2023 ජුලි මස 11 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2023 ජුලි 15) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.
මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්විය.
‘LORRAINE’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා එම නෞකාවේ නිරීක්ෂණ චාරිකාවාරයක් සිදුකල අතර, එහිදී නෞකාවේ අණදෙන නිලධාරි Captain Xavier BAGOT විසින් නාවික හමුදාධිපති නෞකාව වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති වෙත උත්තමාචාර පිරිනැමීම සිදු කෙරිණි.
එමෙන්ම, ‘LORRAINE’ නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හටද අවස්ථාව හිමිවූ අතර, නෞකාවේ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයකද නිරත විය.
තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.






