යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාලා අංක 34 යටතේ සාර්ථකව පුහුණුව හැදෑරු කොමාන්ඩොවරුන් ගේ විසිරයෑමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (28) දින විශේෂ මෙහෙයුම් පුහුණුවීම සඳහා ශ්‍රී ලංකාවේ අති නවීන පුහුණු පාසලක් වන ඌව, කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන සේනාංකයේ සේනාංකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ සහභාගී වූ අතර කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ප්‍රියංකර උබේසිරිවර්ධන විසින් ඔහුව පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් ද පිරිනැමීය.
මාස 18 කට වැඩි කාලයක් පුරාවට අභියෝගාත්මක සහ දුෂ්කර ශාරීරික හා මානසික පුහුණු ක්‍රමවේදයන්ගෙන් සමන්විත පාඨමාලාව සාර්ථකව නිම කළ නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයින් 175 දෙනෙක් මෙහිදී විසිර ගියහ.
පාඨමාලාවේ හොඳම ශාරීරික යෝග්‍යතාව හිමි කමාන්ඩෝ සෙබළා, හොඳම වෙඩික්කරු සහ පාඨමාලාවේ දක්ෂතම කමාන්ඩෝ සෙබළාට හිමි සම්මානයන් ප්‍රධාන ආරාධිතයා විසින් ඔවුන් වෙත පිරිනමන ලදී. එහිදී, පෙළපාළි අණදෙන නිලධාරි ලුතිනන් ජේ.එම්.පී.ඩී.පී කරුණාරත්න ‘දක්ෂතම කමාන්ඩෝ සෙබලාට’ හිමි පදක්කම දිනාගනිමින් කමාන්ඩෝ රෙජිමේන්තුවේ එම සම්මානය හිමිකරගත් 75 වන සෙබලා ලෙස ‘කමාන්ඩෝ ඩැගර්’ (Commando Dagger) සම්මානය හිමිකරගන්නා ලදී.




