මහවැලි එච් කලාපයේ කලාවැවෙන් පෝෂණය වන ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසින් මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා තුන්මසක් ප්‍රථිකාර ලබමින් සිටින අග්බෝ ඇතාගේ පෝෂණය සඳහා ආහාරයට ලබාදීමට ඊයේ (12) පස්වරුවේ කටයුතු කළහ.
තිරප්පනය, වන්නම්මඩුව වැව් පිටියේදී මෙම ගොයම අග්බෝ හස්තියාට ලබා දීම සිදු කෙරිණි. අග්බෝ හස්තියා ඊයේ (12) දින වන්නම්මඩුව වැව් පිටියේ රැඳී සිටි අතර, සවස වැවට බැස ජලස්නානය කර අග්බෝ ගොවීන් විසින් ලබා දුන් ගොයම භුක්ති විදීමට පැමිණියේය.
අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීම ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ගොවි සංවිධාන නියෝජිතවරියන් කටයුතු කර ඇති අරත, එම කාන්තාවන්ද ගොයම් රැගෙන පැමිණ හස්තියා වෙත ලබා දුන්හ.
අනතුරුව අග්බෝ හස්තියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර කරන හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර සිදු කරන හා දිවා රෑ දෙකෙහි අග්බෝ ලඟ අව්වැසි නොතකා, මැසි මදුරු උවදුරු වලින්ද පීඩාවිදිමින් අග්බෝගේ මුරදේවතාවුන් වන වනජීවී නිළධාරීන්ට ආශිර්වාද කරමින් ළාකරඹෑව ශ්‍රී විද්‍යාධාර මහා පිරිවෙනෙහි, පරිවේනාධිපති, කළාකරඹෑවේ ධම්මකිත්තී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කර ඔවුන්ට පිරිත් නූල් ගැටගැසීමද සිදු කරනු ලැබීය.
ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලැබූ අග්බෝ ඇතාට පසුගිය ජුනි මස 12 වනදා සිට ආරම්භ කල අතර, ඊයේ (12) දිනට හස්තියාට ප්‍රථිකාර කිරීමේ කටයුතු තුන්මසක් ගතවිය.
අග්බෝගේ ප්‍රතිකාර කටයුතු මේ දක්වා අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනු ලබන අතර අවස්ථා කීපයක දී විශේෂ පශු වෛද්‍ය කණ්ඩායම් කීපයක් ද ඊට සහාය දැක්විය.තිරප්පනය බීට්ටු වනජීවි කාර්යාලයේ නිලධාරීන් සහ එම කාර්යාලයට අනුයුක්ත බහුකාර්ය නිළධාරීන්ගේද පූර්ණ කැපවීම මත අග්බෝ ඇතා මේ වන විට තරමක් සුවය ලබා ඇති බවද දැක ගත හැකි විය.









