ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ සන්නද්ධ හමුදා සේනාධිනායක අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු 2024 දෙසැම්බර් මස 31 වැනි දින සිට පත්කෙරුණු අතර, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත නිල වශයෙන් අද (15) නාවික හමුදා මූලස්ථානයේදී ප්රදානය කර, සිය සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
වෙන්නප්පුව, ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, 1991 වර්ෂයේදී 21 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වී ඇත.
ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1993 වර්ෂයේ උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වන ඔහු, උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1995 වර්ෂයේදී ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨයේදී සාර්ථකව හදාරා, අවි සහ මිසයිල පිළිබඳ දීර්ඝ පාඨමාලාව ඉන්දියාවේ INS Dronacharya පුහුණු පාසල වෙතින් 2003 වර්ෂයේදී හදාරා ඇත. නාවික අවි නඩත්තු ඉංජිනේරු පාඨමාලාව චීනයේදී 2010 වර්ෂයේදී හදාරා, එක්සත් රාජධානියේ ආරක්ෂක විද්‍යාපීඨය මඟින් ආරක්ෂක අධ්‍යයන (RCDS) පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර, ආරක්ෂක අධ්‍යනය පිළිබඳ විද්‍යාපති උපාධිය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙතින්ද, ජාත්‍යන්තර ආරක්ෂාව සහ උපාය මාර්ග පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලය වෙතින්ද ලබා, සිය වෘත්තීය ජීවිතයේ ක්රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2023 වර්ෂයේ ජනවාරි මස 06 වැනි දින රියර් අද්මිරාල් නිලයට උසස් වී ඇත.
තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය පිටුදැකීමේ මාණුෂීය මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී සතුරාට එරෙහිව සිදුකල නිර්භීත ක්‍රියා වෙනුවෙන් රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ඔහුගේ අගනා සේවය, නොකැළැල් චරිතය සහ රාජකාරියට කැපවීම වෙනුවෙන් උත්තම සේවා පදක්කමෙන්ද පිදුම් ලබා ඇති අතර, නාවික හමුදාධිපති විසින් අවස්ථා හයකදී සේවය අගයමින් ප්රශංසාත්මක ලිපි පිරිනමා ඇත.
සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිලතල රාශියක් දරා ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සහ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් රාජකාරී සිදු කොට ඇත. තවද, නාවික යුදායුධ නිලධාරී, නියෝජ්‍ය අධ්යක්ෂ නාවික අවි, අණදෙන නිලධාරී හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා සමූහය, කපිතාන් මෙහෙයුම් දෙපාර්තමේන්තුව (බටහිර), නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති, අධ්යක්ෂ ජෙනරාල් පුද්ගල සහ උතුරු මැද නාවික විධානයේ ආඥාපති ලෙස කටයුතු කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී වශයෙන් පත් වීමට පෙර නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති වශයෙන් කටයුතු කළ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.
ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩාමේ සමාජිකයෙකු සහ නායකයෙකු ලෙසද ක්‍රීඩා කර ඇති රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වර්ථමාන නාවික හමුදා ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසද කටයුතු කරයි.
රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ආදරණිය භාර්යාව කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය වන අතර, ඔවුනට කල්ෂා ප්‍රනාන්දු, සිසිලියා ප්‍රනාන්දු සහ ෆේබියන් ප්‍රනාන්දු ලෙස දරුවන් තිදෙනෙකු සිටියි.



