අම්පාර මහ රෝහලේදී ඊයේ (15දා) අඩු බර උපත් දරුවන් පස්දෙනෙකු සාර්ථක සිසේරියන් සැත්කම් දෙකකින් බේරා ගැනීමට හැකි වූ බව අම්පාර මහ රෝහලේ ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.
ඊයේ (15දා) සවස එක් මවකට සිසේරියන් සැත්කමක් හදිසියේම සිදු කළ අතර, එම මවට නිවුන් දරුවන් දෙදෙනෙකු හමුවී තිබේ. මෙම දරුවන් දෙදෙනාම සති 30ක් වයසැති දරුවන් බව සඳහන් කළේය.
එම සැත්කම සාර්ථකව අවසන් වූ පසු ඉන් පැය දෙකකට පසුව සමන්තුරේ රෝහලේ සිට අම්පාර මහ රෝහලට එවන ලද මවකට හදිසි සිසේරියන් සැත්කමක් සිදු කළ අතර, එම මවට තුන් නිවුන් දරුවන් හමුවී තිබේ. එම දරුවන් සති 29 වයසැති දරුවන් වූ බවද ප්‍රසව සහ නාරි විශේෂඥ වෛද්‍ය තරිඳු එදිරිසූරිය මහතා පැවසීය.
දැනට මෙම දරුවන් පස්දෙනා අම්පාර මහා රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ අම්පාර මහ රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පැවසීය.
අඩු බර සහිතව උපන් දරුවන් මේ වන විට අම්පාර මහ රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, තුන් දරු නිවුන් උපතේ එක් දරුවෙකුට ඔක්සිජන් ලබා දීමට යන්ත්‍රයකට සවිකර ඇති අතර, අනෙක් දරුවන් හතරදෙනා හොඳින් සිටින බවද අම්පාර මහ රෝහලේ ළමා රෝග විශේෂඥ දිමුතු සුභසිංහ මහතා පැවසීය.
අම්පාර මහ රෝහලේ මෙවැනි දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් පවතී. මීට පෙරද මෙවැනි සති 24ක දරුවෙක් අම්පාර මහ රෝහලේ ඉපදුණ අතර, එම දරුවාගේ ජීවිතයදබේරා ගැනීමට හැකි වූ බව සඳහන් කළේය.
අම්පාර වසන්ත චන්ද්‍රපාල




