හම්බන්තොට ප්‍රදේශයට ඔබ්බෙන්වූ දකුණු මුහුදු ප්‍රදේශයේදී ආපදාවට පත් විදේශීය රුවල් යාත්‍රාවක් නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට ඊයේ (22දා) නාවික හමුදාව කටයුතු කරන ලදී.
2022 මාර්තු මස 19 වන දින ත්‍රිකුණාමලය වරායෙන් ගමන් ආරම්භකර මාලදිවයින වෙත යාත්‍රා කරමින් තිබූ ‘Adamant II’ නැමැති විදේශිය රුවල් යාත්‍රාවක් එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් ආපදාවට පත්ව ඇති බවට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත සිදු කරන ලද දැනුම් දීමක් මත එම යාත්‍රාව ගොඩබිම වෙත රැගෙන ඒම සඳහා නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක මුර යාත්‍රා බලඝණයට අයත් පී 422 වේග ප්‍රහාරක යාත්‍රාව හම්බන්තොට වරායෙන් පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කෙරිණි.
ඒ අනුව, ඊයේ (22දා) නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම රුවල් යාත්‍රාව සහ එහි සිටි විදෙස් ජාතිකයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව හම්බන්තොට වරාය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදි. එම විදේශිකයන් දෙදෙනා පිලිපීන සහ ඕස්ට්‍රේලියානු ජාතිකයන් වන අතර, මෙලෙස හම්බන්තොට වරායට රැගෙන එන ලද රුවල් යාත්‍රාව අළුත්වැඩියා කටයුතු සඳහා එම රුවල් යාත්‍රාවේ දේශීය නියෝජිත ආයතනයට භාර දීමට කටයුතු කෙරිණි.




