ලංකා ස්පෝට්රයිසන් සංචාරක නියෝජිත ආයතනය මගින් 18 වැනි වරටත් සංවිධානය කළ ‘කොළඹ ජාත්‍යන්තර මැරතන්’ තරගය දෙස් විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගිත්වයෙන් අද (07දා) නිමාවට පත්විය. මෙවරද සුපුරුදු පරිදි හා පිරිමි හා කාන්තා දෙඅංශයේම වැඩි ගෞරව අත්පත් කරගැනීමට සමත් වූයේ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ය.
මෙහිදී සමස්ත පිරිමි තරගයේ පළමු, දෙවැනි හා තෙවැනි ස්ථාන සියල්ලම කෙන්යානු ක්‍රීඩකයෝ සතුවූහ. ඒ අනුව මෙහි පළමු ස්ථානය ජේම්ස් තලාම් විසින් දිනාගත් අතර, ඔහු පසුගිය වසරේද මෙහි ජයග්‍රාහකයා විය. තරගය අවසන් කිරීම සඳහා ජේම්ස්ට පැය 2.21.52ක කාලයක් ගතවිය. දෙවැනි ස්ථානය ස්ටීවන් මුන්ගාතියා (පැය 2.21.58) විසින් හා තෙවැනි ස්ථානය පීටර් කෙටර් (පැය 2.22.30) විසින් දිනාගන්නා ලදී.
කාන්තා තරගයේ පළමු හා දෙවැනි ස්ථානද කෙන්යානු ක්‍රීඩිකාවන් දෙපොළක් සතුවූ අතර, එහි පළමු ස්ථානය මාර්ගට් ජුගුනා (පැය 2.52.54) හා දෙවැනි ස්ථානය එමිලි ජෙප්කෝච් (පැය 2.53.49) සතුවූවාය. මෙහිදී සමස්ත ශ්‍රී ලංකාවේම ගෞරවය සුරකිමින් තරග නිමාවක් සනිටුහන් කළ සුජානි පෙරේරා මෙහි තෙවැනි ස්ථානය දිනාගත්තාය. තරගය අවසන් කිරීම සඳහා ඇය පැය 2.53.56ක කාලයක් වාර්තාකළ අතර, මෙය ඇගේ පෞද්ගලික හොඳම කාලයද විය.
කොළඹ බෞද්ධාලෝක මාවත අසලින් අද පෙ.ව. 6.00ට ආරම්භ වූ මෙම තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇළ අසලින් ඇති මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, දූව යන මාර්ග ඔස්සේ මීගමුව වෙරළ උද්‍යානය දක්වා ගමන්කර අවසන් විය.
මෙම තරගය විවෘත පූර්ණ මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, ප්රවීණයන්ගේ පූර්ණ මැරතන් තරගය, ප්රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, විනෝද ධාවන තරගය, අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය ලෙස කාණ්ඩ කිහිපයක් යටතේ පැවැත්විණි.
මෙහි පූර්ණ මැරතන් තරගය කි.මී. 42.195ක දුරකින් සමන්විත වූ අතර, අර්ධ මැරතන් තරගය කි.මී. 21.097කින්ද, විනෝද ධාවන තරගය කි.මී. 10කින් හා අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය කි.මී. 5කින් සමන්විත විය. ඒ අනුව අර්ධ මැරතන් තරගය පමුණුගමින්ද, විනෝද ධාවන තරගය හේකිත්තෙන්ද, අර්ධ විනෝද ධාවන තරගය සහ පාසල් මැරතන් තරගය ඔරුගොඩවත්තෙන්ද නිමාවට පත්විය.
සමස්ත මැරතන් තරගය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6500කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ. ඔවුන් අතර රටවල් 45ක නියෝජනය කරමින් ඉදිරිපත් වූ විදෙස් තරගකරුවෝද වූහ.
විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග්රාහකයාට සහ ජයග්‍රාහිකාවට ඇ.ඩො. 2500ක (රු.ල. 425,000) මුදලක් පිරිනැමුණු අතර, දෙවැනි ස්ථාන සඳහා ඇ.ඩො. 1500ක් (රු.ල. 255,000) බැගින්ද, තෙවැනි ස්ථාන සඳහා ඇ. ඩො. 1000ක් (රු.ල. 170,000) බැගින්ද පිරිනැමිනි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු





































