





වැලිමඩ , බොරලන්ද , බෝගහකුඹුර , කැප්පෙටිපොල , ලුණුවත්ත , මස්පන්න, අඹගස්දෝව , මැදවෙල , කැටගොඩ ආදී ප්‍රදේශ රැසක වැලිමඩ හා ඌව පරණගම ගොවින් තක්කාලි වගාව මෙවර කන්නයේ සිදු කර ඇති අතර එම ගොවින් මෙලෙස සිය අස්වනු විකුණා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව ඇත.
කැප්පෙටිපොල විශේෂීත ආර්ථික මධ්‍යස්ථානය වෙත තම අස්වනු විකුණා ගැනීම සදහා රැගෙන ආවද වෙලෙදුන් විසින් තම අස්වනු ඉතා අඩුමිලකට ඉල්ලන බවයි ගොවින් පවසා සිටින්නේ. ගොවින් කියා සිටින්නේ තක්කාලි බීජ මිල ඉහල අගයක පැවතීමත් වගාව නඩත්තු කිරීමේදී යොදන කෘමිනාශක , රසායනික පොහොර ආදියේ මිල ඉතා අධික වීම නිසා මෙලෙස අඩු මුදලකට අස්වනු අලෙවි කිරීම තමන්ට ගිය වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්වයක් උදා කර ඇති බවයි.
ආර්ථීක මධ්‍යෂ්ථානයේ වෙලෙදුන් සහ පිට පලාත් වෙලෙදුන් කියා සිටින්නේ පැවති යහපත් කාලගුණ තත්වයත් සමග තක්කාලි අස්වනුද වැඩියෙන් වෙළද පොලට පැමිණිම හේතුවෙන් මෙලෙස මිල පහත වැටී ඇති බවත් තමන්ද මිලදී ගන්නා තක්කාලි අලෙවි කිරීමට මහත් පරිශ්‍රමයක් දරන බවයි. තොල මිලට ගන්නා වෙළද සැල් ආසන්නයේ සහ කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේද අලෙවි කිරීමට නොහැකි ව නරක් වු තක්කාලි ඉවත දමා ඇති අයුරුද දැක ගන්නට හැකිය.
තම අස්වනු අඩු මිලට විකුණුවද වෙළද පොලේ පාරිභෝගිකයින් හට මිලට ගැනීමට ඇති තක්කාලි කිලෝවක මිල රුපියල් 70 - 100 අතර මිලක පවතින බවත් අතරමැදියන්ද තමන් සුරාකන බවත් ගොවින් පවසති. මෙලෙස තම අස්වනු වල මිල පහත වැටීම තමන්ට දරා ගත නොහැකි තත්වයක් බවත් පවසන ගොවින් කියා සිටින්නේ අතිරික්ත අස්වනු කල් තියා ගන්නා ක්‍රමයක් හෝ සකසා ගොවියා ආරක්ෂා කර ගැනීමට නිසි වැඩ පිළිවෙලක් සකසා දෙන ලෙසයි.