හය අවුරුද්දකට පෙර නැවතී තිබූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද (01දා) උදෑසන සිට යළිත් ආරම්භ කරමින් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
ඉකුත් 2015 වසරේ සිට අක්‍රීය වී තිබූ ගුවන් ගමන් සේවාව යළිත් මෙසේ ආරම්භ වීම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලකි.
රුසියාවේ මොස්කව් නුවර ඩොමෙඩෙඩෝවෝ ගුවන් තොටුපළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 534 දරන ගුවන් යානය 08/01 දින උදෑසන 06.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එම ගුවන් යානය දෙස් විදෙස් සංචාරකයන් 51 දෙනෙකු රැගෙන පැමිණ සිටි අතර , එම පිරිස අතර රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ළමාහේවා මහතා ද සිටියේය.
මෙම ගුවන් ගමන සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.330 - 300 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන 28 ක් ද තිබේ.
සෑම සතියකම සිකුරාදා රාත්‍රී 10.20 ට රුසියාවේ මොස්කව් බලා පිටත්ව යන මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය , ඉන්පසුව ඉරිදා උදෑසන 06.10 ට යළිත් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වන අතර , මේ ආකාරයට මෙම ගුවන් ගමන් සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වීමට නියමිතය.




