'ජනතා පරමාධිපත්‍ය සුරැකීම උදෙසා මැතිවරණයක් ලබාදෙනු' මැයෙන් වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය විසින් කොටුව දුම්රියපළ ඉදිරිපිට අද (27දා) සවස ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග තදබදයක් හටගෙන තිබේ.
මාර්ග අංක 02, 32 ,100, 101, 138, 400, 401, 430 යන බස්රථ ඇතුළු පිටකොටුවේ සිට පිටත්වන වාහනවලට බාධා ඇතිවී තිබේ.
කාර්යාල සේවය අවසන් කර ගම්බිම් බලා යන ජනතාවට මේ හේතුවෙන් අපහසුතා ඇති විය.
ලංකා ගමනාගමන මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක් නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සහ පිටකොටුව පදික වෙළෙන්දෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබාදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව නිවැරදි බවත්, ඉන් පසුව හටගෙන ඇති අස්ථාවරභාවයෙන් රට ගලවා ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසුරුවාහැර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවත් මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා පැවසීය.
ඡායාරූප - ඉසුරු පෙරේරා
























