වන රෝපා ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව පැල සිටුවීමේ සහ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව විසින් අද (26දා) දකුණු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
ඒ අනුව, දකුණු නාවික විධානය විසින් වෙරළට ආවේණික වු පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. මෙහිදී පිටිවැල්ල සිට වැල්ලබඩ වෙරළ තීරය ආශ්‍රිතව මුහුදු වෙරළටම ආවේණික ශාඛයක් වන මූදිල්ලා පැල 50 ක් ද, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතන පරිශ්‍රය තුළ නැදුන්, මහෝගනි, කුඹුක්, මී, දොඔ මෙන්ම පළතුරු සහ පොල් පැල විශාල ප්‍රමාණයක් ද රෝපණය කිරීමට කටයුතු කරන ලදී.
මිට අමතරව ගාල්ල ගිංතොට, බුස්ස, මහමෝදර, තංගල්ල පරවි වැල්ල යන වෙරළ තීරයන් පිරිසිදු කිරිමේ වැඩසටහනක් ද දකුණු නාවික විධානය විසින් සංවිධානය කර තිබූ අතර, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස විනාශයට ලක්ව තිබූ වෙරළ තීරයන් අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට එමඟින් අවස්ථාව උදාවිය. එමෙන්ම බටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.
තවද, දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය සුරැකීම හා වන සම්පත ආරක්ෂා කිරීම සඳහා නාවික හමුදාව නිරන්තර කැපවීමෙන් කටයුතු කරනු ලබන අතර, එමඟින් වෙරළ හා වෙරළ ආශ්රිත පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්ෂිත කර දීමට නාවික හමුදාවට හැකියාව ලැබෙනු ඇත.








