ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2022 මාර්තු මස 26 වන දින හ්‍රී ලංකාවට බටහිර මුහුදේදී ආරම්භ වූ අතර, මෙම නාවික අභ්‍යාසය 2022 මාර්තු මස 29 වන දින දක්වා පැවැත්වෙයි.
2022 මාර්තු මස 23 වන දින කොළඹ වරායට සේන්දු වූ ඉන්දිය නාවික නෞකා ‘ශර්ධා’ (INS SHARDA) නෞකාවට අයත් IN 715 දරණ Advance Light Helicopter වර්ගයේ හෙලිකොප්ටර් යානය සහ ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මෙම ඒකාබද්ධ අභ්‍යාසයෙහි නිරතව සිටියි.
ඒ අනුව මෙම අභ්‍යාසයේ දී නෞකා මතට හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම, නැවත ගුවන් ගත කිරීම සහ සාගරික ගුවන් මෙහෙයුම් සිදු කිරීමේදී ගුවන් යානා හා නෞකා අතර පණිවිඩ හුවමාරු කර ගැනීමේ ප්‍රායෝගික අභ්‍යාස සිදු කෙරෙන අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පිරිසක්ද එක්ව සිටියි.
ඉන්දීය සාගර කලාපයේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේදී මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම මෙන්ම ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් අතර ද්වීපාර්ශවික සහයෝගීත්වය වර්ධනය කිරීමද මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසය මඟින් අපේක්ෂා කෙරේ.
මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස සිදුකිරීම මඟින් ඉන්දීය සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා ඉදිරියේදී සාර්ථකව සාමූහිකව විසඳුම් සෙවීමට හැකියාව ලැබෙනු ඇත.







