දී ඒ සම්බන්ධව පරීක්ෂණ සිදු කරගෙන යනවා. කාන්තාවන්ට ඇත්තටම මේ වැඩ බැරිද, එහෙම නැත්නම් මේක ආකල්පමය බාධවක් පමණක්ද කියා. ඒ කරගෙන යන අතරතුර නිවුරෝ සයන්ස්, ඇනොටොමි පැත්තෙන් සිටින බොහෝ වෛද්‍යවරුන් පැවසුවේ එවැනි ප්‍රශ්නයක් නැති බවත්, කාන්තාවන්ට දරා ගැනීමේ ශක්තිය පිරිමින්ට වඩා ගොඩක් වැඩි නිසා මේ වගේ දේවල් කිරීමට කාන්තා ශරීරය ඔරොත්තු දෙන බවත්. මෙහිදී ප්‍රධාන ප්රශ්නය වී තිබෙන්නේ ලංකාවෙ සංස්කෘතිය ඇතුළෙ කාන්තාවන්ට මේ වගේ දේවල්වලට ප්‍රවේශ වෙන්න අවසර ලබාදී නැති එකයි. අතීතය දෙස බලද්දී එය අපිට හොඳින් පැහැදිලි වෙනවා කාන්තාවන්ට කලාවට යොමු වීම කෙරෙහි සිදුකළ වාරණයන් මගින්. ඒ බාධාවන් නිසා ඇතිවුණ ප්‍රමාදයක් තිබෙනවා. නමුත් හොඳ පුහුණු වීමක් යටතේ සහ ඊට අදාළ ව්‍යායාම අභ්‍යාසයන් තුළ සහ සතත අභ්‍යාසය මත ඒ අභියෝග දුරලන්න පුළුවන් බව අපි මේ වෙද්දී ඔප්පු කරලා තිබෙනවා.
ජාත්‍යන්තරය තුළ ඔබ කණ්ඩායමට මොන වගේ ඇගයීමක්ද තිබෙන්නේ?
ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපි මේ වන විට ලැබුණු ආරාධනාවලින් ඉන්දියාවට දෙපාරක් ගියා. එකක් ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් සිදු කළ ආරාධනාවක්. ඒ ඔස්සේ අපි ඉන්දියාවේ ප්‍රාන්ත තුනක සංදර්ශන 03ක් පැවැත්වූවා. ඒ දිල්ලියේ, බුවානේෂ්වර් සහ වරනාෂිවල.
ඉන් පස්සේ මේ අවුරුද්දෙ මැයි මාසයේ තිබුණ තායිවානයේ ජාත්‍යන්තර බෙර කලා ප්‍රසංගයට සහභාගි වූවා ( International Dram Art Festival). එය තමයි අපි ජාත්‍යන්තර බෙර වාදන සංදර්ශනයකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව. ඇත්තටම ඒ අවස්ථාව අපිට ගොඩක් වටින අවස්ථාවක්. ඒ ප්‍රසංගයට අපිව තෝරා ගැනීමම අපිට කළ ඇගයීමක් කියලා මම හිතනවා. ඇත්තටම මට දැනෙන විදිහ තමයි ලංකාවේ අය අපිව අඳුන ගන්නවාට වඩා සාපේක්ෂව ලෝකයේ අපි දෙස බලන කෝණය වෙනස් කියලා. ඒ රටවල්වල කලාකරුවන්ට ගරු කරන විදිහේ ලංකාවට සාපේක්ෂව පුදුම වෙනසක් තිබෙනවා. ඒ අවස්ථාව අපිට ජාත්‍යන්තර වේදිකාව මොකද්ද කියා අධ්‍යනය කරන්න ලැබුණ හොඳ අවස්ථාවක්.
ඔබලාගේ ඉදිරි ප්‍රසංග කටයුතු ගැන කතා කළොත්?
අපිට මේ වන විට විදේශ සංචාර තුනක් සඳහා ආරාධනා තුනක් ලැබිලා තියෙනවා. එකක් දෙසැම්බර් මාසයේ බැංකොක්වල තිබෙන ප්‍රසංගයක්. අනික ඉන්දියාවේ ගාසියාබාර්ත්වල. අපි 2015 ගිය ප්‍රසංගය සඳහා නැවත ආරාධනාවක් ලැබුණා. ලබන ජනවාරි මාසයේ සාරන්ග් 2019 කියලා සකීර් හුසේන්ලා වගේ ලෝක ප්‍රකට කලාකරුවො සම්බන්ධවෙන ජාත්‍යන්තර සංස්කෘතික සංදර්ශනයක් සඳහා ආරාධනා ලැබිලා තිබෙනවා. මම හිතනවා එය අපිට ලැබුණ ලොකු අවස්ථාවක් කියලා.
සමහරවිට ඔබලාගේ දක්ෂතා දකින අලුත් පරපුර හීන දකිනවා ඇති මේ කණ්ඩායමට එකතු වෙන්න. එලෙස හීන දකින පිරිසට මේ කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාවක් තිබෙනවාද?
අපි මුලින් හිතපු දෙයක් තමයි අපේ ටීම් එකේ කවුරුහරි අසනීප වුණොත් හරි මේ කලාව වැලඳගන්න කැමති පිරිසක් ඉදිරියේදී ඉඳියිද කියන මූලික ප්රශ්නය. අපි 2015 ප්‍රසංගය අවසානයේ මේ ප්රශ්නය ගැන රවිබන්දු සර් සමග කතා කරද්දී ඔහු පැවසුවේ බය වෙන්න එපා ඔයාලා මේ වැඩේ කරගෙන යන්න. ඕන තරම් කට්ටිය පස්සෙන් එයි කිව්වා. ඒ දේ අද වන විට සැබෑවක් වෙලා තිබෙනවා. අපි මේ ළඟදී ඔඩිෂන් එකක් පැවැත්වූවා නව සාමාජිකයන් බඳව ගන්න. ලංකාවෙ විවිධ පැතිවල දක්ෂ නංගිලා අපිට මුණගැහුණා. සමහර අය හිටියා අපේ පළවුණු රූපවාහිනී වැඩසටහන්, පුවත්පත් ලිපි එකතු කරපු අය, ඒ දේවල් අපි වගේ තනියම පුහුණුවීම් කරපු අපිත් එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වන අනාගත පරම්පරාවක් ඉන්නවා කියන එක දකින කොට අපි ආපු ගමනේ ලොකු සාර්ථකත්වයක් තියෙනවා කියලා ගොඩක් ලොකු තෘප්තියක් තිබෙනවා.
ඒ වගේ එකතු වෙන්න ආසාවෙන් ඉන්න අයට කියන්න තිබෙන්නේ තමන් මොකක් හරි වෙනස් දෙයක් කරන්න කැමති නම් එය සමාජයට වැරදි දෙයක් නොවේ නම් දෙපාරක් හිතන්න ඕන නැහැ. ඒ වගේම හීන තිබුණට වැඩක් නැහැ. ඒ හීන හැබෑ කර ගන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕන. ඒ වගේම ලොකු කැප කිරීම් සිදු කරන්න වෙනවා. ඒ කැපකිරීම් දරාගෙන ඉදිරියට යනව නම් කරන්න බැරි වැඩක් නැහැ කියලා තමයි මම හිතන්නේ.
සටහන - සරසි නෙත්මිණි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd