පසුගිය කාලය තුළ නිසි අවධානයට ලක් නොවු ශ්‍රී ජයවර්ධනපුර බැද්දගාන තෙත්බිම් උද්‍යානය නැවත ජන ආකර්ෂණයට යොමු කරවීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරමින් සිටී.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන්නේ ජනතාවට විවේකීව ගත කළ හැකි සියලූම උද්‍යාන කඩිනමින් පිළිසකර කොට නිසි නඩත්තුවකින් පවත්වා ගෙන යන ලෙසයි.
මෙම වැඩසටහන යටතේ කොළඹට ඉතා නුදුරින් පිහිටි සතුන් හා ශාඛ විශේෂවලින් සමන්විත තෙත්බිම් උද්‍යානයක් වන බැද්දගාන තෙත්බිම් උද්‍යානය දරුවන් සමඟ ජනතාවට විවේකි සුවයෙන් ගත කළ හැකි ස්ථානයක් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරිය හඳුන්වයි.
බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඉදිකිරීමේ කටයුතු 2014 වර්ෂයේ දී ආරම්භ කරන ලද්දේ එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.
ශ්‍රී ජයවර්ධනපුර සිට නිපෝන් මාවතේ කිලෝමීටර් 1 1/2 ක් පමණ ගිය විට මෙම බැද්දගාන තෙත්බිම් උද්‍යානය හමුවේ.
හෙක්ටයාර් 20ක භූමි ප්‍රදේශයක පැතිර ගොස් තිබෙන මෙම තෙත්බිම් උද්‍යානය ඉතා වැදගත් වනුයේ එය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර කුරුළු අභයභූමියට ආසන්නනේ පිහිටීමටයි.
මෙය ස්වභාවික තෙත්බිමක් වශයෙන් පවත්වාගෙන යාමට නාගරික සංවර්ධන අධිකාරිය සෑම විටම කටයුතු කිරීම තවත් විශේෂත්වයකි.
කිසිදු යන්ත්‍ර සූත්‍රයක් මෙම තෙත්බිම ඉදිකිරීමට භාවිතා නොකළ බවත් කිසිදු ගොඩ කිරීමක් සිදු කර නොමැති බවත් නාගරික සංවර්ධන අධිකාරියේ පාරිසරික හා භූ දර්ශන අධ්යක්ෂ චාන්දනා කළුපහන මහත්මිය ප්‍රකාශ කරයි.
මෙම තෙත්බිම් උද්‍යානයේ ඇති සෑම මං පෙතක්ම, ගොඩනැගිල්ලක්ම කණු උඩ ඉදිකොට තිබේ. තෙත්බිම් වඩාත් හොඳින් පවත්වාගෙන යාමේ අරමුණින් එම ඉදිකිරීම් කණු උඩ සිදු කිරීමට පියවර ගෙන තිබේ.
මෙහි පරිසර පද්ධතියට කිසිදු හානියක් සිදු නොකර නැරඹුම් කණු, නැරඹුම් මැදිරි, ක්‍රීඩාංගන, අවන්හල්, රථගාල ඉදිකර තිබීම තවත් විශේෂත්වයකි.
හඳුන් දිවියා, දිය බල්ලා ඇතුළු සතුන්, හීන්තඹ සේරුවන්, නිල් කිතල්ලු ඇතුළු කුරුළු විශේෂ සහ සංචාරක පක්ෂීන්, වනසර කුරුල්ලන්, සමනල් විශේෂ ඇතුළු සතුන් වර්ග රැසක් කොළඹට ආසන්නයේ පිහිටි මෙම බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ දැකගත හැකිය.
සුදු මානෙල් මල්, හිඟුවානා කුලයට අයත් අප රටේ එකම තෙත්බිම් ශාඛය වන ඉඳුරු ශාඛය ද මෙහිදී දැකගත හැකිවීම තවත් විශේෂත්වයකි.
දුර්ලභ සතුන්, ශාඛ වර්ග, මල් වර්ග දැකගත හැකි කොළඹ නගරය ආසන්නයේ පිහිටි මෙම බැද්දගාන තෙත්බිම් උද්‍යානය පාසැල් දරුවන්ට, සරසවි සිසුන්ට අධ්‍යනය කිරීමට හා පර්යේෂණ කිරීමට හැකි පහසුකම් වලින් ද සමන්විත වේ.














