ජීවිතයේ සුන්දර අවස්ථා සැමරීමේදී කේක් කැපීම සිරිතක් කරගත් අප, නොයෙක් නිර්මාණ ඔස්සේ එය හැඩවැඩ කරගනුයේ එම අවස්ථාව වඩාත් සුන්දර කර ගැනීමටය. එවැනි සුන්දර මතකයන් ජීවිත රැසකට තිළිණ කරමින් වසර 10ක් පුරා කේක් නිර්මාණකරණයේ යෙදෙන තරුණියක් ලෙස ෆාතිමා රයිහානා හඳුනාගත හැකිය.
ඇයගේ මව වෘත්තියක් ලෙස නොවුණද නොයෙක් විශේෂ අවස්ථාවලදී කේක් නිර්මාණය කරන අතර, ඒ දෙස උපන් ඇල්මෙන් කුඩා කාලයේ සිට බලා සිටි ෆාතිමා සිය කුලුඳුල් කේක් නිර්මාණය කරනුයේ වයස අවුරුදු 10ක් වැනි කුඩා කලකය. එකී සුන්දර මතක මැදින් ඇරඹුණු සිය නිර්මාණකරණය පිළිබඳ ඇය %අද^ හමුවේ දැක්වූයේ මෙවන් අදහසකි.
&මගේ අම්මා කේක් නිර්මාණකරණය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් හදාරා නොතිබුණත් පුවත්පත්වලින්, රූපවාහිනිය මගින් ලබාගත් දැනුම ඔස්සේ නොයෙක් නිර්මාණයක් කළා. මමත් පොඩි කාලයේ ඉඳලම අම්මා පිළියෙල කරන කේක් දිහා ආසාවෙන් බලා හිටියා. ඒ නිසා වෙන්න ඇති මමත් කේක් හදන්න මෙච්චර ආස වුණේ. උසස් පෙළ විභාගයෙන් පසුව අම්මා මාව කේක් පාඨමාලාවක් සඳහා යොමු කළා. ඒ වෙනකොට නිර්මාණය කළ සෑම කේක් එකක්ම අත්දැකීමෙන් හැදුවා මිසක විධිමත් දැනුමක් ඔස්සේ කළ නිර්මාණ නොවේ. එම පාඨමාලාව මගින් අයිසින් මල් සකස් කරන ආකාරය මම හොඳින් ඉගෙන ගත්තා. නමුත් වෘත්තියක් ලෙස කේක් හදන්න යොමු වුණු මුල් කාලයේ ඇතැම් විට සේවාදායකයෙකුගෙන් මට ඇණවුමක් ලැබෙන්නේ මාස තුනකට වරක් පමණ. නමුත් මම ඒ සෑම නිර්මාණයක්ම මගේ උපරිමයෙන්ම කළා. දැන්නම් මම හැමදාම වගේ කේක් නිර්මාණය කරනවා. මම උපන්දින සාදවලට, විවාහ මංගල්‍යවලට, විවාහ ගිවිස ගැනීමේ උත්සවවලට ෙක්ක් නිර්මාණ කරනවා. මගේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව අනුව ඔවුන්ට අවශ්‍ය නිර්මාණය මගේ නව අදහස් සමග ගළපා තමයි සිදුකරන්නේ.
දිනක් පාරිභෝගිකයෙක් උපන්දින සාදයක් සඳහා කේක් එකක් නිර්මාණය කරගන්න ආවා. මම ඇත්තෙන්ම කැමැතියි තවත් කෙනෙක් කරන නිර්මාණයක් බලාගෙන කරනවාට වඩා ටිකක් වෙනස් දෙයක් කරන්න. ඉතින් ඒ නිසා මම ඒ උපන්දිනයට නිර්මාණය කළේ ගවුමක්. ටිකක් වෙනස් ආකාරයේ. එය මම අන්තර්ජාතිකව පැවැති කේක් නිර්මාණ තරගයකට ඉදිරිපත් කළා. එයින් මට තෙවැනි ස්ථානය හිමි වුණා. මම කේක් නිර්මාණ සඳහා අලුත් අදහස් ලබා ගන්න බොහෝ විට අන්තර්ජාලය භාවිත කරනවා. ඇත්තෙන්ම ඒ හරහා ලෝකයේ විශිෂ්ට නිර්මාණ සිදු කරන නිර්මණශිල්පීන්ගේ දැනුම පරිශීලනය කරන්න මට අවස්ථාව ලැබෙනවා. මම ළඟදී සපත්තුවක් නිර්මාණය කළා. එය ඇත්තෙන්ම අච්චුවක් නොමැතිව සිදු කළ නිර්මාණයක්. ලෝකයේ සිටින ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පීන් පවා සපත්තු කේක් නිර්මාණය කරන්නේ අච්චුවක් යොදාගෙන. නමුත් මට එය නොමැතිව සපත්තු නිර්මාණයක් කරන්න හැකි වුණා. එම නිර්මාණය ප්‍රදර්ශනයකට හා තරගයකට ඉදිරිපත් කිරීම තුළින් රන් පදක්කම දිනා ගන්න මට හැකි වුණා.
ඒ වගේ ගොඩක් ආසාවෙන් කළ නිර්මාණ රැසක් තිබුණා. මම බොහෝ වෙලාවට ඇණවුමක් පැමිණි විට මහන්සිය නොබලා අලුයම වනතෙක් ඒ නිර්මාණ සිදු කරනවා. මම ලාභය අරමුණු කරගත්ත කෙනෙක් නෙමෙයි. මට අවශ්‍ය පාරිභෝගිකයාට සතුටක් ඇති වෙන්න හොඳම දේ ලබා දෙන්න. නමුත් ඇතැම් අවස්ථාවල ගැටලුකාරී තත්ත්වයන් මතු නොවුණාම නොවේ. ඒ අවස්ථාවල මට මේ වෘත්තීය අතහැර දමන්න පවා සිතුණා. නමුත් ඒ සෑම දෙයක් තුළින්ම මම මේ ක්ෂේත්රය පිළිබඳ තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා. මම මුදල මුල්කර ගෙන කළොත් මට කවදාවත් හොඳ නිර්මාණයක් කරන්න බැහැ. මොකද යම්යම් අවස්ථාවල මුදල නිසා නිර්මාණාත්මක අදහස් අඩු කරන්න සිදු වෙනවා. නමුත් එය මට ඇණවුම ලබාදෙන පාරිභෝගිකයාට විශේෂ දිනයක්. ඒ නිසා ඒ දිනය මගේ අත්වලින් ලස්සන කරන්නයි මට අවශ්‍ය. මම අද කරන නිර්මාණය හෙට කරන්නේ නැහැ. හැමදාම හැම කෙනෙකුටම අලුත් නිර්මාණයක් කරලා දීලා එයාලව පුදුම කරවන්න මට ඕන වුණා. මම දැනට නිවසේදී තමයි සියලු නිර්මාණ සිදු කරන්නේ. මම කේක් බොටික් කියන සංකල්පයෙන් මගේම කේක් ප්රදර්ශනාගාරයක් ඉදිරියේදී විවෘත කරන්න අපේක්ෂා කරනවා. මම හිතන්නේ නැහැ ඒ සංකල්පයෙන් දැනට ලංකාවේ කේක් ප්රදර්ශනාගාරයක් තිබෙනවා කියලා.
කොපි ෂොප් එකකට, රෙස්ටුරන්ට් එකකට වඩා එතැනින් එහාට ගියාවූ වෙනස් ස්වරූපයක් කේක් ප්‍රදර්ශනාගාරයක තිබෙනවා. ඒ වගේ වෙනස්ම විදියේ කේක් නිර්මාණ කලාවක් හඳුන්වා දෙන්න ආසාව මගේ සිතේ තිබෙනවා. මට මේ සියලු නිර්මාණ කිරීම සඳහා මගේ අම්මා ලබා දෙන්නේ මිල කළ නොහැකි සහයෝගයක්. ඒ වගේම තාත්තා, මල්ලි, නංගි සහ යහළුවන් මට විශාල සහයෝගයක් මට ලබා දෙනවා. කුමක් හෝ අලුත් නිර්මාණයක් කරන්න යන විට එයට අලුත් අදහස් එක්කරනවා වගේම අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන් මාව නිරන්තරයෙන් දිරිමත් කළා. කුමන බාධක, ගැටලුකාරී තත්ත්වයන් පැවතුණද ඇත්තෙන්ම මට මේතරම් දුරක් පැමිණීමට ඔවුන්ගෙන් ලද සහාය අපමණයි.