ඉන්දීයානු නාවික හමුදාව විසින් 11 වන වරටත් පවත්වන ලද මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය, මෙවර ඉන්දියාවේ විසාකාපට්නම් වරාය සහ නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් 2022 පෙබරවාරි මස 25 වන දින සිට 2022 මාර්තු මස 04 වන දින දක්වා පැවැති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව සහභාගී විය.
"සුහදත්වය, එකමුතුකම සහ සහයෝගීතාවය” යන තේමාව රැගත් මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසය කලාපීය හා කලාපීය නොවන රාජ්‍යන් රැසක නාවික හමුදාවන් සහ සමුද්‍රීය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර, ඒ අනුව ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව 2022 පෙබරවාරි මස 24 වන දින ඉන්දියාවේ විසාකාපට්නම් වරාය වෙත ලඟා විය.
අදියර දෙකක් ලෙස පැවති මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ, වරාය අදියර 2022 පෙබරවාරි මස 25 සිට 28 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරායෙහි දී පැවැති අතර, එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් අභ්‍යාසයට සහභාගී වූ දකුණු නාවික විධානය භාර අඥාපති රියර් අද්මිරාල් සජිත් ගමගේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ අණදෙන නිලධාරි කපිතාන් ජයන්ත බණ්ඩාර, ඉන්දීය නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් හමු විය.
එමෙන්ම, මිලාන් - 2022 බහුපාර්ශවික නාවික අභ්‍යාසයේ වරාය අදියරේහි එක් ප්‍රධාන අංගයක් ලෙස “ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය” පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් රියර් අද්මිරල් සජිත් ගමගේ විසින් “සාම්ප්‍රදායික නොවන සාගරික තර්ජන ජය ගැනීම : සහයෝගී ප්රවේශයන්” යන තේමාව යටතේ දේශනයක් සිදු කරන ලදී.
එමෙන්ම, මිලාන් - 2022 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ මුහුදු අදියර, 2022 මාර්තු මස 01 වන දින සිට 04 වන දින දක්වා නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව ඇතුළුව නෞකා 26ක්, ගුවන් යානා 21ක් සහ එක් සබ්මැරීනයක් එක්විය. නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින්, සමුද්‍රීය මෙහෙයුම්හි ත්‍රිවිධ මානයන් ආවරණය වන පරිදි උසස් හා සංකිර්ණ නාවික අභ්‍යාසයන්ගෙන් මෙම අදියර සමන්විත විය. ඒ අනුව, මුහුදු අදියරෙහි දී නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, දියයට සංග්‍රාමික අභ්‍යාස, හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම හා සංකිර්ණ නාවික මෙහෙයුම් සමාකරණය වැනි විවිධ අභ්‍යාසයන් සිදුකෙරිණි.
තවද, මිලාන් - 2022 බහුපාර්ශවික නාවික අභ්‍යාසයෙන් අනතුරුව, 2022 මාර්තු මස 07 සිට 10 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර වාර්ශිකව පැවැත්වෙන ‘SLINEX’ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය සඳහා ද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ‘සයුරළ’ නෞකාව සහභාගී වීමට නියමිතව ඇත.







