ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කඳුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර තැපැල් සේවයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මතක සැමරුම් තැපැල් පතක් තම නෑදෑ හිතමිතුරන් වෙත යැවීමේ අවස්ථාව මින් උදා වේ.
කඳු මුදුනේ ස්ථාපිත කර ඇති යුද හමුදා සුභසාධක වෙළෙඳ සැල මගින් මෙම සැමරුම් කාඩ්පත් හා මුද්දර නිකුත් කරයි. දෛනිකව යුද හමුදා වෑන් රථයක් නුවරඑළිය තැපැල් කාර්යාලය වෙත පැමිණෙන නිසාවෙන් එම වෑන් රථයෙන් තැපැල් මහතෙකු එම ස්ථානයට යවා තැපැල් පෙට්ටියේ ඇති සැමරුම් කාඩ්පත් රැගෙන විත් බෙදාහැරීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
නුවර එළිය ප්‍රධාන තැපැල් ස්ථානිධිපති ඩබ්ලිව්. එන්. සී. කේ. විදුරපොල මහතාගේ සංකල්පයක් අනුව මෙම නව සේවාව ආරම්භකෙරැණි.
ලෝක තැපැල් දින ජාතික උත්සවයට සමගාමීව මෙම සේවා ආරම්භ කරමින් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එච්. අබ්දුල් හලීම් මහතා ප්‍රථම සිහිවටන කාඩ් පත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත තැපැල් කරන ලදී.
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් ආර්. එම්. ඩී. බී. මීගස්මුල්ල මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති මෙහෙයුම් රාජිත රණසිංහ මහතා, මධ්‍යම පලාත් නියෝජ්‍ය තැපැල්පතිනිය වන චමීෂා ද සිල්වා මහත්මිය, අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් රමීම් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.




