මහනුවර හන්තාන පරිසර අධි සංවේදී කලාපයේ අක්කර 250ක පමණ භූමි ප්‍රදේශයක වටිනා ගස් 1200 ක් පමණ කපා මහා පරිසර විනාශයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් එම භූමි ප්‍රදේශයේ මැරුණු ගස් සහ වැටුණු ගස් ඉවත් කිරීමට යැයි ටෙන්ඩරයක් ලබාගෙන මෙම මහා පරිසර විනාශය සිදුකොට ඇති බව හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා පවසයි.
ඒ මහතාගෙන් සිදුකළ විමසීමකදී අවධාරණය කර සිටියේ එම භූමි ප්‍රදේශයේ වැටී ඇති ගස් සහ මැරුණු ගස් ඉවත් කිරීම සඳහා පසුගිය ජුනි මස 11 වැනි දින ටෙන්ඩරයක් නිකුත් කොට ඇති බවත් එම ටෙන්ඩරයේ නියමයන්ට අනුව මාස 03ක් ඇතුළත ගස් ඉවත් කිරීමට නියම කොට තිබුණත් ගස් ඉවත් කිරීම ආරම්භ කොට ඇත්තේ 2024-09-27 දින බවයි.
එතැන් සිට පරිසර නීති සියල්ලක්ම උල්ලංඝනය කරමින් 2024-12-27 වැනි දින දක්වා වතු යායේ තිබූ හොඳම ගස් සියල්ලක්ම කපා ඉවත් කොට ඇති බවට ද සේනානායක මහතා පවසයි.
මෙම මහා පරිසර සංහාරයේදී සපු,ටුනා, මාරා, ඇල්බීසියා සබුක්කු ඇතුළු වටිනා ගස් 1200ක් පමණ කපා ඉවත් කොට ඇති බව පවසන සේනානායක මහතා වැටුණු ගස් සහ මැරුණු ගස් කිසිවක් ඉවත්කොට නොමැති බවද පවසයි.
පරිසර අධි සංවේදී කලාපයේ මෙතරම් මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකොට තිබියදීත් බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට ද අමිත් සේනානායක මහතා චෝදනා කර සිටි.
සිද්ධිය සම්බන්ධයෙන්පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කොට සිටියේ එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුට අධිකරණයට ඉදිරිපත් කරන බී වාර්තාවක් මගින් රටින් පිටවීමේ තහනම් නියෝගයක් ලබා ගැනීමට නියමිත බවයි.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය යටතේ මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙය වීමෙන් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරයි.