ශ්‍රී ලංකාව තුළ වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් "බුදුපුත් සුරක්"ෂා භික්ෂු රක්ෂණාවරණය හඳුන්වාදීම තෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (26දා) අරලියගහ මන්දිරයේදී සිදුවිය.
භික්ෂූන් වහන්සේලා රෝහල්ගත වීමකදී, සැත්කම් සිදුකිරීමේදී මෙන්ම සෞඛ්‍ය කටයුතුවලදී ප්රතිලාභ ලබාගත හැකි වන පරිදි මෙම "බුදුපුත් සුරක්ෂා" අරමුදල පිහිටුවා තිබේ.
මීට සමගාමීව භික්ෂූන් වහන්සේලාගේ දෙමවුපියන්ගේ සෞඛ්‍ය රක්ෂණය වෙනුවෙන් "බුදුපුත් මවුපිය සුරක්ෂා" නමින් රක්ෂණ ක්රමයක්ද රජය මගින් හඳුන්වාදීමට කටයුතු කළේය.
බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සංකල්පයක් අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා වැඩවසන 25000ට ආසන්න භික්ෂු භික්ෂුනී පිරිස වෙනුවෙන් මෙම සෞඛ්‍ය රක්ෂණය ක්‍රියාත්මත වේ.
මෙම උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ භික්ෂූන් වහන්සේලාට මෙන්ම අනුකුත් ආගමික පූජකයන් වෙනුවෙන්ද මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.
එහිදී වැඩිදුටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි ව්‍යවස්ථාවේ තිබෙන "බුද්ධාගමට ප්‍රමුඛස්ථානය" යන වචනයෙන් විතරක් තිබිලා වැඩක් නැහැ. අපි එය අර්ථවත් කළ යුතුයි. නගරයේ පන්සල් දියුණු වෙනවා. නමුත් ගමේ පන්සල දියුණු කරන්නේ කොහොමද කියලා අපි අවධානය යොමුකළා. බෞද්ධාගම වෙනුවෙන් ලබාදීලා තිබෙන මුදල් වැඩි කරන්නත් අපි කටයුතු කරනවා.
මේ ආණ්ඩුව මේ වසර 04 තුළ බෞද්ධාගම වෙනුවෙන් රුපියල් මිලියන 7,000ක් පමණ වියදම් කරලා තිබෙනවා. බෞද්ධාගම වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ ආණ්ඩුව විදිහට මම සතුටු වෙනනවා. මෙතැනින්න නවතින්නේ නැතිව අපි තවත් වැඩපිළිවෙළ සිදුකරනවා* යැයි පැවසීය.
මෙම අවස්ථාවට අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමියන්, රාමාඤ්ඤ නිකායේ අනුනායක, මාතලේ ධම්ම කුසල හිමියන්, මල්වතු පාර්ශ්වයේ අනුනායක, දිඹුල්කුඹුරේ සරණංකර හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී, මැදගම ධම්මානන්ද හිමියන් සහ මහාසංඝරත්නය, කථානායක කරු ජයසූරිය, බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඉසුරු පෙරේරා









