ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය. මෙහිදි ගුවන් තොටුපළ විවිධ අංශ වල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත් , ගුවන් මගීන්ට වැඩි පහසුකම් ලබා දීමටත් පියවර ගන්නා ලෙස ජනපතිවරය උපදෙස් දුන්නේය.
අද (16දා) සවස 3.45 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙතින් ගුවන් තොටුපළ තුළට පිවිසි ජනාධිපතිවරයා, එතැන් සිට සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කරමින් තීරු බදු රහිත සාප්පු සංකීර්ණය, ආගමන විගමන පරිශ්‍ර, රේගු පරිශ්‍ර, කුලී රථ කවුළු, බැංකු පරිශ්‍ර, මගී ගමන් මලු හුවමාරු අංශ, සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය, ගුවන් යානා වෙත පිවිසෙන දොරටු, සහ එම පරිශ්‍ර සහ පැමිණීමේ පර්යන්තය පරීක්ෂාවට ලක් කළේය.
ඒ අතරතුර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමග ද සුහද පිළිසදරක ද නිරත විය. මෙම චාරිකාව අතරතුර විවිධ රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාල සහ ව්‍යාපාරික ස්ථාන වල නිලධාරීන් සමග ද අදහස් හුවමාරු කර ගනිමින්, ඒ ඒ ආයතන වල කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමටත් , ගුවන් මගීන්ට සහ ගුවන් තොටුපළ වෙත පිවිසෙන සාමාන්‍ය ජනතාවට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ද උපදෙස් දීම සිදු කෙරුණි.
මෙම සංචාරය ආරම්භ කරමින් ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ල තුළට ජනාධිපතිවරයා පිවිසෙන තෙක්ම ගුවන් තොටුපළ නිලධාරීන් කිසිවෙකුත් කල් තියා දැනුවත් වී නොසිටීම විශේෂ ලක්ෂණයක් වී තිබුණි. මෙම සංචාරය සවස 4.50 ට පමණ නිමා කරමින් ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයෙන් එතුමා පිටත්ව ගියේය .




