මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
උත්සව භූමියට පැමිණි ජනපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මුල්ගල් තැබූහ. අක්කර 250ක භූමියක ඉදිවෙන නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400කි. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතය.
නව සිමෙන්ති කර්මාන්තශාලාව විවෘත කරමින් සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා කර්මාන්තශාලා පරිශ්‍රය නිරීක්ෂණය කළහ.
2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි කර්මාන්තශාලාව සඳහා සිදු කෙරුණු ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100කි. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට එක් වේ. කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙට්‍රික් ටොන් මිලියන 2.8ක් දේශීය වෙළෙඳපොළට සැපයෙන බව කළමනාකාරීත්වය පවසයි.
ඉහළ කාර්යක්ෂමතාව, අපතේ යාම සහ පරිසර දූෂණය අවම කිරීම සඳහා වරාය සහ කර්මාන්තශාලාව අතර අමුද්‍රව්‍ය ප්‍රවාහනයට ආවරණය කළ කන්වේයර් බෙල්ට් යොදා ඇති අතර පූර්ණ ස්වයංක්‍රීය ස්ටැකර් රික්ලේමර් යාර්ඩ් සහ බ්‍රිජ් - ටයිප් ෂිප් අන්ලෝඩර් ද්විත්වයක් කර්මාන්තශාලාව සතුය. එමගින් ජාත්‍යන්තර ප්රවණතා අනුව ශ්‍රමය වෙනුවට තාක්ෂණය භාවිතයෙන් භාණ්ඩ හැසිරවීම සිදුකළ හැකි වේ. ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්තශාලාව සාමාන්‍ය පොර්ට්ලන්ඩ්, පොර්ට්ලන්ඩ් කොම්පසිට් සහ බ්ලෙන්ඩඩ් හයිඩ්‍රොලික් ඇතුළු සිමෙන්ති වර්ග සියල්ල නිෂ්පාදනයට ද සැලසුම් කර තිබේ.
කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹුම ජනපතිවරයා අතින් සිදු කෙරිණ. පසුව පැවති උත්සව සභාව ඇමතූ ලංවා සංස්ථා සිමෙන්ති පෞද්ගලික සමාගමේ සභාපති, නන්දන ලොකුවිතාන මහතා කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට හැකි වෙතැයි සඳහන් කළේය.
කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් පාලන ආයතනවල නියෝජිතයෝ, රාජ්‍ය නිලධාරීහු, ලංවා ආයතනයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.









