කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු ඉතිහාසයේ දෙවන විශාලතම රත්තරන් වැටලීම අද (09) දින අලුයම සිදු කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් රුපියල් කෝටි 40 ක් වටිනා කැරට් 24 රත්තරන් කිලෝ ග්‍රෑම් 22 ක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් පස් දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඇති බව රේගු අධිකාරී නුවන් අබේනායක මහතා ප්‍රකාශ කළේය.
ඉන්දීය බුද්ධි තොරතුරු අංශයේ නිලධාරීන් විසින් ලබා දී තිබූ තොරතුරු මත පදනම් වෙමින් මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම රත්තරන් ජෙල් වශයෙන් සකස් කරමින් යට ඇදුම් තුළ ආලේප කර ගනිමින් සහ කැරට් 24 න් නිපදවන ලද වැඩ නිම නොකළ රන් මාල ගෙලෙහි පැළද ගනිමින් රේගු නිලධාරීන් නොමග යැවීමට උත්සාහ ගනිමින් මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම අත් අඩංගුවට ගැනීම නිරීක්ෂණය කිරීම සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙම අවස්ථාවේ මෙම රත්තරන් ජාවාරම්කරුවන් මාසයකට ඩොලර් දශ ලක්ෂ 30 මේ ආකාරයට වංචා කරමින් රට තුළට රත්තරන් ගෙන එන බව ප්‍රකාශ කළේය.
මෙම අත් අඩංගුවට ගැනීම තුළින් එම වැරදි දොරටුව වසා දැමීමට රේගු නිලධාරීන් සමත් වී ඇති බැවින් රජය විසින් මෙම රේගු නිලධාරීන් වෙත මෙම වැටලීම අගය කරන බව පැවසීය .
කැරට් 24 රත්තරන් ජාවාරම මැඩලීම සදහා ඉතාමත් නුදුරේ දීම අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කරන බවත් , එහිදී විදේශ රැකියා වල නිරත වී යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකික රටවිරුවන්ට අසාධාරණයක් නොවන ලෙස එම නීතිමය ප්‍රතිපාදන සකස් කරන බව ද අමාත්‍යවරයා පැවසීය .
මෙම රත්තරන් තොගය 12/09 දින අලුයම 04.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් මගීන් මීට පෙර පැමිණීමට නියමිත ගුවන් යානයකින් පැමිණෙන බවට තොරතුරු තිබූණ ද , එම ගුවන් මගීන් ද මෙම රේගු නිලධාරීන් මග හැරීම සදහා අවසාන මොහොතේ මෙම ශ්‍රී ලන්කන් ගුවන් යානය තෝරා ගෙන තිබුණි.
මෙම රත්තරන් තොගය අතර මාළ , මුදු , වළලු , පිරිමි යට ඇදුම් 30 ක් තුළ ආලේප කරමින් සහ ආහාර පිළියෙල කරන යන්ත්‍රයක් තුළ ද සගවා ගෙන තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුණි .
මේ වනවිට මෙම රත්තරන් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ගුවන් මගීන් පස් දෙනා රේගු අත් අඩංගුවේ තබා ගනිමින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.





