ශ්‍රී ලංකා නාවික හමුදාව, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය එක්ව ත්‍රිකුණාමලය වරායේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන්වූ නැගෙනහිර මුහුදු තීරයේදී 2021 ජුනි මස 24 වන දින සිට 2021 ජුනි 30 වන දින දක්වා පවත්වනු ලැබූ සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසය (Cooperation Afloat Readiness and Training Exercise - CARAT–21) සාර්ථකව නිමාවට පත්විය.
මෙම නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා දෙකක්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා සහ නිරීක්ෂණ ගුවන්යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්, ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානාවක් මෙන්ම ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායේ (JMSDF) නොකාවක් සහ එම නෞකාවට අයත් හෙලිකොප්ටර් යානාවක්ද සහභාගී විය.
මෙම නාවික අභ්‍යාසයේදී සිදු කරන ලද උපායික නෞකා පෙළ හැඩ අභ්‍යාස, නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව, නෞකා මතට ගුවනින් භාණ්ඩ ගොඩබෑම, නෞකා අතර හෙලිකොප්ටර් යානා ගොඩබැස්සවීමේ අභ්‍යාස, සතුරු යාත්‍රා ලුහුබැඳීමේ අභ්‍යාසයන්, යාත්‍රා වෙත ප්‍රවේශ වීම, පරීක්ෂා කිරීම සහ අත්අඩංගුවට ගැනීම සහ සෙවීම් හා මුදවා ගැනීම් යන සෑම නාවික අභ්යාසයකදීම ඒ සඳහා සහභාගී වූ පාර්ශවයන්ගේ කුසලතා මුවහත් කර ගැනීමටත්, එකිනෙකාට ආවේණික වූ උපක්‍රම ඉගෙන ගැනීමටත්, සමුද්‍රීය පරිසරය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීමටත් හැකියාව ලැබිණි.
ලොව නවීන තාක්ෂණික උපාංග සහ මෙවලම් භාවිතා කරනු ලබන ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාව සහ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකාය විසින් සංකීර්ණ සාගරික මෙහෙයුම් අවස්ථාවන්හීදී නෞකාවන් අතර සන්නිවේදන කටයුතු සිදු කිරීම මෙන්ම, සාගරික මෙහෙයුම් සඳහා සමුද්‍රීය ආවේක්ෂණ ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා සම්බන්ධීකරණය කරගන්නා ආකාරය සම්බන්ධ අත්දැකීම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කර ගැනීම උදෙසා මහත් පිටිවහලක් වනු ඇත.






















