එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍ය වෙත පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා යුද හමුදාවේ හමුදා භට පිරිස් විසින් යුද හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිය ආචාරය පුද කිරීම අද (04දා) දින කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදු කරන ලදී.
243 දෙනෙකුගෙන් යුත් යුද හමුදා භට පිරිසට ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා සංඥා බලකාය, ගැමුණු හේවා බලකාය, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකාය, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා පොලිස් හේවා බලකාය, ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකාය ඇතුළු යුද හමුදාවේ රෙජිමේන්තු 12ක් නියෝජනය කරමින් නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 208 දෙනෙකු සහභාගි වේ.
මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙහෙයුමට සහභාගී වන සියලුම නිලධාරීන්ට සහ සෙසු නිලයින්ට ඔහු සුබ පැතුම් එක් කළ අතර, විනයගරුකව සහ කැපවීමකින් යුතුව කටයුතු කළ යුතු බව අවධාරණය කළේය. තවද, රටට අවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීම සඳහා අපගේ හැකියාවෙන් දායක වීමට හැකිවීමද ඇගයීමට ලක් කළේය.




