ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් ක්‍රියාත්මක කරනු ලබන "මෙරට ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන" ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 7.2 (ඇමරිකානු ඩොලර් 7,200,000) ක පරිත්‍යාගයන් ලබාදීමට කටයුතු කර ඇත.
ඒ අනුව ජීව වෛද්‍ය ඉංජිනේරු අංශය සදහා උපකරණ සේවා කටයූතු සදහා නවීන තාක්ෂණයෙන් අනූන රුපියල් මිලියන 160 කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම සේවා රථ (Mobile Workshop) 08 ක් සහ රුපියල් මිලියන 200 කට ආසන්න වටිනාකමකින් යුත් උපකරණ,
සේවා කටයුතු සදහා වන මෙවලම් ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee), ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනමේ (KOFIH) සභාපති වෛද්‍ය ඉල්-සූ හා (Dr. II-Soo Ha) යන මහත්ම මහත්මීන් විසින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත නිල වශයෙන් පරිත්‍යාග කිරීම ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය.
මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන කාර්යභාරයක් සිදු කරනු ලබන ජීව වෛද්‍ය ඉංජිනේරු ක්ෂේත්රයේ ධාරිතා වර්ධනය සදහා ක්‍රියාත්මක වන ජීව වෛද්‍ය ඉංජිනේරු සේවාවේ ධාරිතා වර්ධන ව්‍යාපෘතිය යටතේ දැනට පවතින ගොඩනැගිල්ලේ අළුත්වැඩියාවන් සහ දෙවන මහලේ ඉදිකිරීම් සිදු කිරීම, වෛද්‍ය උපකරණ අළුත්වැඩියාව සදහා අත්‍යාවශ්‍ය මෙවලම් ලබාදීම, උපකරණ අළුත්වැඩියාව සදහා නවීන තාක්ෂණයෙන් අනූන ජංගම සේවා රථ ලබාදීම, මෙරට සියලු රෝහල් සතු වෛද්‍ය උපකරණවලට අදාළ දත්ත හා තොරතුරු ක්ෂණිකව ලබාගතහැකි නවීන තාක්ෂණික මෙහෙයුම් පද්ධතියක් සැකසීම මෙන් ම කාර්ය මණ්ඩල පුහුණූ කිරීම් සහ හැකියාවන් වැඩිදියුණූ කිරීමට වැඩසටහන් දියත් කිරීම වැනි කාර්යයන් රැසක් ඉටූ කිරීමට නියමිත ය.
ඉහත පරිත්‍යාග නිල වශයෙන් බාරගැනීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සියලු රෝහල් හි උපකරණ අළුත්වැඩියා කටයුතු සදහා පරිත්‍යාග කරන ලද නවීන තාක්ෂණයෙන් අනූන ජංගම වැඩ රථ පරීක්ෂාවට ලක් කරන ලදි.
ඉහත ප්රදානය පිළිබඳ ව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ කොරියානු රජයේ ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනම (KOFIH) විසින් මෙරට සෞඛ්‍ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නැංවීමේ අරමුණින් ලබා දුන් ප්රදානය හුදෙක් මූල්‍යමය දායකත්වයක් පමණක් නොව, ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍යය සහ අනාගතය සඳහා කරන ආයෝජනයක් බවයි. කොරියානු රජයේ මෙම ත්‍යාගශීලීභාවය ජාත්‍යන්තර සහයෝගීතාවයේ සහ මානුෂීය ආධාරවල ඉහළ ම පරමාදර්ශ පිළිබිඹු කරන බව ද පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා යටතේ දැනට රෝහල් 50 කට අධික ප්‍රමාණයක වෛද්‍ය උපකරණ කළමනාකරණය කරනු ලබන බවත්, ඊට උපකරණ 500,000 කට ආසන්න ප්‍රමාණයක් ඇතුළත් වන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදි.
උපකරණ පරිත්‍යාගයට සමගාමීව පැවැති රැස්වීම ඇමතූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, සීමිත මානව සම්පත් සහ විශේෂිත කුසලතා, යල් පැන ගිය පහසුකම්, වේගවත් තාක්ෂණික දියුණුව, නවීන වෛද්‍ය තාක්ෂණය ලබා ගැනීම සහ නඩත්තු කිරීම සඳහා ඇති මූල්‍ය බාධාවන් වැනි කරුණු මත පදනම් වූ බාධක මධ්‍යයේ මෙම උපකරණ සේවා කටයුතු සිදු කළ බවත්, මෙම ප්‍රදානයන් සමග වෛද්‍ය උපකරණවල අක්‍රීය කාලය අඩු කර වැඩි සේවා ඵලදායිතාවක් ලබාගත හැකි බව පැවසී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සියලු පළාත් හි රෝහල් වෙත ක්ෂණිකව ළඟා විය හැකි නවීන තාක්ෂණයෙන් යුත් ජංගම අලුත්වැඩියා ඒකකවලින් සමන්විත මෙම ජංගම සේවා රථ මෙන් ම සේවා මෙවලම් කට්ටල මෙරට සෞඛ්‍ය සේවාවේ උපකරණවල නඩත්තු සේවාවන් වැඩිදියුණු කිරීමට මහත් අස්වැසිලක් වන බව ද පැවසී ය.
මෙහිදී පරිත්‍යාග කරන ලද ජංගම සේවා රථ උපකරණ සේවා කටයුතු සදහා අවශ්‍ය සියලු පහසුකම්වලින් යුක්ත වන අතර, එමගින් කාලය ඉතිරි කර ගනිමින් අදාළ සේවා ඉටු කිරීමේ හැකියාව විශේෂත්වයකි. රෝහල් වෙත ගමන් කරන අතරතුර මෙන් ම රෝහල් තුළ දී ද මෙහි දී සේවා කටයුතු ලබාදිය හැකි අතර, නවීන තාක්ෂණය උපරිම පරිදි යොදාගෙන මෙම ජංගම නිෂ්පාදනය කර ඇති වීම ද විශේෂත්වයකි. පළාත් සභා කාර්යාලවල පිහිටි ජීව වෛද්‍ය ඉංජිනේරු අංශ වෙත ජංගම සේවා යම් ප්‍රමාණයක් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ අප්සරා විලාසිනී කුමාරගේ, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee),ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා සඳහා වූ කොරියානු පදනමේ (KOFIH) සභාපති වෛද්‍ය ඉල්-සූ හා (Dr. II-Soo Ha), අධ්යක්ෂ ජින්-හා පාර්ක් (Jin-ha Park), කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (KOICA) ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්යක්ෂ යුලී ලී (Yooli lee) ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු, අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරුන්, අධ්යක්ෂ ජනරාල්වරුන්, ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

